2024 ජනවාරි 20 වන සෙනසුරාදා

කේක්වලට තරම් කිසිම දේකට මම ආදරේ නෑ - විජිත කුමාර

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

කලාකරුවන් වෙනුවෙන් ලොකුම කේක් එක හැදුවේ විනූ සිරිවර්ධන වෙනුවෙන්.
ෂැංග්‍රිලා එකේ වහලෙටම උසයි ඒ කේක් එක

හිතේ ප්‍රශ්නයක් අවුලක් තියෙන වෙලාවට විතරයි කේක් ලෝකයෙන් මම එළියට එන්නේ
කේක් නිසා ලැබුණු වටිනාම දේ ''තරු'' ආදරයයි.
කේක්වලට තරම් කිසිම දේකට මම ආදරේ නෑ
කලාකරුවන්ගෙන් ඇනවුම් ගලාගෙන ආවේ දිනක්ෂිගේ ''පෝස්ට්'' එකෙන් පස්සෙ

ඒ තරම් සියුමැලි ද ඒ මල්

එහෙයින්ම ඇඟිලි තුඩු අග්ගිස්සෙන් ඒ සියුමැලි රෝස මල් පෙත්තක් අත ගා බලන්නට මොහොතකට සිත් වේ. රෝස සුවඳ නොහැමුවත් ඒ නම් රෝස මලක්මය. ඒත් ඒ රෝස මල පිපී තිබුණේ ගෙඋයනක නොවේ. ඒ රෝස මල පිපී තිබුණේ මනරම් කේක් ගෙඩියක් උඩය. ඒ තරම් හැඩකාර සියුමැලි මලක් තැනූ එපමණකටම සියුමැලි සංවේදී හිතක් සහ ඇඟිලි තුඩු හී අයිතිකාරයා මුණගැසෙන්නට මට සිතුණේම කාලයක් තිස්සේ ඔහු නිමැවූ නෙක කේක් නිමැවුම් අතරෙහි මගේ නෙත් සැරිසැරෑ නිසාමය. වඩාත් දුර නොවූ අතීතයේ එක් දවසක් මට මතකය. අනේ ඇත්තටම ඒ දවස හරි සුන්දරය. ඒ තරමටම සුවඳවත්ය. ඇස ගැටෙන ගැටෙන හැමතැනකම වූයේ මේ ලෝකයේ හැම වර්ණයක්ම සම්මිශ්‍රණය වූ හැම වර්ණයකින්ම දිලිසෙන අමුතු අමුතු හැඩයේ අමුතු අමුතු රස ඇතැයි හිතෙන කේක්මය. කේක් හැර කිසිවක්ම එදා එහි තිබුණා යැයි මට මතක නැත. කේක් සුවඳම මිස තරු ගැල්වූ විලවුන් සුවඳක්වත් නැහැපුඬුවලට නොදැනෙන්නට තරම් කේක් සුවඳ සුළං රුලිවල පවා දැවටෙමින් තිබුණි. කේක්වලින් විතරක්ම සැරසුණු උපන් දිනයක් මා දුටුවේත් ඒ එදාමය. මගේ ආදරණීයම ක්‍රිකට් ක්‍රීඩකයා වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවන සංසිද්ධීන් අළලා නිමැවුණු 800 සිනමා සිත්තම එළිදුටු දා සැන්දෑව අහවරව පැමිණ හිඳි හැම නළුවෙක් නිළියක්ම විගසින් යා යුතු නිසා හදිසි වූ හේතුවක් තිබුණි. යා යුතු යැයි කී ගමනක් තිබුණි. ඇයි එච්චර හදිස්සි යැයි ඇසුවා නම් ඒ කවුරුත් දුන්නේ එකම උත්තරයකි. ''අද විජිතගේ උපන් දිනේ. විජිතගෙ රස කේක් ඇති. ඒකට නම් යන්නම ඕනෑ.'' සියල්ලෝම සැරසුණේ කේක් ලෝකයකට පිය නගන්නටය. පැටි වියේ සිටම නළු නිළියන්ට, කලාකරුවන්ට ආදරය කළ විජිතට කේක් නිසාම ඒ බොහෝ දෙනාගේ හොඳම මිතුරෙක්, ළඟම මිතුරෙක්, ළෙන්ගතුම මිතුරෙක් වෙන්නට පාර හැදුණු කතාන්දරය කේක් තරමටම ලස්සනය. රසවත්ය. මේ මොහොතේත් ඒ කේක් සුවඳ නැහැයෙන් ආත්මයටම රිංගද්දී දිවෙහි දැවටෙද්දීම දිය වී යන තරමට ඉසියුම් වූ ඒ කේක්වල අමුතුම ''විජී රස'' මට දැනේ. 

Q ඇයි පුංචි කාලේ ඉඳන්ම නළු නිළියන්ට කලාකරුවන්ට ඒ තරම්ම ආදරය කළේ?

අනේ මන්දා. ඇයි කියන්න හේතුවක් දන්නෙ නෑ. හැබැයි මම හරිම ආසයි, හරි ආදරෙයි. 

Q නළු නිළියන්ට කලාකරුවන්ට විතරමද ආදරේ කළේ?

නැහැ.

Q එහෙනම්?

කේක්වලටත් පුංචි කාලේ ඉඳන්ම මම ආදරය කළා. 

Q කවුද ඉස්සෙල්ලම කේක් හදන්න ඉගැන්වූ ගුරුතුමා හෝ ගුරුතුමිය?

මගේ අක්කා. එයා කේක් හදනවා. අක්කා තමයි මගේ පළමු කේක් ගුරුතුමිය. මම ඉස්කෝලෙ ගිහින් ඉවර වුණාට පස්සෙ මගේ ගම වෙච්ච ගම්පහ ඉඳන් මොරටුවට ගෙන්නගත්තෙ මගේ අක්කා. අක්කා දවසක් ඇහුවා ඉස්කෝලෙ ගිහින් ඉවර වුණාට පස්සෙ ඔයා ඉස්සරහට යන්න ආසා මොන දේකින්ද කියලා. මම කීවා මම හොටෙල් ස්කූල් එකක ඉගෙන ගන්න ආසයි කියලා. මගේ මුල් ගුරුතුමිය වෙච්ච අක්කගෙන් පස්සෙ මම කේක් ගැන ඉගෙන ගත්තා හෙලන් මදනායක මිස්ගෙන් සහ ඔරෙන්සි සිරිවර්ධන මිස්ගෙන්. 

Q ඉතින් ඊටපස්සෙ?

ඊටපස්සෙ මම fab එකට එකතු වුණා. මගේ මුල්ම රුකියාව වුණේ එතැන සහායකයෙක් විදිහට වැඩ කරන එක. ඒත් එතැනින් ඉවත් වෙද්දි මම ඉවත් වුණේ wedding cake සහ special cake department එක බලාගත්ත කෙනා විදිහට. පිළිවෙළට වැඩ කරන්න වගේම මගේ ඇඟේ තිබුණු කලාව ඔපමට්ටම් කරලා මාව නිර්මාණය කරන්න එතැනදි හමුවූ ඇන්තනී කොරයා සර් සෑහෙන්න දෙයක් මා වෙනුවෙන් කළා. ඒ අතීතයට අදටත් මම ස්තූතියි කියනවා. අද මම මගේම කේක් ෆැක්ටරියක හිමිකරුවෙක් සහ මේ රටේ හුඟක් නළු නිළියන්, කලාකරුවන්ගෙ ඉල්ලීම් අනුව ඔවුන්ට කේක් නිර්මාණය කරන නිර්මාණ ශිල්පියෙක්. ආ ගමන ගැන සතුටක් අද දැනෙනවා. 

Q විජී කේක්වල මම දැක්ක විශේෂම දෙයක් තමයි ඇසට රසඳුනක් වන් වර්ණ සහ වර්ණ සම්මිශ්‍රණය. කොහොමද වර්ණ ඒ තරම් ලස්සනට පෙරළා එකතු කරලා ගලපන්නෙ?

මට හිතෙන්නෙ ඒ ගැලපීම මනෝමය කාරණයක්. වර්ණ කියන්නෙ ප්‍රබල සන්නිවේදනයක්. වර්ණවලින් කියන්නෙ අපේ හිතුවිලි අපේ හදවත සහ අපේ ආත්මීය ප්‍රකාශන. මගේ ඇහැ හුඟක් වෙලාවට ළා වර්ණ කෙරෙහි ඇදී යන ස්වභාවයක් මම දකිනවා. මගේ කේක්වල වර්ණ ගැලපීම ගැන ඇත්තටම ලැබෙන ප්‍රතිචාර හරි ආදරණීයයි. 

Q තරුවක් වෙනුවෙන් හැදුව මුල්ම කේක් ගෙඩිය නිමැවූයේ කවුරු වෙනුවෙන්ද?

ලවන් අභිෂේක් වෙනුවෙන්.

Q ඒක කොහොම කේක් ගෙඩියක්ද?

ඒක චොල්කට් වෑහෙන, චොක්ලට් පෙරෙන චොක්ලට් කේක් එකක්. ඒ කේක් එක ලවන් බාරගත්තෙ හරිම සතුටින්.

Q විජිත සහ කේක් කලාකරුවන්ට නැතුවම බැරි දෙයක් කළේ ඒ කේක් ගෙඩියද, නැත්නම් වෙන කේක් ගෙඩියක්ද?

මම මෙහෙම කියන්නම්කො. ලවන්ට හදපු චොක්ලට් කේක් එකෙන් යම් දුරකට ප්‍රසිද්ධ වුණා. එහෙම ඉද්දි දවසක් දිනක්ෂි ප්‍රියසාද් කතා කරලා කිව්වා අම්මගෙ උපන් දිනේට කේක් ගෙඩියක් හදලා දෙන්න කියලා. එයයි එයාගෙ නංගිලා දෙන්නා ශේෂාද්‍රි සහ ශනුද්‍රි උදේ 10ට විතර ඒ කේක් ගෙඩියත් දාලා පෝස්ට් එකක් දාලා තිබුණා fb page එකේ. හවස එක දෙක වගේ වෙද්දි හයදාහක් විතර ලයික් තිබුණ ෆේස්බුක් පේජ් එකේ ලයික් 12,000ක් 13,000ක් විතර වුණා. ඒක ඒ තරම් පුංචි කාලයක් තුළ Boost ගහලවත් ගන්න බැරි නැගීමක් තමයි ඒ. ඇත්තටම මගේ කේක් කලාකරුවන් අතරට ගියේ දිනක්ෂිගෙ ෆේස්බුක් පේජ් එකෙන්. ඒ කේක් එකෙන් පස්සෙ තමයි හුඟක් කලාකරුවන්ගෙ උපන් දිනවලට සැමරුම්වලට එක එක දේවල්වලට මට කේක් ඇනවුම් ගලාගෙන ආවෙ. දිනක්ෂිගෙන් පස්සෙ රොෂාන් පිලපිටියගෙ පුතාට, රොෂාන් රණවනගෙ පුතාට මම උපන් දින කේක් හැදුවා. 

Q ඇත්තද රොෂාන් රණවනගෙ පුතා දැන් කේක් කාපු ගමන් ඒ කේක් විජීගෙද නැද්ද කියලා කියනවා කියන්නෙ?

කවුද ඒක කිව්වෙ?

Q කවුරු කිව්වත් කතාව ඇත්ත නේද?

ඔව්. එයා කේක් කෑල්ලක් කාපු ගමන් කියනවාලු ආ මේක විජීගෙ කේක් එකක් කියලා; ඒ කේක් එක මම හදලා තියෙනවා නම්. මගේ එකක් නෙවෙයි නම් විජීගෙ කේක් නෙවෙයි කියනවාලු. එයා ඒ තරම් මගේ කේක්වල රස අඳුරනවා. 

Q රොෂාන්ගෙ පුතා විතරද එහෙම ප්‍රතිචාර දක්වන්නෙ?

නැහැ. එහෙම ප්‍රතිචාර දක්වන හුඟක් අය ඉන්නවා. දුමාල් වර්ණකුලසූරියගෙ බබා ඉස්කෝලෙදි හරි කේක් දුන්නොත් එපා මම කන්නෙ විජීගෙ කේක් විතරයි කියනවලු.

Q හරි දැන් කියන්නකො අන්තිමට සමරපු විජීගෙ උපන් දිනයට කේක් වර්ග කීයක් හැදුවද, කේක් කිලෝ කීයක් හැදුවද කියලා?

කේක් වර්ග විස්සක් විතර හැදුවා. හැබැයි උපන් දින කේක් එකක් කැපුවෙ නෑ. මට ඕනෑ වුණේ කේක් කපන්නෙ නැතුව මගේ ආදරණීය ආරාධිතයන් හැමෝටම එයාලා කැමති එක එක රස කේක් දෙන්න. එක වර්ගයකින් කේක් කිලෝ දෙක ගාණෙ විතර කේක් කිලෝ හතළිහක් හැදුවා. 

Q ඔය ''කේක් ගේම් එකට'' කොච්චර විතර කාලයක් ගියාද?

ඊට ඉස්සරයින් දවසෙ හවස ඉඳන් තමයි හදන්න පටන් ගත්තෙ. 

Q ඇත්තටම ජීවිතේ වැඩියෙන්ම ආදරය කරන්නෙ මොනවටද?

කේක්වලට. 

Q එතකොට ආසා කරන්නෙ?

ඒත් කේක්වලට. 

Q කේක් නිසා ජීවිතේට ලැබුණු වටිනාම දේ මොකක්ද?

පුංචි කාලෙ ඉඳන්ම නළු නිළියන්ට කලාකරුවන්ට ආසා කරපු මට එයාලව ජීවිතේ මේ තරම් ළඟින් ඇසුරු කරන්න ලැබුණු එක. අද එයාලගෙ හුඟාක් උත්සවවල විශේෂ අවස්ථාවල මමත් ආරාධිතයෙක් කළේ ඒ කේක්. 

Q කේක් නිසා ජීවිතේ සාර්ථක වුණා කියලා හිතනවද?

ඔව්. එක පැත්තකින් හරිම වින්දනීය ජීවිතයක් මට ලැබුණා. ඒ වගේම අද මම මගේම කේක් ෆැක්ටරියක අයිතිකාරයෙක්. මගේ යටතේ වැඩ කරන පිරිසක් ඉන්නවා. කේක් නිසා ව්‍යවසායකයෙක් වූ සතුට මට තියෙනවා. ඒ වගේම අද මම ගුරුවරයෙක් විදිහට කේක් කලාව උගන්වනවා. මට හිතෙනවා කේක් නිසා ලැබුණු දේවල් මිසක් නොලැබුණු දේවල් කිසිවක් නෑ කියලා. රසයි, නියමයි, වෙනස්, ලස්සනයි කියන ප්‍රතිචාර තමයි හැමදාමත් ලැබුණෙ. නළු නිළියන්ට කලාකරුවන්ට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් වෙනුවෙන් මම කේක් නිර්මාණය කරනවා. 

Q කලාකරුවන් වෙනුවෙන් හදපු ලොකුම මංගල කේක් ගෙඩිය හැදුවෙ කා වෙනුවෙන්ද?

විනූ සිරිවර්ධන වෙනුවෙන්. ඒ කේක් ගෙඩිය අඩි දොළහක් විතර උසයි. ෂැංග්‍රිලා හෝටලේ වහළෙටම උසයි. ගෝල්ඩ් ඇන්ඩ් ඕෆ් වයිට් තමයි ඒ කේක් එකේ පාට. කලාකරුවෙක් වෙනුවෙන් කේක් එකක් හදද්දි ඒ කලාකරුවා මගේ මතකයේ ඉන්නවා හැමතිස්සෙම. ඒක හරි සුන්දර හැඟීමක්. 

Q කොච්චර ආසා කළත් දැන් මට කේක් එකක් හදන්න බෑ කියලා හිතෙන වෙලාවක් විජීට තියෙනවද?

ඔව්. හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවක, හිතේ මොකක් හරි අවුලක් තියෙන වෙලාවක මට කේක් හදන්න බෑ. එහෙම වෙලාවක දුරකථන ඇමතුමක් ආවත් මම කතා කරන්නෙ නෑ. ඕනෑම නිමැවුමක් මුලින් මැවෙන්නෙ හදවතේ. නිරවුල් නොවුණු හදවතකට ලස්සන නිමැවුමක්, ලස්සන වර්ණ සම්මිශ්‍රණයක් ගැන හැඟීමක් එන්නෙ නෑ. මගේ ලෝකයම කේක් වුණත් ඒ වෙලාවට මම හරි නිශ්ශබ්දයි. කේක්වලින් මම දුරස් වෙන වෙලාවත් එච්චරයි. 

I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ