2024 ජනවාරි 27 වන සෙනසුරාදා

ඒ කොණෙත් මේ කොණෙත් කොරියානු උමතුමක්

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

ඔන්න මචෝ අද අරගෙන ආවා සිරා Y Trend එකක්. ලංකාවේ තාරුණ්‍ය ගොඩක් වෙලාවට හීන දකිනවා කොරියාවේ ගිහිල්ලා සුන්දර ජීවිතයක් ගත කරන්න. ඒ වගේම ලංකාවේ තරුණියෝ හීන දකිනවා කොරියාවේ ගායක ගායිකාවෝ, නළු නිළියෝ වගේ ජීවත් වෙන්න. මචෝ මේක සිරාවට වෙනම ආතල් එකක්. ඒ නිසාම අද අපි කතා කරන්න හිතුවා කොරියානු උමතුව ගැන. 

අපි සාමාන්‍යයෙන් මේ සීන් කෝන් එක ගැන කතා කරලා තියෙනවා. ඒත් ලංකාවේ සුදාලා දැනගන්න ඕනෑ මේ සීන් එකේ වෙනම පැත්තක් තියෙනවා. ඉතින් අද අපි හිතුවා ඒ ගැන කතා කරන්න.

අද ලෝකේ Culture එකක් විදිහට වැඩිපුරම Trends හදන්නේ කොරියාව කියලා කිව්වොත් වැරදි නෑ. ඉස්සර නම් මචෝ මේ ආධිපත්‍ය තිබුණේ හොලිවුඩයට සහ බොලිවුඩයට. ඒත් මේ වෙනකොට කොරියාව තමන්ගේ Popular culture එක මුළු ලෝකයටම අරගෙන ගිහිල්ලා හමාරයි. ඇත්තටම මචෝ මේක කොරියානු ආක්‍රමණයක්. අන්න ඒක තමා Point එක.

K-Pop, K-Drama වගේ සීන් ගැන මේ වෙනකොටත් අවස්ථා කිහිපයකදීම අපි කතා කරලා තියෙනවා. ලංකාවේ සුජාත දියණියගේ ඉඳලා මේ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙන කොරියානු ටෙලිනාට්‍ය ප්‍රමාණය අතේ ඇඟිලි ගාණටත් වඩා වැඩියි. වසර කිහිපයක් ඇතුළේ ප්‍රධාන ධාරාවල මාධ්‍ය පවා කොරියානු ආක්‍රමණයට ගොදුරු වුණා. මේ මොහොතේ පවා ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවල කොරියානු ටෙලි කතා විකාශය කරනවා.

ඇත්තටම මචෝ මේක අපේ රටට වෙච්ච සීන් එකක් නෙවෙයි. ලෝකෙ ගොඩක් රටවල්වලට අපිට වෙච්ච වැඩේම වෙලා. විශේෂයෙන්ම පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් මේ කොරියානු සංස්කෘතික ආක්‍රමණයේ ගොදුරු බවට පත්වෙලා ඉන්නවා. යුරෝපය පැත්තට ගියොතින් එංගලන්තයේ, ප්‍රංශයේ, ජර්මනියේ පවා කොරියානු සංස්කෘතියට ආදරේ කරන උමතු රසිකයෝ ඕනෑ තරම් ඉන්නවා. අපේ අසල්වැසි ඉන්දියාවෙත් එහෙමයි.

සිරාවටම මචෝ මේ Trend එක පිටිපස්සේ අපිට නොපෙනෙන කතාවකුත් තියෙනවා. ලෝකෙ Entertainment  කියන්නේ විශාල මුදල් සම්භාරයක් සංසරණය වන ක්ෂේත්‍රයක්. ඒ මුදල් සම්භාරය තමන් වෙත ළඟා කර ගැනීම තමා කොරියානු රජයේ අරමුණ. හොලිවුඩය බොලිවුඩය, ඇමෙරිකාවේ ඉන්දියාවේ ආර්ථික දියුණුවට දක්වපු දායකත්වය පිළිබඳ ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. ඍජුව ගලාගෙන එන මුදල් වගේම, වක්‍රව තමන්ගේ රටේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම හරහා ලැබෙන ආර්ථික වාසියත් මේ රටවල් දෙක ලබාගත්තා.

ඉතින් මචෝ මේ සීන් එක කොරියාව හොඳටම බලාගෙන හිටියා. විශේෂයෙන්ම මේගොල්ලෝ ඇමෙරිකාවේ සීන් එක සුපිරියට Touch කළා. මෙයාලා ඇමෙරිකාවෙ බොහොම හිතවත්තු. ඒ නිසාම මචෝ දැන් කොරියාව බොහොම තදට තමන්ගේ කලාව ලෝකෙ පුරා පතුරලා අරින්න අනුග්‍රහය ලබා දෙනවා. 

සිරාම සිද්ධිය කියන්නේ, කොරියාව මේ සංස්කෘතික Hype එක ලබාගත්තේ ඇමෙරිකාවෙන්. ඒත් මේ වෙනකොට ඇමෙරිකානු තාරුණයත් කොරියානුකරණයට ලක්වෙමින් ඉන්නවා. ඇමෙරිකාව ඇතුළෙත් කොරියාවට ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. දේශපාලන හේතුවක් එම සංස්කෘතික හේතුවත් ඒ ආදරය ඇතුළෙ තියෙනවා. ඒත් මේ කොරියානු කලාවේ නැගීම තමා මේ කොරියානු පිස්සුවට ලොකුම හේතුව.

K Pop කියලා කියන්නේ කොරියානු සංගීතයට. මේ සංගීත ශානරය මේ වෙනකොට මුළු ලෝකයම ආක්‍රමණය කරලා හමාරයි. ලෝකෙ ජනප්‍රියම සංගීත කණ්ඩායම්වල නම් මතක් කරතොත්, මේ වෙනකොට ලෝකෙටම මතක් වෙන්නේ කොරියානු සංගීත කණ්ඩායම්වල නම්. අපේ ලංකාවේ තරුණියන් ගොඩක් දෙනෙකුට මේ කොරියානු සංගීත කණ්ඩායම් ගැන පිස්සුව තියෙනවා.

මේක කොච්චර බරපතළ සීන් එකක්ද කියලා කියන්නේ, මේ කොරියානු සංගීත කණ්ඩායම් සාමාජිකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සන්නාම තානාපතිවරුන් විදිහට පවා පත්වීම් ලබාගන්නවා. හැබැයි මචෝ මේ සීන් කෝන් එකට ඇමෙරිකාව ඇතුළු යුරෝපය කැමතියි. ඒකට හේතුව තමයි උතුරු කොරියානු තර්ජනය. උතුරු කොරියාවට පහර ගහන්න දකුණු කොරියාව උස්සගෙන යන එක දැන් කාලයක ඉඳන් මේ අය කරමින් ඉන්නවා.

අනිත් පුදුම හිතෙන දේ තමයි උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පවතින වෙනස. ලෝකයට විවෘත වුණු, ලෝකයම ආදරය කරන සංස්කෘතියක් දකුණු කොරියාව නිර්මාණය කරගන්න සමත්වෙලා. ඒක ලෝකයේ අංක එක බවටත් පත්වෙලා. ඒත් කොරියානු මිනිසුන්ම ඉන්න උතුරු කොරියාවට මොකක්ද වෙලා තියෙන්නෙ. ඔවුන් ඉන්නේ ලෝකෙන්ම හැංගිලා. උතුරු කොරියානුවන්ට මේ කොරියානු ජනප්‍රිය සංස්කෘතිය දිහා බැලීම පවා මරණ දඬුවම හිමිවන වරදක්.

කොරියාවෙ මේ නැගිටීම දිහා බලාගෙන හිටපු අනික් කෙනා තමා චීනය. මේ වෙනකොට කොරියාවෙන් පාඩම් ඉගෙනගෙන චීනයත් වැඩේ කරගෙන යනවා. මේ වෙනකොට චීන ටෙලිනාට්‍ය, සිනමාපට, සංගීතය ක්‍රමයෙන් ලෝකය තුළ ජනප්‍රිය වෙන්න පටන් අරගෙන. හැබැයි මෙතැනදි සිද්ධ වුණේ පැහැදිලිවම කොරියාවේ නැගීම දිහා බලාගෙන හිටපු චීනය තමන්ගේ මෙහෙයුම දියත් කරපු එක. මචෝ මේවා සිරා සිද්ධි.

කොරියාවට කලින් ආසියාවේ මේ පැත්තේ කලාවේ ආධිපත්‍යය පතුරගෙන හිටියෙ ජපානය. ජපානයට තාමත් අමුතුම තැනක් තියෙනවා. ඒත් ඇත්තටම මචෝ වාණිජ අර්ථයෙන් නම් ජපානය පහුකරගෙන දැන් කොරියාව ගොඩක් ඉස්සරහට ඇවිල්ලා. කොරියාව, ජපානය, චීනය කොහොම වුණත් එකිනෙකට සමපාත වන අමුතු ගමනක ඉන්න බව නම් සුදාලට පැහැදිලිවම කියන්න ඕනෑ.

Trend කිව්වමත් කලාව කිව්වමත් අපිට සරල සුන්දර දෙයක් වගේ තමයි නිතරම හිතෙන්නේ. ඒත් ඒ දේවල් පිටිපස්සේ බරපතළ කතා තියෙනවා. සමහර දේවල් දේශපාලනිකයි. තවත් වෙලාවකට ඒ දේවල් ආර්ථිකමය විදිහට තමා විග්‍රහ කරගන්න ඕනෑ. කොහොම වුණත් මේ සීන් එකෙන් අපි ඉගෙනගන්න ඕනෑ පාඩමකුත් තියෙනවා. රටක් විදිහට මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න අපිටත් බැරිකමක් නෑ. අනික අනවශ්‍ය විදිහට අපි කාගෙවත් පිටපත්වල චරිත වෙන්න ඕනෑත් නෑ.

I චමිඳු නිසල්