2024 ජනවාරි 27 වන සෙනසුරාදා

මනරම් මැලේසියාවේ මොහොතක්!

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 113

ඒ රාත්‍රිය මනරම්ය. ළා රන්වන් පැහැයෙන් දිලිසෙන සිසිල් පානයක රස විඳිමින් කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඇති විවේකාගාරයක මම නැවතී සිටියේ මැලේසියාව බලා පිටත් වීමට නියමිත මැලේසියාවේ මලින්ඩෝ ගුවන් සමාගමට අයත් Boing ගුවන් යානයට ගොඩවන තත්ත්පරය එළඹෙන තෙක්ය. මැලේසියාව බලා යාමට මගේ මාධ්‍ය ජීවිතය තුළ ලද මේ අවස්ථාව පිළිගැනීමට මම නොඉවසිලිමත් සිතකින් බලා සිටියේ සංචාරක ජීවිතය කෙරෙහි වන ඇල්ම නොසිඳෙන උල්පතක් සෙයින් හැමදාමත් මට දැනෙන නිසාමය.

අහස සිසාරා පුළුන් වලා ඕවිල්ලේ හීන අතරෙහි නැලවෙමින් Boing යෝධ කුරුල්ලා ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළට ළඟා වෙද්දී දම් පැහැ සළුවක උණුසුමේ මම මගේම කල්පනාවන් අතර සැරිසරමින් සිටියා. ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළේදී මා පිළිගැනීමට පැමිණ සිටි අමුත්තාගේ ආදරණීය පිළිගැනීමත් සමඟම ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළේ සිට මැලේසියාවේ නිර්මාණාත්මක අගනගරය වන පුත්‍රජයා පසුකරමින් මා ගමන් කරමින් සිටියේ මා නවාතැන් ගන්නා හෝටලය වෙතය. මඟ දෙපසම වූයේ එක පෙළට කොළ පාටින් දිලිසෙන තුරු පෙළකි. නිලට නිලේ  දිලෙන කොළ වර්ණය නෙතට සැනසිලිදායකය. ඒ යන අතරමඟ මට අවැසි වූයේ උණුසුම් කිරි කෝපි කෝප්පයක රස විඳින්නටය. ඒ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය බෙහෙවින් ළෙන්ගතු විය. මෙවර මැලේසියා සංචාරයේදී මා විඳි පළමු ළෙන්ගතු සත්කාරය එයයි. හෝටලයේදී උදෑසන ආහාරයෙන් පසු හැකි හැම මොහොතක්ම සංචාරය වෙනුවෙන් මිඩංගු කිරීම මගේ නොතිත් කැමැත්ත වූයෙන් චයිනා ටවුන් සහ මා නවාතැන් ගෙන සිටි හෝටලය අවට සුපිරි ෂොපින් මෝල් අතර සැරිසරමින් එදින දවස ගෙවා දමද්දී පදික වෙළෙඳුන් පාරිභෝගිකයන් වෙත දක්වන සැලකිල්ල සත්කාරය සහ ආගන්තුක සත්කාරය මා විඳි සුන්දරම අත්දැකීමක් විය.

මැලේසියාවට පැමිණෙන සංචාරකයන් නොවැරදීම තම සංචාරක නාමලේඛනයට එක්කර ගන්නා තැනක් ලෙස Batu Caves සඳහන් කරන්න පුළුවන. මැලේ භාෂාවෙන් Batu යන්නෙහි අරුත කඳුකර යන්නය. කඳුකරයේ පන්සල යනුවෙන් හඳුන්වන මෙම පුදබිමට හින්දු බැතිමතුන්, බෞද්ධයන් මෙන්ම යුරෝපීයන්ද බොහෝ සෙයින් පැමිණෙනවා. එම පුදබිමෙහි පිහිටා ඇති කෝවිල බැතිමතුන්ගෙන් හිස්වන මොහොතක් නැති තරම්. උදෑසනම එහි ගොස් පඩිපෙළ යාත්‍රාව ඔස්සේ ඒ මනරම් කන්ද තරණය කර ඊළඟට මම සැරසුණේ මැලේසියාවේ ජනප්‍රියම සංචාරක නවාතැන්පොළක් වූ සන්වේ ලැගුන් විනෝද උයනට යාමටයි. මුහුදු කලපුවක් ඇසුරේ සුවිසල් භූමි වපසරියක නිර්මාණය කර ඇති සන්වේ ලැගුන් සංචාරකයන්ගෙන් හිස්වන මොහොතක් නැති තරම්. එහි පිවිසුමෙන් ඇතුළු වූ පසු හමුවන පක්ෂි උයන තුළ හමුවෙන කුරුල්ලන් දිහා හුඟාක් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. අනතුරුව සිංහයන්, කොටියන් වැනි සිවුපාවන් මෙන්ම විවිධ සතුන් සරන උද්‍යානයක් හමුවෙනවා. ආකර්ෂණීයම වන්නේ වනාන්තරයක ආකාරයට මෙම උයන නිර්මාණය කර තිබීමයි. කලපුවට උඩින් ඇති වැල් පාලමේ ගමන් කිරීම ලස්සන අත්දැකීමක් වෙන්නෙ සෙලවෙන පාලමේ ඉඳන් පහත බලද්දි පෙනෙන්නෙ දියෙන් පිරුණු බිමක් නිසා. සන්වේ ලැගුන් සංචාරක උයන වටා කෝච්චි පෙට්ටි පහකින් සමන්විත කෝච්චියක් නිරන්තරයෙන් සංචාරය කරනවා. එම කෝච්චියේ නැගී සංචාරකයන්ට රිසි සේ ඒ උයන වටා එය නරඹමින් ගමන් කරන්න පුළුවන්. වතුර කියන්නෙ එපා නොවෙන දෙයක්. ඇත්තටම රිසි රිසි සේ ඕනෑ තරම් ජල ක්‍රීඩාවන්හි අත්දැකීම් විඳින්නත් සන්වේ ලැගුන් කියන්නෙ කියාපු තැනක්. කෘත්‍රිම දියඇලි, ජලාශ, ඇළ දොළ අතරේ එල්ලා ඇති විශාල බාල්දිවලට යන්ත්‍රානුසාරයෙන් වතුර පිරෙන්නට සලස්වා පිරුණු වතුර බාල්දි පෙරළෙන විට එහි වතුරෙන් නාන්න සංචාරකයන්ට ලබා දී ඇති අත්දැකීමට ප්‍රිය නොකරන සංචාරකයෙක් නැති තරම්. සන්වේ ලැගුන්හිදී මා විඳි තවත් ප්‍රියජනකම අත්දැකීමක් වන්නේ Roller coaster අත්දැකීමයි. සමහරුන්ට එය හිත හිරිවට්ටන අත්දැකීමක් වුණාට ෂා... එය ඇත්තටම හරි වින්දනීය අත්දැකීමක්. සන්වේ ලැගුන් කියන්නෙ ආවම යන්න නොහිතෙන තැනක් කිව්වොත් ඒක ඇත්තම ඇත්තක්. ඒකට මුල්ම හේතුව වතුර කොයි තරම් ආදරණීයද කියන එක ලස්සනටම කියා දෙන තැනක් වන නිසා එතැන කියලයි මට හිතෙන්නෙ. සන්වේ ව්‍යාපාරයට අයත් තරු පන්තියේ හෝටල්, සරසවි, රෝහල්, පාසල් ආදී ස්ථාන රැසක් සන්වේ ලැගුන් කේන්ද්‍රීයව පිහිටා තියෙනවා. 

ජෙන්ටින් හයිලන්ඩ් කියන්නෙත් මැලේසියානු සංචාරයකදි අත්විඳින්න හැකි තවත් සුන්දරම අත්දැකීමක්. මැලේසියාවේ අහසේ තැනූ විනෝද උයන ලෙස සැලකෙන මෙහි පිවිසීමට ප්‍රධාන ප්‍රවේශයන් දෙකක් තියෙනවා. සංචාරකයෙක්ට කැමති නම් පාගමනින් හෝ වාහනයකින් මහා මාර්ගය දිගේ ගමන් කරන්නත් පුළුවන්. නොඑසේ නම් කේබල් කාර් මගින් ගමන් කරන්නත් පුළුවන්. කේබල් කාර් මගින් ගමන් කරද්දි යායට ගහකොළ විහිදි භූමිය දකින්න ඇති මනරම්ම දසුනක්. අහස් මාර්ගය වඩාත් සුන්දර වන්නේ ඇස ගැටෙන ගැටෙන තැන්හි දිස්වන ඒ නිල්වන් ගහකොළ හින්දමයි. තේමා උද්‍යානයක් ලෙස හඳුන්වන ජෙන්ටින් හයිලන්ඩ් අලංකාර ක්‍රීඩාගාර, සාප්පු සංකීර්ණ, විවිධ රටවල්වල විවිධ රසවත් ආහාරවලින් පිරුණු ආපනශාලා ආදියෙන් සමන්විත උයනක්. එහි නැරඹුම් ස්ථාන රුසක් හමුවීම සුවිශේෂීයි. 

මැලේසියානු සංචාරයේදී අත්විඳි තවත් ප්‍රියතම සහ සුන්දරම අත්දැකීමක් වන්නේ පදික වේදිකා දෙපස ඇති විවිධ රටවල ආහාර රසවිඳිය හැකි ආපනශාලා සහ හෝටල්හි අත්දැකීමයි. සිංහල කෑම බීම වගේම රසවත් ඉන්දියානු, චීන, තායි, කොරියන්, මේ ඕනෑම ආහාර වර්ගයක් රසවිඳින්න හැකි තැන් ඒ අතරේ තියෙනවා. රසවත් මැලේ ආහාරත් එහිදී රසවිඳින්න පුළුවන්. 

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති උතුරට නෑකම් කියන ජී. ආනන්ද ක්‍රිෂ්ණන් මහතාට අයත් පෙට්‍රෝනාස් ටවර්ස් කියන්නෙ කලක් ලෝකයේ උසම කුලුන ලෙස නම් ලද කුලුනයි. මැලේසියාවට එන කිසිදු සංචාරකයෙක් මඟ නොහරින අත්දැකීමක් ලෙස එයත් හඳුන්වන්න පුළුවන්

සංචාරය කියන්නෙ ජීවිතේදි අත්විඳිය හැකි චමත්කාරම අත්දැකීමක් කිව්වොත් මම හිතන්නෙ මම වැරදි නැහැ. සංචාරය තරම් ජීවිතේ තනි නොතනියට මතක ඉතුරු කරන තවත් අත්දැකීමක් මම හිතන්නෙ කෙනෙකුට හමුවෙන්න විදිහක් නෑ. ඉතින් මනෝමය ලෝකය තුළ දවසක විඳින්න සුන්දරම මතක හදවතින් එකතු කරගත්ත දවස් කිහිපයක් තමයි ආයෙත් ගෙවිලා ගියේ. ඔව් ආයෙමත් එහෙම දවස් මුණගැසෙන තුරු ඒ මතක මා ළඟ හිඳීවි. 

මැලේසියානු සංචාරයකින් පසු 
I කතාව සහ සේයාරූ සංජීවිකා සමරතුංග