2017 ජුනි 17 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා කණ්ඩායම පරදිනවා බලන්න මට අමාරුයි

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 228

ලංකාව වෙනුවෙන් කෑගැසූ පාකිස්තාන කොල්ලා ජමීල් හදසරට කතා කරයි

ක්‍රිකට් ක්‍රීඩාව ලාංකික හදවතේ රැඳි අංක එකේ ක්‍රීඩාව බවට විවාදයක් නැත. දෙවරක් ක්‍රිකට්වලින් ලෝක ශූරයන් වූ අපට ක්‍රිකට් තරම් හරිගිය තවත් ක්‍රීඩාවක් නැතැයි කීමේද වරදක් නැත. ජගත් ක්‍රීඩා පිටිය තුළ ක්‍රිකට්වලින් ලාංකිකයන් දැක්වූ දක්ෂතා නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙත ඇළුම් කරන්නන් අතර විදේශිකයන්ගෙන් ද අඩුවක් නැත. එහෙත් තමන් උපන් බිමේ ක්‍රිකට් කණ්ඩායමටත් වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇළුම් කරන්නෙකු සිටින්නේයැයි විශ්වාස කළ හැකිද? 
අයි.සී.සී. ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවති තරගය කාගේත් අවධානය දිනාගත් තරගයක් විය. ඇතැමෙකුට අනපේක්ෂිත වූ ශ්‍රී ලංකා පිලේ මෙම විශිෂ්ට ජයත් සමඟ සමාජ මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේත් අනිකක් නොව ඉන්දු ලංකා ක්‍රිකට් තරගයයි. මේ අතරවාරයේදී You Tube හරහා හුවමාරු වෙමින් පැවැති අපූරු වීඩියෝවක් ද විය. 

ජමීල් හසන් නමැති පාකිස්තාන තරුණයා ඉන්දු ශ්‍රී ලංකා තරගය රූපවාහිනිය නරඹමින් සිටියදීම වීඩියෝ කර එය අන්තර්ජාලයට මුදා හැර තිබුණි. කැඩුණු සිංහලෙන් නමුත් නිවැරදි උච්ඡාරණය සහිතව ශ්‍රී ලංකා ජාතික ගීය පවා ගයමින් ශ්‍රී ලංකා පිලට සුබපතමින් ඔහු නිකුත් කර තිබූ වීඩියෝව ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රසාදයටත් අවධානයටත් ආදරයටත් ලක්විය. කවුද මේ ජමීල්යැයි විශේෂයෙන්ම Facebook හරහා සොයා බලන්නට බොහෝ ශ්‍රී ලාංකිකයන් පෙළඹුණේද ඒ වීඩීයෝව නිසාමය. ඉන්දු ලංකා ක්‍රිකට් තරගයකදී පාකිස්තානුවන් ශ්‍රී ලංකා පිලට සුබ පැතීම සාමාන්‍ය දෙයක් නමුත් වැඩිදුර සොයාබැලීමේදී දැනගැනීමට ලැබුණේ ජමීල් පාකිස්තාන ශ්‍රී ලංකා තරගයකදී පවා ශ්‍රී ලංකා පිලට සහාය ලබාදෙන සියයට සියයක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියෙකු බවය. ආගන්තුකයෙකු වුවත්, ජාතිය, ආගම, මව් භාෂාව වෙනස් වුවත්, ජමීල්ගේ හදවත පුරා රුඳී තිබුණ ඒ ශ්‍රී ලාංකිකත්වය නිසාම ජමීල්ට කතා කර බලන්න අපට සිත් විය. සමාජ මාධ්‍ය හරහා ජමීල් සමඟ අප කෙටි පිළිසඳරක යෙදුණේ ඒ නිසාමය.

පකිස්තානයයි - ලංකාවයි ගැහුවත් මම චියර් කරන්නෙ ලංකාවට

ජමීල් ඔබ කවුද මොනවද කරන්නෙ කියලා මුලින්ම කිව්වොත්?
මගේ නම ජමීල් හසන්. මට වයස අවුුරුදු 25යි. මම ඉපදුණේ පාකිස්තානයේ පෙෂාවෝර් නගරයේ. මම දැනට අබුඩාබි නුවර මහජන සම්බන්ධතා නිලධාරියෙක් විදිහට සේවය කරනවා. ක්‍රිකට් සහ දේශපාලනය තමයි මම කැමතිම අංශ දෙක. 

ක්‍රිකට්වලට ඇල්ම පටන් ගත්තෙ කොයි කාලෙද?
මම පොඩි කාලෙ ඉඳන්ම ක්‍රිකට් තරග බලන්න උනන්දු වුණා. හැබැයි ඒ කාලෙ ඉඳන්ම මගේ කැමැත්ත තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. මට මතක විදිහට 2003 අවුරුද්දේ විතර ඉඳන් මම ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ රසිකයෙක්.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඇළුම් කරන්න හේතුව මොකක්ද?
මුල්ම හේතුව තමයි මහේල. මම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආදරය කරන්නෙ කොයිතරම්ද ඒ තරම්ම මම මහේලටත් ආදරෙයි. මට මතකයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර්වලදි ප්‍රහාරයක් එල්ල වුණු වෙලාව. මම එතකොට කැම්පස් යනගමන් හිටියෙ. ගෙදරින් මට පණිවුඩය දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදියෝ පහරදීලා මහේල නැතිවෙලා කියලයි. ඒක ඇහිච්ච මොහොතෙ මට දැනුණෙ පුදුම කම්පනයක්. ඒ එක්කම මට ඇඬුණා. හැබැයි පස්සෙ දැනගත්තා කාටවත් ලොකු අනතුරක් නැහැ කියලා. ඔවුන්ට කරදරයක් නොවීම ගැන මම දෙවියන් වහන්සේට ස්තූති කළා. ලංකාවේ ටීම් එකේ හැමෝගෙම සමරු අත්සන් මම අරගෙන තිබුණා. හැබැයි අවාසනාවකට ඒ පොත නැතිවුණා. 

මට ලංකාවේ ජාතික ගීය ගයන්නත් පුළුවන්

 

ඇයි මහේලට විශේෂත්වයක්?
මහේල කියන්නේ නියම නායකයෙක්. එයා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරග තුනකට අරන් ගියා. ඒ වගේම අයි.සී.සී.යේ ලොව හොඳම ක්‍රිකට් නායකයා කුසලානය ලැබුණු ආසියාවේ එකම ක්‍රිකට් නායකයාත් මහේලයි. දෙවියන්ට ස්තූති වෙන්න, 2011 අවුරුද්දෙදි අබුඩාබි නුවරදීම ක්‍රිකට් තරගයක් අතරතුර මහේල මුණගැහෙන්න මට පුළුවන් වුණා. ඒක මගේ ජීවිතයේ හීනයක් හැබෑ වීමක්. ඔහු ඒ තරම් නිහතමානී බව දැනගත්තම මට ගොඩක් පුදුම හිතුණා. එදායින් පස්සෙ ඔහු ගැන තිබුණු ගෞරවය ආදරය තවත් වැඩිවුණා. මහේල ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියාට පස්සෙ මම හිතුවා දැන්වත් පාකිස්ථාන කණ්ඩායමට චියර් කරනවා කියලා. ඒත් ඇත්තටම මට ඒක කරන්න අමාරැයි. ශ්‍රී ලංකා කණ්ඩායම පරදිනවා බලන් ඉන්න එක තරම් අමැරු දෙයක් මට තවත් නැහැ. 

ජමීල් ක්‍රිකට් සෙල්ලම් කරලා නැද්ද?
නැහැ. විනෝදයට සෙල්ලම් කළාට, එහෙම ලොකුවට ක්‍රිකට් සෙල්ලම් කරලා නැහැ. ශ්‍රී ලංකා පිලට සෙල්ලම් කරන්න තිබුණානම් කැමතියි. 

මහේල තමා මගේ වීරයා

පාකිස්තානයෙනුත් ගොඩක් හොඳ ක්‍රිකට් තරු බිහිවුණා. පාකිස්තානයට ලෝක කුසලානය ගෙනත් දුන්නු ඉම්රාන් ඛාන් හොඳ උදාහරණයක්. ඔහුට කැමති නැද්ද?
ම්.. නැහැ මහේලට තරම් වෙන කාටවත් කැමති නැහැ. 

ශ්‍රී ලංකාව සහභාගීවන හැම තරගයක්ම බලනවද?
2003 ඉඳන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු එක තරගයක්වත් මම නොබලා ඉඳලා නැහැ. 

ලංකාව හැරුණු විට වෙන කැමැති ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවද?
නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පිට වෙන කණ්ඩායමක් ගැන මට කැමැත්තක් නැහැ. 

ඉන්දියාවත් ලංකාවත් අතර තරගය දවසේ ඔබ කරපු වීඩියෝව හුඟාක් ශ්‍රී ලාංකිකයන් බැලුවා කියලා ඔබ දන්නවද?
ඔව් ඔව්. මට දැනගන්න ලැබුණා. 

ඇයි එහෙම දෙයක් කරන්න හිතුවෙ?
මට මගේ සතුට කියාගන්නයි ඕන වුණේ. එහෙම නැතුව බොරුවට මුකුත් පෙන්නන්න නෙමෙයි. 

ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර තරගයෙන් ලංකාව බොහොම අවාසනාවන්ත විදිහට පරාජය වුණා. ඔබට හිතෙන විදිහට ලංකාවට වැරදුණේ කොතැනදිද?
මුලින්ම කියන්න ඕන ලකුණු 236ක් කියන්නේ පාකිස්තාන කණ්ඩායමට එරෙහි තරගයකදී ආරක්ෂා කරගන්න පුළුවන් ලකුණු ගාණක්. හැබැයි උඩ පන්දු අත්හැරීමත් දුර්වල පන්දු රැකීමත් නිසා අපිට තරගය දිනන්න තිබුණු අවස්ථාව මඟහැරිලා ගියා. විශේෂයෙන්ම තිසර.. එයා පාකිස්තානෙට එරෙහිව අරන් තියෙන කඩුලු ත්‍රිත්වය එයාට අමතක වුණත් එදා මිස් කරපු කැච් එක නම් අමතක වෙන එකක් නැහැ. 

ලාහෝර්වලදී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදීන් ගහපු වෙලාවේ මම ඇඬුවා

 

පාකිස්තාන කණ්ඩායම තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දෙද්දි ඔබට කවුරුවත් බලපෑම් කරලා බැණලා නැද්ද?
මේ වෙනතුරු එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුංචි කාලෙදි මම ශ්‍රී ලංකා කණ්ඩායමට චියර් කරද්දි අම්මලා තාත්තාලා මට බැන්නා. පකිස්තානෙ ලංකාව පරාද කරපු අවස්ථාවල මට සමච්චල් කළා. යාළුවොත් ඒවා මේවා කිව්වා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මගේ ඇඟෙන්ම එන දෙයක් කියලා දැන් එයලා දන්නවා. 

ජමීල්ට ලංකාවෙ යාළුවො ඉන්නවද?
කිහිපදෙනෙක් ඉන්නවා. මම කොහොමත් ලංකාවට එන්න ලොකු ආසාවකින් හිටියෙ. අන්තිමේදී 2015 අවුරැද්දෙදි ලංකාවට එන්න මට පුළුවන් වුණා. ඒ ඇවිත් මගේ 23 වැනි උපන්දිනය සැමරුවේත් ලංකාවෙදියි. ඒ ආපු වෙලාවේ මුස්ලිම් යාළුවෙක් වගේම බෞද්ධ යාළුවෙකුත් කතෝලික යාළුවෙකුත් මට ගොඩක් උදව් කළා. මට ඔවුන්ගෙන් ලැබුණු ආදරය වචනයෙන් විස්තර කරන්න බැහැ. මගේ Facebook එකෙත් මට ලංකාවේ යාළුවෝ ඉන්නවා.  

සිංහල කතාකරන්න ඉගෙන ගත්තෙ කොහොමද?
ලංකාවට මගේ හිතේ තියෙන කැමැත්ත හින්දම තමයි මම සිංහල ටිකක් පුරුදු වුණේ. ලංකාවට මෙච්චර ආස නම් ඇයි ලංකාවෙ භාෂාව ඉගෙන ගන්නෙ නැත්තෙ කියලා මම කල්පනා කළා. ශ්‍රී ලංකා ජාතික ගීය ගයන්න ලැබීමත් මට ලොකු ගෞරවයක්. 

ලංකාවෙ පදිංචි වෙන්න එහෙම අදහසක් නැද්ද?
මම කැමැතියි හැම අවුරුද්දෙම ලංකාවට ඇවිත් යන්න. හැබැයි ලංකාවෙ පදිංචිවෙනවා කියන එකනම් මට ටිකක් අමාරු වැඩක්. මම කැමැතියි ඉස්සරහට එක්කෝ ක්‍රිකට් තානාපති කෙනෙක් වෙන්න. එහෙමත් නැත්නම් දේශපාලන නායකයෙක් වෙලා පාකිස්තානය ලෝකයේ ආරක්ෂාකාරී සහ දූෂණයෙන් තොර රටක් කරන්න
ඔහු ‘ආයුබෝවන්’ යැයි කියමින් ඇරඹූ කෙටි පිළිසඳර නිමකළේ 'තැන්ක්යූ මචං’ යැයි කියාගෙන ය. 

► Text — Rajitha Jagoda Arachchi 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00