ඉස්කූටර් එකක නැගලා නුවරඑළියේ ඇවිදින ගමන් මෙහෙම කිව්වේ කසකස්ථානයේ ඉඳන් ලංකාවට ආපු බල්නූර්. බයික් එක පැදගෙන ගියපු එයාගේ සගයා එතකොට මෙහෙම කතාවක් කිව්වා.
“මෙහෙට ශ්‍රී ලංකාවේ තියෙන එංගලන්තය කියලත් කියනවා"
මේ දෙන්නා නුවරඑළිය ටවුමට එන්න තමයි මෙහෙම පිටත් වුණේ. ඒ ගමන අතරතුරේ සංචාරකයෝ වැඩි ප්‍රදේශවල තියෙන තදබදය සහ අපහසුතා ගැන වගේම සංචාරකයෝ අඩු ප්‍රදේශවල මිනිසුන්ගේ තියෙන අව්‍යාජ බව පිළිබඳව මේ දෙන්නා කතා කර කර ආවා.
ඊටපස්සේ මේගොල්ලෝ බයික් එක ටවුමේ නවත්තලා පාර්ක් එකට ගියා.
“මෙන්න තියෙනවා කොටන් කැන්ඩි"
එහෙම කියලා බල්නූර් ගත්තා ලොකු බෑග් එකක්. ඊටපස්සේ ඒවත් කකා දෙන්නත් එක්ක හිමින් සැරේ උද්‍යානයේ ඇවිදින්න පටන් ගත්තා.
“මේ බලන්න මේ ගහේ විශාල. 1918 මේ ගහ හිටවලා තියෙන්නෙ. අවුරුදු සීයකටත් වඩා වයසයි"
මෙහෙම ගහකොළ වටපිටාව බල බලා දෙන්නත් එක්ක ඇවිද්දා. මෙහෙම ඇවිදිනකොට මෙයාලා දැක්කා ලංකාවේ පවුලක කට්ටියක් වාඩිවෙලා ඉන්නවා. එයාලා ඉස්සරහ පොඩිත්තො තුන්දෙනෙක් සින්දුවක් දාගෙන නටනවා.
“අපි ආවට කමක් නැද්ද? මෙයාලා නටනවා බලන්න"
මේ දෙන්නා ලංකාවේ අයගෙන් එහෙම අහගෙනම එතැනට ගියා. ඊටපස්සේ පොඩිත්තො සින්දුවක් දාගෙන නැටුවා.
“මමත් පොඩි කාලේ අපේ පවුලේ අය ඉස්සරහ මේ විදිහට නටනවා. ඇත්තටම මේ සංස්කෘතිය ශ්‍රී ලංකාවේ එහෙම්මම තියෙනවා."
බල්නූර් එහෙම කිව්වේ හරිම සතුටින්. දරුවන් ලැජ්ජාශීලී නොවී තමන්ගේ ඉදිරිපත් කිරීම කරපු එක ගැනත් මෙයාලා ඇත්තටම සතුටු වුණා.
ඊටපස්සේ මේගොල්ලො ගියේ කන්න තැනක් හොයාගන්න.
“ඇත්තටම අපි එච්චර පොහොසත් 'යූටියුබර්ස්ලා' නෙවෙයි."
විශාල වීඩියෝ ගාණක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉතාම වෙහෙසකර සංචාරවල නිරත වන බව මේ දෙන්නා අවංකවම කිව්වා. කොහොම හරි මේගොල්ලෝ සාමාන්‍ය කෑම කඩේකට ගිහිල්ලා තමයි කෑම කෑවෙත්.
ආප්පෙ නම් මරු ඒත් අනේ වදේ...
“ඔබට Local experience එකක් ගන්න ඕනෑ නම්, මේක තමයි ස්ථානය"
පිටකොටුවේ ඇවිදින ගමන් එහෙම කිව්වේ කැනඩාවෙ ඉඳන් ආපු ඇලීනා. මෙයා තරමක් ලොකු නරඹන්නන් ප්‍රමාණයක් ඉන්න යූටියුබ් නාලිකාවක් කරගෙන යන Traveler කෙනෙක්. ලංකාවට ඇවිල්ලා පළවෙනි වීඩියෝ එක දැම්මේ මුලින්ම කොළඹ දැක්කම හිතුණු දේ ගැන.
ගෝල්ෆේස් එකේ ඉඳන් තමයි මෙයා කතාව පටන් ගත්තේ.
“කොළඹ කියන්නේ modern නගරයක්. ඊළඟ අවුරුදු දහය පහළොව ඇතුළෙ මේ නගරය සෑහෙන්න වෙනස් වේවි."
ගෝල්ෆේස් එක අවට තියෙන ගොඩනැගිලි වරාය නගරය වගේ දේවල් දැකලා තමයි ඇලීනා එහෙම කිව්වේ. ඒ අතර පහුගිය කාලේ ලංකාවේ සිද්ධවුණු දේශපාලන ආර්ථික බිඳවැටීම් පිළිබඳ අරගලය ගැනත් ඇලීනා වීඩියෝ එකට විශේෂ පැහැදිලි කිරීමක් එක් කරලා තිබුණා.
ඊටපස්සේ ඇලීනා ගියේ කොළඹ සුපිරි අවන්හලක ආප්ප කන්න. එක එක විදියට තිබුණු ආප්ප මෙයාගේ හිතට අල්ලලා ගියා. පස්සෙ තමයි ඇලීනා කොටුව පැත්තෙ ගියේ. ගොඩක් තැන්වල එයා ඇවිද්දා. රතු පල්ලිය ළඟ නතරවෙලා කිව්වෙ මෙහෙම කතාවක්.
“මේ පල්ලිය තුළට අපිට යන්න පුළුවන්. ඒත් අද සිකුරාදා. අද පල්ලිය ඇතුළට යන්න පුළුවන් මුස්ලිම් අයට විතරයි."
කොහොම හරි කොළඹ අවට ඉඳලා පස්සේ අපේ යාළුවා ජනාකීර්ණ පැත්තෙන් ටිකක් ඈතට ගියා.
“මම කලබලයට එච්චර කැමති නැහැ"
ඇලීනා තවත් දේවල් කිව්වා. මිනිස්සු එක එක දේවල් කිය කියා පස්සෙන් ආපු විදිය, ත්‍රිවිල් නවත්තලා නිතරම හයර් යන්න කතා කරපු විදිහ ගැන.
ඇත්තටම පාරෙදී සෑම මිනිත්තු දහයකටම වරක්ම කෙනෙක් කතා කරලා කරදර කරනවා වගේ අදහසක් එයාගෙන් කියැවුණා.
කොහොම හරි දවස් තුනක් ඇලීනා කොළඹ ගත කළා. ගංගාරාම පන්සලටත් ගියා. ගංගාරාමේ තිබුණු සභා අවස්ථාවකුත් දැකබලා ගන්න ඇලීනාට අවස්ථාවක් උදා වුණා. අවසානයේදී ඇලීනා තමන්ගේ නරඹන්නන්ට අපූරු යෝජනාවක් කළා. ඇය සමස්තයක් විදිහට කොළඹ සංචාරය ගැන කතා කළේ ප්‍රසාදයෙන්.
“ඔබ කොළඹ එන්න දවස් කිහිපයක් ඉන්න"
I චමිඳු