Q ලසන්ත.. ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්.. එහෙම නේද?
ඔව්.. මම වෘත්තියෙන් ඉංග්‍රීසියෙන් ගුරුවරයෙක්. මේ දිනවල විභාග කටයුතුවල නිරතවෙලා ඉන්නවා. මම පිටිගල ගංගාතිලක පිරිවෙණේ ඉංග්‍රීසි ඉගැන්වීම් කරනවා. ඒ අතරේ කලා කටයුතුවලට දායකවෙලා ඉන්නවා.
Q ලසන්ත ගායනා කළ ''සඳ දියවර'' ගීතයට ඔබත් එක්ක මංජුලා දිල්රුක්ෂි ගායනයෙන් සම්බන්ධ වෙනවා නේද?
ඔව්.. මංජුලා දිල්රුක්ෂි වැනි ප්‍රවීණ ගායිකාවක් එක්ක ගීතයක් ගායනා කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ ගීතය පෙරදිග අපරදිග සංගීතය මුසු කරලා නිර්මාණය වුණු ගීතයක්. ඒ ගීතය පද රචනා කළේ සිසිර කුලතිලක සහෝදරයයි.
සංගීතවත් කළේ නලින් නාගොඩවිතාන කියන මගේ සංගීත ගුරුතුමායි. මෙම ගීතයට අපි ගායිකාවන් කිහිප දෙනෙක්ම මුලින් යෝජනා කළා. ඒ අතරේ තමයි මම මංජුලා දිල්රුක්ෂි සහෝදරියව යෝජනා කළේ. ඒකටත් එක හේතුවක් තියෙනවා. මට ලැබුණු මුල්ම ආදර හසුනේ උඩින්ම ඒ කාලේ මංජුලා දිල්රුක්ෂි මුලින්ම ගායනා කළ ''ළෙන්ගතුකම වැඩි හින්දයි'' ගීතයේ කොටසක් ලියලා තිබුණා. ඒක මට සුවිශේෂී වුණා. ඒ නිසා මංජුලා දිල්රුක්ෂි සමඟ ''සඳ දියවර'' ගීතය ගායනා කරන්න ලැබීමත් මට සුවිශේෂී වෙනවා. ''සඳ දියවර'' ගීතයට අමතරව මම තව ගීත කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. ''මුහුදුකරේ'' ගීතය මගේ මුල්ම ගීතයයි. ළඟදීම මගේ තව ගීතයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.
Q ඔබ දැන් නළුවෙක් විදිහටත් යම් යම් නිර්මාණවලට දායකත්වය ලබා දීලා තියෙනවා?
ඔව්... නළුවෙක් විදිහට දායක වීම ඇත්තටම අහම්බයෙන් ලැබුණු අවස්ථාවක්. 2011 අවුරුද්දෙ ''සකුරා රේන්ජ්'' සංගීත කණ්ඩායමත් එක්ක මුලින්ම වේදිකාවක ගීත ගායනා කළා. කාලයක ඉඳන් මම විජය කුමාරණතුංග මහතාගේ ගීත ගායනා කරන්න ඇල්මක් දැක්වුවා. ඒ නිසා මුලින්ම ''රැල්ලෙන් රැල්ලට'' ගීතය සංගීත ප්‍රසංගයකදි ගායනා කළා. අද වෙද්දි සංගීත ප්‍රසංග හයසීයකට අධික ප්‍රමාණයක ගීත ගායනා කරලා තියෙනවා. මම හරිම ආසා කරපු චරිත ටිකක් තිබුණා. ජෝ අබේවික්‍රම, මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි කලාකරුවන්ගේ රංගනයන් මම නරඹන්න කැමතියි. ඒ අය හරි පරිපූර්ණ රංගධරයන්. ඔය අතරේ එක්තරා රංග පාසලක වැඩමුළුවක් ගැන මට අහන්න ලැබුණා. ඒකට මාව ධම්මි සිල්වා තමයි යොමු කළේ. ඒ හරහා මට හිරු නාලිකාවේ ''දිවිතුරා'' ටෙලිනාට්‍යයේ කොටසකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු සුළු චරිතය මම උපරිමයෙන්ම කළා. ඒ සඳහා සහාය දැක්වූ තිලක්ෂණී වීරසිංහ, පත්මා මෙන්ඩිස්, දිල්රුක්ෂි වීරපරාක්‍රම යන සහෝදරියන්ව මතක් කරනවා. පහුගිය දිනවල විකාශනය අවසන් වූ ''හිත ළඟ හිනැහුණා'' නාට්‍යයෙත් රඟපෑවා. මේ දිනවල ''සිදාදියේ සමනල්ලු'' ටෙලිනාට්‍යයේ චරිතයකට දායක වෙනවා. රන්ජන් රාමනායකගේ අලුත් ගීතය වන ''උන් ඔක්කොම යාළුවෝ මල්ලී'' ගීතයටත් පොඩි කොටසකට සම්බන්ධ වුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා.
Q කාලයක් ලසන්ත දේශපාලනයටත් සම්බන්ධ වුණා නේද?
ඔව්... මම වසර ගණනාවක් දේශපාලනය කළා. නමුත් හිතේ ඇතිවුණු දැඩි කලකිරීමත් එක්ක මම දේශපාලනයෙන් ඉවත් වුණා. මම ඉගැන්වීම් කරන අතුරතුර තමයි දේශපාලනයට පූර්ණ කාලීනව එකතු වුණේ. ඒ වෙලාවේ මගේ වාහන, මගේ දේපළ හැමදේම දේශපාලනය වෙනුවෙන් කැප කළා. මම එතෙක් හම්බ කරගත්ත හැමදේම වගේ දේශපාලනය වෙනුවෙන් කැප කළා. නමුත් ඒ හැමදේම නැතිවෙලා දේශපාලනයෙන් සමු අරගෙන ආයෙත් මුල ඉඳන් නැගිටින්න මට සිද්ධ වුණා. යම් දෙයක් රටේ ජනතාවට අරගෙන දෙන්න හදද්දි අපිට ඉහළින් ඉන්න අය ඒ දේ ලබා දෙන්න අපිට ඉඩ දුන්නෙ නැහැ. ඒ නිසා මේ දේ තවදුරටත් කරගෙන යන්න මගේ හිත ඉඩ දුන්නෙ නැහැ. ඒ නිසා මම දේශපාලනයෙන් ඉවත් වුණා. 2005 අවුරුද්දෙ මම දේශපාලනයට සම්බන්ධ වුණා. 2018 අවුරුද්දෙ පූර්ණකාලීනව දේශපාලනයට එකතු වුණා. 2022 අවුරුද්දෙ මම දේශපාලනයෙන් සමු ගත්තා.
Q වෘත්තියෙන් ගුරුවරයකු වුණු ඔබට මේ කලා නිර්මාණවලට දායක වෙද්දි ගැටලුවලට මුහුණ දෙන්නත් සිදුවෙනවා නේද?
ඔව්... මම වෘත්තියෙන් ගුරුවරයෙක්. රුකියාවෙදි අපිට නිවාඩු ලැබෙන්නෙ දින හතළිස් එකයි. ඒ කාලය අපිට කලා කටයුතු එක්ක සමබර කර ගන්න සිදුවෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍ර දෙක පටලවා ගන්න මම කැමති නැහැ. දින ගැටලු ගැන පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනවා. මේ වෙනුවෙන් මගේ බිරිඳ සහ දරුවාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ බිරිඳ ප්‍රියදර්ශනී රත්නායක. ඇයත් පෞද්ගලික අංශයේ ගුරුවරියක්. අපේ දුවට දැන් වයස අවුරුදු අටයි. දුවත් චිත්‍ර අඳින්න, සංගීතයට ගොඩක් කැමතියි.
I දිශානි