2024 මාර්තු 02 වන සෙනසුරාදා

රටත් සංගීතයත් දාලා යන්න හිතක් නෑ - මිලාන් කේ. මුණසිංහ

2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00427

Q මිලාන්.. ඔබගෙන් සංගීත දිවිය ආරම්භ වුණේ කොතැනින්ද?

මම ජාතික තරුණසේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් හින්දුස්ථානි සංගීත ඩිප්ලෝමාවක් හැදෑරුවා. වසර තුනක කාලයක් මම ඒ හැදෑරීම කළා. ඊටපස්සේ 1988 වසරේදී මම නාවික හමුදාවට බැඳිලා එහි තූර්ය වාදක කණ්ඩායමට සම්බන්ධ වුණා. එහිදී මගේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වුණේ ක්ලැරිනට් (Clarinet) වාද්‍ය භාණ්ඩයයි. මම ඉන්දියාවට ගොස් ඒ සම්බන්ධයෙන් මාස හයක් වැඩිදුර හදාරා නැවතත් ලංකාවට ආවා. ලංකාවට ආපු මට නාවික හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ උපදේශකයකු ලෙස සේවය කරන්න තනතුරක් ලැබුණා. වසර හතක් මම එහි ප්‍රධාන උපදේශක ලෙසින් කටයුතු කළා. අවුරුදු විසි දෙකක් මම නාවික හමුදාවේ සේවය කළා.

Q ඔබ තරුණසේවා සභාවෙන් කළ 'තුරුණු ශක්ති' ප්‍රසංගවලටත් සම්බන්ධ වුණා නේද?

ඔව්.. තරුණසේවා සභාවේ 'තුරුණු ශක්ති' වේදිකාවේ යොවුන් ගී සංගීත කණ්ඩායමේ පළමු ලීඩ් ගිටාර් වාදකයා ලෙසින් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. වසර විසි දෙකක් නාවික හමුදාවේ සේවය කළ මට විශ්‍රාම යාමට පෙර හමුදා සේවයේ අතළොස්සකට පමණක් හිමිවන 'උත්තම සේවා' පදක්කම ද හිමිකර ගන්න හැකියාව ලැබුණා.

Q නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය මිලාන් ලබාගත් සංගීත දැනුම ළමා පරපුරට ලබා දෙන්න තීරණය කළාද?

ඔව්.. මම විදෙස් ගතවෙලා සංගීත පාඨමාලාව හැදෑරුවේ මේ රටේ මුදල්වලින්. ඒ නිසා ඒ ණය ගෙවන්න මට ඕනෑ වුණා. එකපාරක් මට ඕමාන් නාවික හමුදාවට යාමට අවස්ථාවක් පවා ලැබුණා. ඒත් මම ඒ අවස්ථාව බාර නොගෙන ලබාගත් දැනුම මේ රටේ දරුවන්ට ලබා දෙන්න තීරණය කළා. වර්තමානයේ දරුවන් බොහෝ විට මත්කුඩු, මංකොල්ලකෑම් වැනි අපරාධවලට සම්බන්ධ වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නෙ නිසි පරිදි ඔවුන්ගේ මතය නිවැරදි දෙයකට යොමු නොවීමයි. ඒ නිසා මේ රටේ දරුවන් සංගීතයට ඇබ්බැහි කරමින් ඒ දරන මතය වෙනස් කරන්න මම තීරණය කළා. කාලයත් සමඟ ආදරය, දයාව, කරුණාව ගොඩනැගෙනවා. නමුත් අද බහුතරයක් ළංකර ගන්නෙ නැත්තෙ ඒකයි. ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව, නිකෝබාව, රුසියාව වැනි රටවල්වල සංචාරය කරමින් ඒ රටවල්වලින් මම ලබාගත් බටහිර සංගීත දැනුම මේ රටේ දරුවන්ට ලබා දෙන්න මම තීරණය කළා. ඒ රටවල්වලින් ලබාගත් දැනුමත් එක්ක ඒ සංගීතයේ වචන අඩුයි. ඔවුන් ඒ හඬවල් ලබාගන්නෙ සංගීත භාණ්ඩ මත්තේයි. ඒ අනුව මම වැලිසර ප්‍රදේශයේ සංගීත පාසලක් (Music school) ආරම්භ කළා. ඒ 2019 වසරේදියි. මුලින්ම දරුවන් පස්දෙනෙක් ඒ සංගීත පාසලට ඇතුළත් වුණා. සතියකට දෙකකට පසුව දරුවන් සිය දෙනෙකු ඒ සංගීත පාසලට ඇතුළත් වුණා.

Q ඔබ මේ දැනුම ලබා දෙන්නෙ පාසල් දරුවන්ට පමණද?

නැහැ.. මම නිවෙස්වලට ගොස් දරුවන්ට වැඩිහිටියන්ට මේ දැනුම ලබා දෙනවා. ඒ වගේම කොරියාව, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල රුකියාවල් කරන, පදිංචි වී සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ට online ක්‍රමය ඔස්සේ මේ දැනුම ලබා දෙනවා. බටහිර සංගීත භාණ්ඩ පිළිබඳ මම විදේශගතව ලබාගත් දැනුම ඔවුන්ට ලබා දෙනවා. ඒ අනුව පාසල් දරුවන් පමණක් නෙවෙයි, තරුණ, මහළු සියල්ලන්ටම මම ලබාගත් දැනුම ලබා දෙනවා.

Q 2024 ආරම්භ වීමත් සමඟ මිලාන් සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා නේද?

ඔව්.. ලංකාවේ දක්ෂ දරුවෙක් හිටියත් ඒ අය තුළ තියෙන සබකෝලයත් එක්ක ඉදිරිපත් වීම හරිම අඩුයි. ඒ නිසා මගෙන් දැනුම ලබාගන්න දරුවන්ගේ මේ හැකියාවන් වේදිකාවක් මත ඉදිරිපත් කරන්නට මට ඕනෑ වුණා. ඒ අනුව Majesty school of music තුළින් සංගීතය හැදෑරෑ දරුවන් සිය දෙනෙකුගේ දක්ෂතා Melody of the Dream music and Dancing concert – 2024 නමින් ජනවාරි මාසයේදී බත්තරමුල්ල Water Edge හෝටල් පරිශ්‍රයේ දී දිගහැරුණා.

I දිශානි