2024 මාර්තු 09 වන සෙනසුරාදා

පෙම් කරන්න කෙනෙක් නැද්ද මෙන්න අමුතු කපුවෙක්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 78

සුදාලා දන්නවා තාමත් අපේ පත්තරවල විවාහ මංගල තීර තියෙනවා. ඒත් ඉස්සර තරම්ම ඒ සීන් කෝන් එක දැන් නැගලා යන්නේ නැහැ. ජාතිය ආගම කුලයවත් පෝසත්කම් අරවා මේවා හෑලි ඔක්කොම දාලා තමයි අපේ ලංකාවෙ නම් ඔය මංගල දැන්වීම් සීන් එක දාන්නේ. ඒත් මචෝ මේ වෙනකොට ඒකෙ Modern verson එක ලෝකෙම ආක්‍රමණය කරලා ඉවරයි. ඒ තමයි වස්තු Dating App and Web.

මේක සිරාවටම මුළු ලෝකයම ආක්‍රමණය කරපු අලුත්ම Trend එකක්. අලුත් කිව්වට මචෝ මේක අලුත් අපේ වගේ රටවල්වල අයට තමා. විශේෂයෙන්ම ඇමෙරිකාවට සහ යුරෝපයට මේ සීන් එක අලුත් නෑ. සුදාලා ඉංග්‍රීසි චිත්‍රපට බලනවා නම් ඕනෑ තරම් සීන් කෝන් එක දැකලා ඇති. ඒත් මචෝ මේ සීන් කෝන් එක ගැන අපි ටිකක් ගැඹුරෙන් කතා කරන්න හිතුවා.

සරලවම කිව්වොත් Online ක්‍රමයට ප්‍රේම සම්බන්ධතාවක් නිර්මාණය කිරීම තමා මේ Dating Apps වලින් කරන්නේ. මේක කපු මහත්තයා කරපු රාජකාරියේ online version එක. නැත්නම් පත්තරේ මංගල දැන්වීම් තීරයේ online version එක. මෙතැන තියෙන වාසිය තමා GPS වගේ සේවාවන් භාවිත කරමින් තමන්ගේ අවට ඉන්න අයව තමා Date කරන්න අවස්ථාව හදලා දෙන්නේ. ඒ වගේම මේ 'වෙබ් අඩවි' සහ 'ඇප්' හරහා අදහස් හුවමාරු කරගන්න අවකාශය තියෙනවා.

මේ සීන් එක හරියටම පටන් ගත්ත කාලයක් දිනයක් ගැන කියන්න බැරි වුණත් අන්තර්ජාල සමාජ ජාල සබඳතා නිර්මාණය වුණු මුල් අවස්ථාවල ඉඳලම මිනිස්සු හඳුනාගන්න, ගනුදෙනු කරන්න මේ සයිබර් අවකාශය භාවිත වුණා. ඒ නිසාම 2000 වසරෙන් පස්සේ ක්‍රමයෙන් අන්තර්ජාලයේ Dating Website හැදෙන්න පටන් ගත්තා. 

ඒත් මචෝ නිල වශයෙන් වාර්තාවල සඳහන් වෙන විදිහට නම් Online Dating App ආරම්භ වුණු එක ගැන කතාව ටිකක් වෙනස්. මුලින්ම මේ ජාතියේ ඒවා ආවේ සමලිංගික සහ ද්විලිංගික අය වෙනුවෙන්. ඇත්තටම ඒ අයට තමන්ගේ සහකරුවන් සොයා ගැනීම සමාජීය වශයෙන් අපහසු වුණු නිසා මේ සීන් එක නැගලා ගියා. 

2009 වෙනකොට ඇමෙරිකාවේ නිර්මාණය වෙලා තිබුණු Grindr වගේ යෙදවුම් සමලිංගික සහ ද්විලිංගික පිරිමින් අතර ඉහළ ජනප්‍රියතාවක් දිනාගෙන තිබුණා. මෙය ගොඩක් වෙලාවට හැඳින්වුවේ සාමාජීය ලිංගික යෙදවුම් විදිහට.

ඒ කොහොම වුණත් 2012 දී Tinder කරළියට ආවට පස්සේ මේ සීන් කෝන් එක සෑහෙන්න ජනප්‍රිය වුණා. සුදාලා ගොඩක් දෙනෙක් මේ වෙනකොටත් Tinder ගැන දන්නවා. ඇත්තටම Tinder කියන Application එක තමා මේ Smart ලෝකේ Dating සීන් එක මෙච්චර ලොකුවට ව්‍යාප්ත වෙන්න හේතුව. ඇමෙරිකාව ඇතුළෙ තිබුණු මේ යෙදවුම් පස්සෙ කාලෙක Tinder තමා Global කළේ.

සමහරුන්ට Tinder කියලා කියන්නේ ඇබ්බැහි වීමක්. අපේ ලංකාවේ ක්‍රීඩකයෙක්ටත් මේ Tinder හරහා මිතුරියක් හොයාගන්න ගිහිල්ලා ප්‍රශ්නයක් වුණා සුදාලට මතක ඇති. අපි ඒ දවස්වල මේ Application එක ගැන ගොඩක් දීර්ඝව අපේ සුදාලා එක්ක කතා කළා. සරලවම කිව්වොත් ඔයා Tinder පරිශීලකයෙක් වුණොත් මචෝ ඔයා එකතු කරලා තියෙන රුචි අරුචිකම් අනුව ඔයාට ගැලපෙන අයව ජංගමයගේ තිරේ මතු වෙනවා. ඔයාට තියෙන්නේ ඒ අයව තෝරාගෙන කතාබහ කරන්න.

Dating Apps ගැන කතා කරනකොට මචෝ ඇත්තටම තවත් ගොඩක් App තියෙනවා. විවිධ ඒවා. ඇත්තටම කිව්වොත් ලක්ෂ ගාණක් මේ ජාතියේ App ඇති. කොහොම වුණත් සුදාලට දැන කියාගන්න ජනප්‍රියම ඒවා කිහිපයක් අපි ඉදිරිපත් කරනවා. කැමැති කට්ටිය මේවා ගැන ගූගල් එකේ search පාරක් දාලා බලන්න. Bumble, Coffee Meets Bagel, Hinge, Happn, Plenty of Fish, BLK, මේ වෙනකොට ලංකාවෙත් මේ ජාතියෙ යෙදුම් සහ වෙබ් අඩවි කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. ඒත් ඒවායේ නිර්මාපකයෝ හිතපු තරම්ම ඒ දේවල් ජනප්‍රිය වුණේ නෑ මචෝ.

මේකට ප්‍රධානම හේතුව තමයි මේ මාර්ගගත ප්‍රේම සබඳතාවල එකම ඉලක්කය විවාහය නොවීම. ලංකාවේ සංස්කෘතියත් එක්ක තාවකාලික සම්බන්ධතා, ලිංගික සබඳතා වගේ ඒවා අපි එච්චර විශ්වාස කරන්නේ නෑ. ඒත් ඇමෙරිකාව යුරෝපයේ මේ යෙදුම් හරහා මිනිස්සු හම්බවුණත්, එයාලා මුලින්ම ටිකක් ආශ්‍රය කරලා බලලා එකට ඉඳලා බලලා තමයි විවාහය ගැන තීරණය කරන්නේ. ඒක ඒ අයට බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් අපි වගේ රටවල්වල ජන සමාජයේ ඒ වගේ දේවල් අනුමත කරන්නේ නැහැ. 

ඒ නිසාම තමා මචෝ ලෝකෙ අනිත් Y Trend අපේ රට පට්ට විදියට වැළඳ ගනිද්දී මේ සීන් එක එච්චරම තදට නැගලා නොගියේ. ඒත් වස්තු ගොඩක් කට්ටිය නොදන්නවා වුණාට තැන් තැන්වල හෙමින් සීරුවට ආතල් එකේ මේ සීන් එකේ ඉන්න අයත් ඉන්නවා. කොහොම වුණත් එක ඇත්තක් නම් කියන්න ඕනෑ. Dating කියන සීන් එක සම්පූර්ණයෙන්ම ලිංගිකත්වය මත පදනම් වෙලා ජනප්‍රිය කරන්න හදන උත්සාහයකුත් අන්තර්ජාලය ඇතුළෙ නැතුවම නෙවෙයි. අසභ්‍ය වෙබ් අඩවිවල පවා Dating Option එකක් විදියට දෙන්න පටන් අරගෙන තියෙනවා. ඇත්තටම මචෝ එතැනදි වෙන්නේ ව්‍යාපාරයක්.

2040 වෙනකොට ලෝකයේ සමස්ත සබඳතාවලින් සියයට හැත්තෑවක් Online Dating මත පදනම් වෙයි කියලා පුරෝකථනය කරලා තියෙනවා. ඒ කියන්නේ වස්තු අනිවාර්යයෙන්ම ලංකාව වගේ රටවලත් අනාගතයේ මේ සීන් කෝන් එක ජනප්‍රිය වීමට නියමිතයි. දැනටත් සාමාන්‍ය සමාජ මාධ්‍ය හරහා දැන හඳුනා ගනිමින් විවාහ සම්බන්ධතා ගොඩනගා ගත්ත අය ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා. දවසින් දවස එහෙම අය වැඩි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සීන් කෝන් එක ලංකාව ආක්‍රමණය කරන එක නතර කරන්න බැහැ.

වෙන්න ඕනෑ එක දෙයයි. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. හම්බවෙන විදිය නෙවෙයි වැදගත්. සබඳතාවලට ඔබ ජීවිතයේ ලබාදෙන වටිනාකමයි වැදගත්. එක මොහොතක එක තත්ත්පරේක එක පැයක කෙනෙක් ඔබ හා සම්බන්ධ වුණත් පසුව වෙන්වුණත් ඒක ගැටලුවක් නෙවෙයි. එතැන තියෙන්න ඕනෑ අනෙකා පිළිබඳ ගෞරවය. එච්චරයි.

I චමිදු නිසල්