2024 මාර්තු 09 වන සෙනසුරාදා

හමුවීද ප්‍රේමයක් - හමුවීද ජීවිතයක්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 145

අවර්ණිත ප්‍රේමය මත වර්ණ තවරාණ නිමැවිය හැකිද ප්‍රේමයේ ප්‍රේමණීය චිත්‍රයක්! 
අවර්ණිත ජීවිතය මත වර්ණ තවරාණ නිමැවිය හැකිද වර්ණවත් ජීවන චිත්‍රයක්!
ඒ ප්‍රේමයත් ඒ ජීවිතයත් මත හුස්මක් ගැල්විය හැකිද... 
ඔව් හුස්මක්... ප්‍රේම කරන වග දනවන හුස්මක්... 

හුස්මක් ගන්න වග දනවන හුස්මක් රැඳවිය හැකිද?

සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද ප්‍රේමයේ මූලයන් සංසාර සක්මන සරා රැඳෙන සඳ භවයෙන් භවය හමුවන සියලු ජීවන නවාතැන්හි ප්‍රේමය තරම් හිත හිරිවට්ටන, සනසන, නලවන, රිද්දන, හැර යන, නික්මෙන, සමුගන්න අන් යමක් නැත. අන් කිසිවක්ම නැත... එහෙයින්ම සංසාරය යනු ප්‍රේමයට තවත් නමක් යැයි මට හැඟේ.. මට දැනේ...

වර්ණ... ඕනෑම අවිනිශ්චිතයක් තුළ ඕනෑම සම්භාවිතයක් හෝ අසම්භාවිතයක් තුළ ප්‍රේමය හමුවිය හැකි වග සහ එක් නිමේෂයක් තුළ රුඳී ඊළඟ නිමේෂයේ අතුරුදන්ව සැඟවී යා හැකි වග, අවසන රිදුම් සහ මතක හැර කිසිවක් ශේෂ නොකරන වග සහ ඕනෑම ප්‍රේමණීය සාර සාගර උල්පතක් ඕනෑම මොහොතක අවසන් දිය බිඳ දක්වා සිඳී යා හැකි වග කියා දෙන සිනමා රූපකාරකයකි; 

වර්ණ...

ජීවිතයේ කැන්වසය මත අඳින නානා මාදිලියේ සිතුවම් මත සිත්තම් වෙන නොයෙක් හැඩතල රේඛා මෝස්තර ඔස්සේ සන්නිවේදනය කරන මානවීය භාව ප්‍රකාශනයන් අතුරින් ප්‍රබලතම සහ අසිරිමත්ම මනෝභාවය ප්‍රේමණීය මිනිසුන්ගේ හදවත් ගැඹුරින් උපදින, ඉපදී දළුලන, දළුලමින් මහා ගස් බවට පරිවර්තනය වෙන, පොළොව ගැඹුරටම මුල් ඇද පොළොව ස්නේහයෙන් සිපගන්න මල් කොළ ඵල සිහිල නිදහස ආදී සොඳුරුතා තිළිණ කරන ප්‍රේමයයි. ඉඳින් ප්‍රේමය වනාහි මේ මිහි මත ඇති සොඳුරුතම මනුෂ්‍ය හැඟීම වග මම විශ්වාස කරමි.

වර්ණයෙහි දිගහැරෙන්නේ වර්ණයකින් වියුක්ත වූ ප්‍රේමයක තවත් එක් ස්වරූපයකි.  හමුවීම් පමණක් ජීවිතය නොවූ ජීවිතයෙහි සොයා යෑම්ද ජීවිතයම වූ කල්හි ජීවිතය යනු තවත් වෙසෙකින් නිශ්චිතයන් සහ අවිනිශ්චිතයන් සමුදායක පරාවර්තනයකි. අවිඥානිකව හෝ සවිඥානිකව මෘදු ලෙසත් රළු ලෙසත් ජීවිතය පිරිසිඳ ජීවිතය සොයා යද්දී ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන අරමුණු කරන ජීවිතය මෙන්ම සිහිනෙකින්වත් ප්‍රාර්ථනා නොකරන, බලාපොරොත්තු නොවන, අරමුණු නොකරන ජීවිතයක් ද අපට හමුවිය හැකිය. ප්‍රේමය ද එයාකාරය. ප්‍රාර්ථනා නොකරන බලාපොරොත්තු නොවන අරමුණු නොරක ප්‍රේම කතාන්දරවල චරිත රඟන්නටත් චරිතයන්ට හුස්මක් දෙන්නටත් වරෙක අපට සිදු වේ. ඇතැම් ප්‍රේම කතාන්දරවල දෙවැනි ගැහැනියගේ චරිතය හා බැඳෙන්නටත් දෙවැනි පිරිමියාගේ චරිතය හා බැඳෙන්නටත් සිදු වේ.

රාමුකරණය කළ නොහැකි ජීවිතයේත් ප්‍රේමයේත් අප්‍රමාණ ගලා යාම් තුළ හමුවන සහ හමුනොවන සංසිද්ධීන් සහ කියවාගත නොහැකි වූ සිද්ධාන්තයන් කොතෙකුත්ය. එහෙත් ඒ සියල්ල තුළ අප නැවත නැවතත් ප්‍රේමය සහ ජීවිතයම සොයා යන්නෙමු. හමුවුවද නොවුවද නැවත නැවතත් ජීවිතය සොයා යන්නෙමු.

වර්ණ තුළ දිගහැරෙන්නේද ප්‍රේමය තුළින් ජීවිතය සොයා යන්නට සිහින දකින සුකුමාර ගැහැනියකගේ කතාන්දරයකි. සරාගය තුළින් උපදින ප්‍රේමය තුළ ප්‍රේමයේ අනුපාතමය සංඛ්‍යානයට වඩා ප්‍රේමය තුළින් උපදින සරාගයේ අනුපාතය රොමාන්තිකත්වයෙන් එහා සෞන්දර්යාත්මක ඉසව් සොයා යයි. සැබැවින්ම ප්‍රේමය සෞන්දර්යාත්මක වූ කලී එය මනරම්ය. භාව පූර්ණය. එතැනදී සරාගය යනු ප්‍රේමයට සැරසිල්ලකි. ප්‍රේමය සරසන දුල දියමන්තියකි. එහෙත් සරාගය තුළ ප්‍රේමය සොයා යන චාරිකාවකදී සරාගයේ නැවතුම්ම මිස ප්‍රේමයේ නවාතැන් හමුවන්නේදැයි යන්න ගැඹුරින් විවරණය කරගත යුතු වන්නේ සරාගය සිඳී ගිය දාත් ප්‍රේමයට පැවතිය හැකි නමුත් සරාගය ඔස්සේ ප්‍රේමය සොයා යන නවාතැන්හිදී සරාගය සිඳී යන තැන ප්‍රේමයක් හමුවේද යන්න අවිනිශ්චිතයක්ම වන නිසාමය.

වර්ණ සිනමා වියමන තුළ ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනි සේනානායක සහ විශ්ව කොඩිකාර සහ චමත්කා ලක්මිණීගේ සිනමාමය ප්‍රවේශයෙහි ඉසියුම් රේඛාවන් විචාරක දෘෂ්ටිකෝණයකින් පිරික්සද්දී ගම්‍ය වන්නේ ඉවසිලිවන්ත රංග හැඩතල සිනමාමය වර්ණයන්ගෙන් වර්ණ ගන්වන්නට අධ්‍යක්ෂ භූමිකාව තුළ අජිත් පී ධර්මසූරිය දක්වා ඇති අතිශය ඉසියුම් සහ ප්‍රබල අධ්‍යක්ෂණයෙහි මෙවලම්ය. ලක්ෂ්මන් මෙන්ඩිස් යනු සිංහල සිනමාව ලද පරිණත ත්‍යාගයක් ලෙස අර්ථ දැක්විය හැක්කේ ඕනෑම චරිතයක් තුළින් භාව රේඛාමය ප්‍රකාශයන් රසිකාගාරයට දනවන්නට හැකි ලෙසින් ප්‍රභාවත් කරන්නට ලක්ෂ්මන් දක්වන සමත්භාවය තුළය. ඕනෑම චරිතයක් තුළ ගැඹුර තම රංගනමය හුස්මට ආත්මීයව සම්මිශ්‍රණය කරගන්නා ලක්ෂ්මන් රංගනය තුළදී සැබෑ ආලවන්තයෙකි. ලක්ෂ්මන් ආලකම් කරන්නේ ආත්මීයව තමන් පසෙකලා බැඳෙන චරිතයටය. තමන්ට තමන් අමතක කළ හැකි රංගවේදියෙකුගේ පරිණතභාවය රසිකාගාරයට නළුවා හෝ නිළිය අමතක කරවයි. ඒ අමතක කිරීම තුළ ප්‍රේමණීය මුද්‍රාවක් විය හැකි නළු නිළියන් සංඛ්‍යාත්මකව ගත් විට ශ්‍රී ලාංකික සිනමාව තුළ විරලය. එහෙයින්ම ලක්ෂ්මන් මෙන්ඩිස් තුළ හුස්මක් ගන්න නළු ප්‍රේමියාට ලාංකික රසිකාගාරය එදා මෙදා තුර දක්වන ආදරය නොසිඳෙන ප්‍රේමණීය දියවරකටම සමානය.
ජයනි සේනානායක ද රංගනය තුළ ස්වභාවිකත්වයේ සෝබමාන මුද්‍රාවකි. ඕනෑම චරිතයක් ස්නේහයෙන් සිඹිමින් ඒ චරිතයට ප්‍රේමණීයව ආශක්ත වෙන්නට ජයනිට හැකිය. වර්ණ තුළ ජයනි අම්මා යන භූමිකාවට දෙන ස්නේහවත් ස්වර්ණවත් ආලෝකය වර්ණ වර්ණවත් කරන^යුරු වෙනම වර්ණයකි.

විශ්ව කොඩිකාරගේ රංගන සුවිසැරිය දිගේ ඇවිද යද්දී විශ්වට විශ්ව හමුවන අපූරු නවාතැනක් ලෙස ද වර්ණ අර්ථ දැක්විය හැකිය. වර්ණ හි විශ්ව නිහඬත්වය තුළ ප්‍රකාශයට පත් කරන වදන් තුළට සම්මිශ්‍රණය නොවන භාව සමුදාය ප්‍රකාශන ද්වාරයෙන් එළි දක්වන්නේ දෙනෙත්, දෙතොල් සහ දෙකොපුල් තුළ ඇඳෙන රේඛාවන් ඔස්සේය. ප්‍රේක්ෂකයාට නිහඬත්වය තුළ සිනමා වියමන හා කතා කරන්නට සහ විචාරයක යෙදෙන්නට වර්ණ තබා ඇති අවකාශය ද ප්‍රශංසනීය වෙයි.

මේ සියලු චරිත තුළ වර්ණ වර්ණවත් කරන දීප්තිමත් ආලෝක ධාරාව වනාහි චමත්කා ලක්මිණීගේ රංගනමය දීප්තියයි. චමත්කා සිංහල සිනමාවට නව වර්ණයක් එක් කරන්නේ රංගමනය වපසරිය තුළ පමණක් නොවේ. සැබැවින්ම ඇය අතිශය සෞන්දර්යාත්මක සුන්දරත්වයකට හිමිකම් කියන නිළියකි. ඒ විචිත්‍රවත් රූප සෞන්දර්යට චමත්කා නිතැතින්ම රංගනමය වර්ණ සහ හැඩතල සම්මිශ්‍රණය කළ විට ඇය අමුතුම රසාලිත්පයකි. 

ප්‍රේමය යනු මානවීය අවශ්‍යතාවයකි.
ප්‍රේමය යනු මානවීය ඉල්ලා සිටීමකි.
ප්‍රේමය යනු දිව්‍යමය අයැදුමකි.
ප්‍රේමය යනු සුරම්‍ය විඳීමකි. ආස්වාදයකි. 

නිසැකයෙන්ම ප්‍රේමය ප්‍රේමය වෙසින්ම ප්‍රේමය ප්‍රේමය වෙසෙසින්ම මුණගැසුණු කල්හි, එය අසීමාන්තික ආස්වාදයකි. එහෙත් ඉන් එහා තැනකදි ප්‍රේමය හමුවූ කල්හි අවිනිශ්චිතයක් තුළ එහි සීමා සලකුණු වූ කල්හි එය නොදන්නා සහ අනපේක්ෂික නිමේෂයක හමුවක් සහ ඉනික්බිති හැර යාමක් වූ කල්හි ජීවිත කැන්වසය තුළ අඳින ප්‍රේමයේ චිත්‍රය වර්ණ ගල්වන්නේ 

කවර තනි වර්ණයකින්ද?
කවර වර්ණ සම්මිශ්‍රණයකින්ද?

ප්‍රේමය සහ ජීවිතය අවර්ණවත් වූ කල්හි, එය වැහි බිඳුවක අවර්ණවත් සුදීප්තිමත් වර්ණයෙන් පමණක් වර්ණ ගැන්වුණු කල්හි දනවන ප්‍රහර්ෂය සහ සාංසාරික ළෙන්ගතුකම තවත් තැනකදී හමුවේද... 

නැත... ඔව්.... නැත... නැත... නැත...

වර්ණ අප කැටුව යන්නේ එවන් සිනමාමය කියැවීමකටය... ඒ කැටුව යාම ඉවසිලිවන්ත සංවේදී සෞන්දර්යාත්මක සහ එපමණකටම වේදනාත්මක කියැවීමකි.

I සංජීවිකා