කසකස්ථානයේ ඉඳන් ලංකාවට ආපු බල්නූර් සහ මිත්‍රයා ස්කූටරයේ නැගලා නුවරඑළියේ කරක් ගහන්න පටන් ගත්ත විදිය පහුගිය සතියේ අපි කතා කළා. මේ දෙන්නා කිව්වේ නුවරඑළිය හරියට ලන්ඩන් වගේ කියලා.
අඩු වියදමින් සංචාරය කරන මේ දෙන්නට ඔන්න නුවරඑළියෙදි තවත් අපූරු අවස්ථාවක් ලැබුණා. ඒ තමා ලංකාවේ විවාහ මංගල්‍යයකට සහභාගි වීමේ අවස්ථාව.
“ඔයාට මතකද මම පිලිපීනයේදි ප්‍රාර්ථනාවක් කළා, පල්ලියක පැවැත්වෙන කාගේ හරි මංගල උත්සවයකට යන්න අවස්ථාවක් ලැබෙන්න ඕනෑ කියලා. මෙන්න ඒ අවස්ථාව සැබෑ වෙලා"
තමන්ගේ සඟයට එහෙම කියන ගමන් බල්නූර් පල්ලියට ඇතුළු වුණේ හරිම සතුටින්.
අපි කවුරුත් දන්න පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය වුණු අශේන් සේනාරත්නගේ මංගල උත්සවයට තමයි මේ දෙන්නට ආරාධනා ලැබිලා තිබුණේ. අශේනුත් එක්තරා විදිහකට, මේ වෙනකොට YouTube Traveler කෙනෙක්.
“අපිට අශේන්ව මුණගැහුණෙ පකිස්ථානයේ ලාහෝර්වලදි. අපි ඔහුට පොරොන්දු වුණා ඔහුගේ මංගල උත්සවයට සහභාගි වෙනවා කියලා"
මේ සංචාරයට නිමිත්ත වුණු කාරණාවත් පැහැදිලි කරන ගමන් මේ දෙන්නම ඇතුළු වුණා පල්ලිය ඇතුළට. පල්ලිය යටත් විජිත යුගයෙ හදපු ඉතාම පැරණි ගොඩනැගිල්ලක් බව දැනගැනීමෙන් දෙන්නම පුදුමයට පත්වුණා.
මේ දෙන්නා ඇත්තටම චිත්‍රපටවලින් විතරයි පල්ලියක තියෙන මංගල උත්සවයක් දැකලා තිබුණේ. ඒ නිසාම ඇත්තටම බල්නූර් සහ ඇගේ ගමන් සඟයා ගොඩක් පුදුමයෙන් තමා මේ හැමදෙයක්ම අත්වින්ඳෙ.
“බලන්න මේ අය සාම්ප්‍රදායික ඇඳුම්වලට මැරෙන්නෙ නෑ. හැමෝම ඇඳලා තියෙන්නේ යුරෝපීය ඇඳුම්"
මුලින් ටිකක් දෙන්නම පුදුමයට පත්වුණා. අශේන් තමා මුලින්ම පල්ලියට ආවේ පවුලේ අයත් එක්ක. හෙමිහිට ඉස්සරහට යන ගමන් අපේ යාළුවො දෙන්නට අශේන් ආයුබෝවන් කියලත් කිව්වා.
“අන්න බලන්න මනමාලි එනවා. එයා නම් ඇඳලා තියෙන්නේ සාම්ප්‍රදායික ඇඳුමක්"
බල්නූර් ඒ ගැන නම් සතුටුවෙන බව තමා පේන්න තිබුණෙ. මොකද මේක සාම්ප්‍රදායික මංගල උත්සවයක් කියලා හිතාගෙන ඇය පකිස්ථානයේදි ගත්ත ඇඳුමක් තමා ඇඳගෙන ඇවිල්ලා තිබුණේ.
කොහොම හරි දෙගොල්ලොම ආවට පස්සේ පල්ලියේ වැඩ කටයුතු ආරම්භ වුණා. මේ දෙන්නා හැමදේම වීඩියෝ කළා. මෙයාලට වැඩේ මැජික් වගේ. පල්ලියේ වැඩේ අවසන් කරලා මෙයාලා ගියේ හෝටලයට.
“හැමෝටම තම තමන්ගේ කාර් තියෙනවා. ඒත් අපි දෙන්නා යන්නේ බයික් එකේ. ඇත්තටම මෙතැන 'ලෝකල්' අපි වගේ"
කට්ටිය හෝටලයට පිටත්වෙලා යන්න සූදානම් වෙද්දි දෙන්නා හිනා වෙවී එහෙම කිව්වා.
නුවරඑළියේ සුඛෝපභෝගී හෝටලයක එළිමහනේ තමා සාදය පැවැත්වුණේ.
“මේ හෝටලයේ එක රාත්‍රියක් සඳහා රුපියල් හැත්තෑ දහසක් අය කරනවා. ඒ කියන්නෙ මේක ලක්සරි හෝටලයක්."
මනාලියගේ අම්මා මේ දෙන්නව කැඳවාගෙන ගිහිල්ලා මේසයක වාඩි කළා.
“අපි දන්නේ ලංකාවේ වචන කිහිපයක් විතරයි. ආයුබෝවන්, ස්තුතියි, කොහොමද? හොඳයි.. එච්චරයි. එහෙම කියලා හිනාවෙන ගමන් දෙන්නා අපේ අයත් එක්ක එකතු වුණා."
මේ දෙන්නට ෂැම්පේන් වීදුරු දෙකකුත් ලැබුණා. ආරම්භයේ පටන් මේ වෙනස්ම අත්දැකීම උපරිමයෙන්ම විඳගන්න දෙන්නා උනන්දු වුණා. ඊටපස්සේ මේගොල්ලා ගියේ හෝටලය ඇතුළත ප්‍රධාන කෑම මේසයට.
“ඇත්තටම මේක යුරෝපීය අත්දැකීමක්"
වටපිටාවේ සැරසිලි දැකලා බල්නූර් ආයෙත් කිව්වා. ඊටපස්සේ මේගොල්ලෝ කෑම මේසෙ වාඩි වුණා. අශේන්ගෙ යාළුවො දෙන්නෙකුත් හම්බවුණා.
“ඔයාලා කසකස්ථානයෙන් නේද? අශේන් අපිට ඔයාලා ගැන කිව්වා"
ඊටපස්සේ අශේන්ගේ මිතුරා සහ යෙහෙළියත් එක්ක මේ දෙන්නා පුංචි කතාබහක් ඇතිකර ගත්තා.
“අපි ලංකාවේ කෙටි කාලයකට ඉන්න ආවේ. ඒත් දැන් ගමන සති තුන හතරක්. ඊට වඩා වැඩි කාලයක් අපි ලංකාවේ ඉඳීවි"
ලංකාවේ සංචාරය පිළිබඳ පුදුම සතුටකින් තමයි දෙන්නම අදහස් දැක්වුවේ.
ඊටපස්සේ දෙන්නත් එක්ක ලංකාවේ විවාහ මංගල උත්සවයි කසකස්ථානයේ විවාහ මංගල උත්සවයි සංසන්දනය කළා.
“කසකස්ථානයේ විවාහ මංගල්‍යයකදි මුලින්ම වැඩිහිටියෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ දේවල් කරනවා. කියනවා. ඊටපස්සේ තමයි තරුණ අයට එන්න අවස්ථාව ලැබෙන්නේ. මෙහෙ එහෙම නෑ. අපූරුයි. ඇත්තෙන්ම පුදුම සහගතයි"
පහුගිය දවස්වල ලංකාව පුරාම කතා කරපු අශේන් සේනාරත්නගේ මනාලියගේ නර්තනය සිදුවුණු 'ඩාන්සින් ෆ්ලෝ' එකටත් මේගොල්ලො ගියා. ඊටපස්සේ මෙයාලා බැලුවේ බුෆේ එක පැත්ත. එක එක වෛවර්ණ ආහාර වර්ග ගොඩක් තිබුණු බුෆේ එක මෙයාලගේ සිත් ගත්තා.
“අපි දන්නෙ නෑ මේ අය තාම කන්නේ නැත්තේ ඇයි කියලා. සමහරවිට එක එක ජාති කාලා මෙයාලගේ බඩ පිරිලා ඇති. කොහොම වුණත් අපි මේ කෑම රස බලන්න ඕනෑ"
එහෙම කියලා දෙන්නත් එක්ක කෑම දෙකක් බෙදාගෙන කෑවා. අවසානයේ කට්ටිය නැටුම් ගැයුම් අතරේ සතුටට පත්වෙනකොට වීඩියෝ එක අවසන් කරන්න බල්නූර් කටයුතු කළා. විවාහ මංගල උත්සවයට ආරාධනා කරපු අශේන්ට මෙයාලා ස්තූති කරන්නත් අමතක කළේ නෑ.
I චමිදු නිසල්