2024 මාර්තු 09 වන සෙනසුරාදා

මම හේමාල්ට හරි ආදරෙයි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

- ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සදේශ් කුමාර්

සදේශ්ට ආදරය සිහිනයක් නම් නොවිණි. ඒ සිහිනයකි ආදරේ නිසා පමණක්ම නොවේ. සුපර් සික්ස්, ප්‍රවේගය, මායා ආදී සිනමා සිත්තම් ඔස්සේ ලාංකික ප්‍රේක්ෂකයන්ට අමුතු අමුතු මාදිලියේ සිනමා වියමන් තෑගි කරන්නට පාර සදා දුන් නිෂ්පාදකයා ද ඔහුම වූයෙන් සදේශ්ට ආදරය සිහිනයක් නම් නොවිණි. ලාංකික සිනමාව ලද සෞන්දර්යාත්මක තෑග්ගක් වූ හේමාල් රණසිංහ සිනමාව තුළ ගොඩනංවාගත් ප්‍රතිරූපයෙහි ස්තූතිය හේමාල්ටම හැරුණුවිට අංශු මාත්‍රයක් හෝ හිමිවිය යුතු නමක් සොයන්නේ නම් ඒ නමක් ලෙස ද සදේශ් කුමාර් මම හඳුන්වමි. ඒ ගැන කතාව පසුවට කියන්නට ඉඩ හැර සිහිනයකි ආදරේ විචිත්‍රවත් සිනමා කතාන්දරය ගැන කතාවෙන්ම සදේශ් කුමාර් හා කතාබහ අරඹන්නට මට සිතුණි. 

Q සිහිනයකි ආදරේ ලාංකික රසිකාගාරයේ ආදරය උපරිමයෙන් ලබමින් ජයග්‍රාහී දවසින් දවස පහු කරනවා. දැනෙන සතුට වචනවලින් කියන්න කැමතිද?

ඒ සතුට වචනවලින් කියන එක තමයි අමාරුම දේ. ඒ තරම් මගේ හිත සතුටු කරන ආදරණීය ප්‍රතිචාර සිහිනයකි ආදරේ වෙනුවෙන් ලැබෙනවා. සමහර අය කියනවා එකපාරක් බැලුවම තව සැරයක් බලන්න හිතුණු නිසා දෙවැනි තුන්වැනි වතාවටත් සිහිනයකි ආදරේ බලපු විත්තිය. ඒ චිත්‍රපටයේ නිෂ්පාදකයා මම වීම ගැන ඇත්තටම තියෙන්නෙ පුදුමාකාර නිහතමානී සතුටක්. 

Q සිනමාවට ඇයි මේ තරම් ආදරයක්?

ඇත්තම කියන්න මම බයිස්කෝප් පිස්සෙක්. ඒක අද ඊයෙක ඉඳන් තිබුණු පිස්සුවක් නෙවෙයි. පුංචි කාලෙ ඉඳන්ම චිත්‍රපට ගැන පුදුම පිස්සුවක් මට තිබුණෙ. ඒ පිස්සුව ඇතිව තිබුණෙ සිනමාව ගැන පුදුමාකාර ආදරයක් එක්ක ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන දේවල්වල ලැයිස්තුවක් හදන්න කිව්වොත් මුල්ම අංකයක චිත්‍රපට කියන එකත් තියෙයි. 

Q චිත්‍රපට නිෂ්පාදනය ඔස්සේ ලබන්නේ ආර්ථිකමය තෘප්තියක් කියන චෝදනාව නිෂ්පාදකවරයෙකු වශයෙන් ඔබට එල්ල වුණොත් ඔබ ඊට දෙන අවංකම උත්තරය මොකක්ද?

චිත්‍රපට නිෂ්පාදනයක් තුළින් ආර්ථික ප්‍රතිලාභයක් ලැබීම සුබවාදී තෘප්තියක් වෙන්නෙ තවත් නිෂ්පාදනයකට දායක වෙන්න එයින් පෙළඹවීමක් ඇතිවන හින්දා. නිෂ්පාදකයෙක් දිගටම චිත්‍රපට නිෂ්පාදනයේ නියැලීම කියන්නෙ ලංකාව වගේ රටක සිනමාව කර්මාන්තයක් විදිහට ස්ථාවර වීමට ලොකු පිටුවහලක්. නිෂ්පාදකවරුන් නැති ප්‍රශ්නය ලාංකික සිනමාවේදීන්ට අද දැනෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒත් නිෂ්පාදකයෙක් විදිහට චිත්‍රපට නිෂ්පාදනයකට දායක වීමෙන් ලබන්නෙ ආර්ථිකමය තෘප්තියක් විතරක් නෙවෙයි. ඒ තුළින් ලබන මූලිකම දේ තමයි සතුට. ඒ සතුට ඇතිවන්නෙ සිනමාවට සහ ලාංකික සිනමාවට තියෙන මගේ බයිකෝප් උමතුව ඇතුළෙ. ඒ නිසා මම කවදාවත් නිෂ්පාදන කර්තව්‍යයකට දායක වෙලා එයින් ආර්ථික තෘප්තියක් පමණක් ලබන චරිතයක් නෙවෙයි. 

Q රටම ආර්ථික අර්බුදයක ගිලීගත් මොහොතක චිත්‍රපට ශාලා හිස් නොවෙන්නෙ ඇයි?

අර්බුදයක ඉන්න මිනිස්සුන්ට කොතැනකින් හරි සතුටක් දෙන්න පුළුවන් නම් ඒක ආත්ම තෘප්තියක් වගේම ලොකු කුසලයක්. පීඩනයෙන් ඉන්න මිනිස්සු ඒ පීඩනය නැතිකර ගන්න හොයන මාර්ග අතුරින් චිත්‍රපටයක් රසවිඳලා මනස සැහැල්ලු කරගන්න හිතනවා නම් ඒක හරි ලස්සන දෙයක්. ලංකාවෙ සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනංවන්න මේ රටේ ප්‍රේක්ෂකාගාරය ඒ දක්වන දායකත්වයට නම් මල් මිටක් පූජා කරන්න ඕනෑ. ඒ වගේම සිහිනයකි ආදරේ ජාත්‍යන්තරව ප්‍රේක්ෂකාගාර තුළට ගෙන ගිය විදෙස්ගත ලාංකිකයන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්න ඕනෑ. 

Q ඔබ නිෂ්පාදන කර්තව්‍ය තුළ සිනමාපටයේ අවසානය දක්වාම එය හා රුඳෙන නිෂ්පාදකවරයෙක්. ඇයි ඒ තරම්ම කැපවීමක්?

චිත්‍රපට කියන්නෙ මට ව්‍යාපාරයක් නෙවෙයි. ඒක මගේ ෆැෂන් එක. මම චිත්‍රපටයක නිෂ්පාදනය බාරගන්නෙ ඒ පිටපත ගැන හුඟක් අධ්‍යයනයක් කරලා. ආරම්භයේ ඉඳන්ම මගේ බිරිඳ මාත් එක්ක හිටියා. මමත් යනවා දර්ශන තලවලට. හැමදේම උපරිමයෙන් සාර්ථක වෙනවා දකින්නයි මම අරමුණු කරන්නෙ. මට එය වෙහෙසක් නෙවෙයි. අවසානයේ මිනිස්සු ආදරෙන් බාරගන්න චිත්‍රපටයක් අධ්‍යක්ෂක භූමිකාව තුළින් නළු නිළියන් තුළින් ඒ දර්ශන තලවල සිටින සෑම ශිල්පියෙක්ගෙම සහයෝගය තුළින් ගොඩනැගෙනවා දකිද්දි මම විඳින්නෙ වෙන කිසිම දේකින් නොවිඳන සතුටක්. අපේ රටේ වාණිජ සිනමාවත් ජාත්‍යන්තර මුහුණුවරකින් ඉදිරිපත් වෙනවා දකින්න මම හරි ආසයි. 

Q අද ලෝකයම මලයාලම් සිනමාවට ආදරය කරනවා. ඒ ආදරය පිටුපස ඇති රහස මොකක්ද?

මලයාලම් සිනමාව හරිම ගැඹුරින් මිනිස්සුන්ගෙ සියුම් මනෝභාවයන් ගැන ආදරණීය මානුෂීය මුහුණුවරකින් කතා කරනවා. ඒ වගේම ඒ අය නිර්මාණකරණයේදි එකකට එකක් වෙනස් ප්‍රස්තුත යොදා ගන්නවා. මලයාලම් සිනමා නිර්මාණ තුළ තියෙන්නෙ අපේ ජීවිත ඇතුළෙම හැංගිච්ච කතාන්දර කියලා හිතෙනවා. ඒ කතාන්දර පපුවෙ ගැඹුරටම දැනෙන ස්වරූපයකින් ඔවුන් සිත්තම් කරනවා. ඒ තමයි රහස. 

Q සදේශ් කුමාර් අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කැමති නැද්ද? දර්ශන තල තුළ වෙන මහන්සිය සහ ඒ තුළින් ඔබ ඉගෙන ගන්නා දේවල් දකිද්දි මට එහෙම අහන්න හිතෙනවා?

ඇත්තටම මම ආසයි අධ්‍යක්ෂණයට එන්න. වැඩි කල් යන එකක් නැහැ. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔබට මා හමුවේවි.

Q හේමාල් රණසිංහ කියන්නෙ ලාංකික සිනමාවෙ සොඳුරු මුද්‍රාවක්. ඔබ ඔහුට ආදරෙයි. එහෙමද?

ඔව්. මගේ සහෝදරයෙක්ට වගේ මම හේමාල්ට ආදරෙයි. හේමාල්ව දැක්කම මට ඇතිවෙච්ච සිතුවිල්ල තමයි ලාංකික සිනමාවට හීරෝ කෙනෙක් නිර්මාණය කරන්න ඕනෑ කියලා. රංගනය තුළදි ඔහු කරන කැපවීම අතිවිශිෂ්ටයි. ඒ වගේම විරලයි. ඒ වගේම ඔහු හරි කඩවසම් උස ආකර්ෂණීය නළුවෙක්. ඇත්තටම හේමාල් කියන්නෙ සිංහල සිනමාව තුළ හීරෝ කෙනෙක් තමයි. ප්‍රවේගය - 2 තුළින් ඒ හීරෝව ආයෙමත් හමුවෙන්න ලැබෙයි කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.

I සංජීවිකා