දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිර කරගමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා...
මා ප්‍රේම කරන සිංහල ගීතාවලියේ ගී කිහිපයක පද ගෙත්තම්කාරිය ඇය වූවාය.
මලක් නැති ගසක් වී
හුදෙකලා වූ නුඹට
එකම එක මලක් වී
සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලුත් මල්
අතු පුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින
මට නොවෙයි මගෙ හිතට
දයා ද අල්විස් ඒ සොඳුරු කලාවේදිනිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් අනුස්මරණ මැදිරි පරිශ්‍රයේදී ජාත්‍යන්තර කාන්තා දිනය කේන්ද්‍ර කරගත් උත්තම කාන්තා සම්මානනීය වන්දනාවකදී සම්මානනීය වූ මොහොතේ මගේ මතකයට නැගුණේ ඈ ලියූ මා ප්‍රිය කරන ඒ ගී පද ය. ඇය සේම දැනෙන්නට යටිපතුල් තබා ගැඹුරින් මේ මහ පොළොවේත් ජීවිතයේත් රස හැඩතල සහ ස්වරය ආත්මීයව ජීවන අත්දැකීම් අනුසාරයෙන්ම දැන හැඳිනගත් මානවවාදී ලේඛිකාවක හා මාධ්‍යවේදිනියක වූ කරුණා පෙරේරා ගත්කතුවරිය ද, ශ්‍රී ලංකාවේ පළමු ප්රවෘත්ති නිවේදිකාව ලෙස සම්භාවනාවට පාත්‍ර වන සුමනා නෙල්ලම්පිටිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය මෙන්ම විද්‍යුත් මාධ්‍යයේ සුදිලෙන නාමයක් වූ සුමනා ජයතිලක ජ්‍යෙෂ්ඨ නිවේදිකාව ද එදා සම්මානනීය වූවාය.
ජාත්‍යන්තර මාධ්‍ය සංසදය (ශ්‍රී ලංකා) විසින් සංවිධානය කළ 'ලොව දිනන ඇය' ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේදී එම ජ්‍යෙෂ්ඨ කාන්තා රත්නයන් සම්මානනීය වෙද්දී 2016 වසරේදී එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවයට හිමිකම් කියන ජයන්ති කුරුඋතුම්පාල සහ කීර්තිමත් විලාසිතා නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා ජයකොඩිගේ දෙසුම්වලින් ඒ සම්මානීය උදෑසන සාරවත් විය.
I සංජීවිකා