2024 මාර්තු 16 වන සෙනසුරාදා

සාධි සුබ මොහොතින්...

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

පුරා දශක පහක ශ්‍රී ලාංකීය සිනමාවේ රංගනයෙන් දායක වූ ස්විනීතා වීරසිංහයන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක් ලෙසින් "සාධි" චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා ආරම්භ විය. නන්දලාල් මාලගොඩගේ තිර පිටපතකට අනුව සිනමා පටයකට නැගෙන "සාධි" නිර්මාණයේ ප්‍රධානම භූමිකාව රඟපාන්නේ ස්විනීතා වීරසිංහයන්ය. පුංචි තිරයේ රංගන ශිල්පියෙකු වන  ගයාන් ගුණවර්ධනගේත් පුංචි තිරයේ රංගන ශිල්පිනියක වන දමිත්‍රි සුබසිංහගේත් කුළුඳුල් සිනමා රංගනය වන්නේ "සාධි" සිනමා පටයයි. ඊට අමතරව හෂිණිකා කරලියද්ද, විල්මන් සිරිමාන්න වැනි රංගන ශිල්පීහු ද දායක වෙති.

“දශක පහකට වැඩි කාලයක් කලා ක්ෂේත්‍රයේ මම නියැලී සිටියත් අධ්‍යක්ෂණයට යොමුවෙන්න මට ලොකු වුවමනාවක් තිබුණේ නැහැ. නමුත් මට මුණගැසෙන මගේ හිත මිතුරන් "දැන් අධ්‍යක්ෂණයට යොමුවෙන්න හොඳ කාලයයි" කියලා මාව නිතරම දිරිමත් කළා. නමුත් මම බොහොම හුදෙකලාව ජීවත් වුණු කෙනෙක්. ඒ නිසා අධ්‍යක්ෂණයට යොමුවෙන්න මට ලොකු වුවමනාවක් මුලදී තිබුණේ නැහැ. නමුත් කලාත්මක සිනමා නිර්මාණයක් මගේ ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙන්න මට ආසා හිතුණා. ඒ වෙද්දි රටේ පැවති දේශපාලන, ආර්ථික, සමාජීය තත්ත්වයන් එක්ක ඒ නිර්මාණය දවසින් දවස කල් ගියා. ඔය අතරේ මගේ ජීවිතයේ සැඳෑ සමයේදිවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මටත් හිතුණා. ඒ නිසා මම මගේ ස්වාමිපුරැෂයා වන නන්දලාල් මාලගොඩට "ඔයාට පුළුවන් නම් මට හොඳ කතාවක් ලියලා දෙන්න" කියලා කිව්වා. ඒ අනුව තමයි ඔහු ඉතා හොඳ පිටපතක් මට ලියලා දුන්නේ." යැයි ස්විනීතා වීරසිංහ කලාකාරිය හදසරට පවසන්නීය. 

බෞද්ධ ධර්මය, දේශපාලන මතවාදය, සමාජීය මතවාදය එකට කැටි කොටගෙන නිර්මාණ වූ "සාධි" චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ ගයත්‍රි කේමදාස විසිනි. සහාය අධ්‍යක්ෂණය ලක්ෂ්මන් පුෂ්පකුමාරගෙනි. ශාන්ත ප්‍රදීප්  විසින් කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වන "සාධි" මේ දිනවල මාතර කඹුරැපිටියේදී හි රූගත කිරීම් සිදු කෙරේ. 

I දිශානි