2024 මාර්තු 16 වන සෙනසුරාදා

මගේ ජීවිතය කුමක්දැයි ඇසුවොත් උත්තරය නාට්‍යයයි... - ප්‍රවීණ නාට්‍යවේදී සමන් පුෂ්ප ලියනගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 121

Q “කුරිරු අඳුර" වේදිකා නාට්‍ය වේදිකාගත වන්නට සියල්ල සූදානම්. මේ වේදිකා නාට්‍ය ආරම්භය සිදුවුණේ කොහොමද? 

“කුරිරු අඳුර" වේදිකා නාට්‍ය රුසියානු කතාවක පරිවර්තනයක්. එය ටෝල්ස්ටෝයිගේ "power of darkness” නාට්‍යයේ පරිවර්තනයක්. මීට කලින් කවුරුත් ලංකාවේ මේ පරිවර්තනය කරලා තිබුණේ නැහැ. මම දන්න තරමින් ටෝල්ස්ටෝයිගේ  නාට්‍ය පරිවර්තනය කරලා තිබුණේ නැහැ. ඉතින් power of darkness නාට්‍ය තමයි "කුරිරු අඳුර" නමින් වේදිකාගත වෙන්නෙ. 

Q “Power of darkness” නාට්‍ය වේදිකාගත කරන්න ඕනෑ කියලා හිතුණෙ ඇයි? 

මේ නාට්‍ය 2016 දී පරිවර්තනය කරලා ග්‍රන්ථයක් ලෙස මම එළිදැක්වුවා. ඒක සංහිඳ ප්‍රකාශනයක්. ගිය අවුරුද්දේ "80 අපි" සංසදයත් එක්ක මම වැඩමුළුවක් පැවැත්වුවා. ඒකෙදි අපේ අවසානයේ අරමුණ වුණේ ශේක්ස්පියර්ගේ ටයිටස් ඇන්ඩ්‍රොනීකස් තුළින් නිර්මාණයක් කිරීමටයි. ඒ වැඩමුළුව කරගෙන යද්දි ඊට කලින් මේ නිර්මාණය කළොත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා තමයි power of darkness වේදිකා නාට්‍ය නිර්මාණය කරන්නට පෙළඹුණේ. 

Q මේ වේදිකා නාට්‍ය සඳහා නළු නිළියන් තෝරා ගත්තේ කොහොමද? 

ඉස්සර අසූ ගණන්වල ඩග්ලස් සිරිවර්ධන සහ පරාක්‍රම නිරිඇල්ල  විවිධ වැඩමුළු කරලා තිබුණා. "80 අපි" සංසදය පටන් ගන්නේ ඒ හරහායි. ඒ සංසදයෙන් නාට්‍යයට ළැදි පිරිසක් අපි මේ සඳහා තෝරා ගත්තා. ඊට අමතරව වෙනම පිරිසකුත් එකතු කර ගත්තා. මේ නාට්‍ය ඔස්සේ දහතුන් දෙනෙක්ගෙන් චරිත නිරූපණය වෙනවා. ඒ අතර පාසල් ශිෂ්‍යාවක් ද සිටිනවා. 

Q මේ කාලයේදි වේදිකා නාට්‍යයක් පුහුණු වෙනවා කියන්නෙත් හරි අමාරු කාර්යයක්. ඒ අතරින් 13 දෙනෙක් එකතුවෙලා නාට්‍යයක් කරන එකත් අභියෝගයක් නේද? 

ඔව් ඒක ඇත්ත. හැබැයි "80 අපි" සංසදයේ බොහෝ වෙලාවට හිටියේ ටිකක් මැදිවියේ අයයි. ඒ අය අතරේ කාලයක් මේ ක්ෂේත්‍රයේ වැඩ කරපු අයයි, සමහරු දීර්ඝව වැඩ කරපු අයයි හිටියා. ගිය වසරේ මාර්තුවල තමයි අපි මේකේ වැඩමුළු පටන් ගත්තේ. ඒ සඳහා සිංහල සංස්කෘතික ආයතනය (සුදර්ශි) අපට අනුග්‍රහය ලබා දීලා ශාලාව නොමිලේ ලබා දුන්නා. ඒ නිසා ඔවුන්ට විශේෂයෙන් ස්තූති කරන්නම ඕනෑ. 

Q “කුරිරු අඳුර" වේදිකා නාට්‍ය මුලින්ම එළි දක්වන්නේ කවදාද? කොහෙදිද? 

එම නාට්‍ය මුලින්ම මාර්තු 26 වැනිදා සවස තුනට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදි වේදිකාගත වෙනවා. ඒ සඳහා මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. මේ දර්ශනය කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් වේදිකාගත වෙනවා. මෙහි ප්‍රධානත්වය දරන්නේ ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතායි. ඊට අමතරව මේ නාට්‍ය වේදිකාගත කරන්නට දැනටමත් අවස්ථා හතරක් පමණ ලැබිලා තියෙනවා. ඉදිරියේදි මෙය රට පුරා වේදිකාගත කරන්න අපි සූදානම්. 

Q සමන් පුෂ්පලියනගේ ඔබ නාට්‍ය පරිවර්තකයෙක්. ඒ ආරම්භය ගැන කතා කළොත්? 

මම මුලින්ම 1991 වසරේදි තමයි නාට්‍ය පරිවර්තනය කළේ. මුලින්ම ශේක්ස්පියර්ගේ "මැක්බත්" නාට්‍ය කළා. ඒක රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණා. ඒකෙදි කුසලතා සම්මාන තුනක් හිමි වුණා. ඒක තමයි  පළවෙනි නාට්‍ය පරිවර්තනය වුණේ. ඊට පස්සේ 1994 නාට්‍ය උළෙලේදි හොඳම පරිවර්තකයාට හිමි සම්මානය හිමි වුණා. ඒ "අධිපතියාගේ මරණ මංචකය" වෙනුවෙන්. ඒක බුද්ධික දමයන්ත අධ්‍යක්ෂණය කළා. එතැනින් පටන් ගත්ත ගමන, නාට්‍ය ගොඩක් පරිවර්තනය කළා. ඒ අතරින් "සාදය මාරයි  සල්ලි හමාරයි", “මම නෙමෙයි වෙන කෙනෙක්", “පුද්ගලිකයි රහසිගතයි" වැනි නාට්‍ය මා විසින් පරිවර්තනය කළා. 

Q රැකියාවක් කරන අතරේ පරිවර්තනය සඳහා කාලය වෙන්කර ගන්නේ කොහොමද? 

නාට්‍ය කියන්නේ මගේ ජීවිතයයි. ඒ නිසා රස්සාවක් කළාට කාලය කළමනාකරණය කරගෙන මම නාට්‍ය පරිවර්තනය කරන්න වෙලාව වෙන්කර ගන්නවා. මම රජයේ රුකියාවක් කරපු කෙනෙක්. ඒ රුකියාව කරද්දි වුණත් රුකියාවට බාධා නොවෙන විදිහට මම කලාව කරගෙන ගියා. මම කලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරියෙක් හැටියට සේවය කළා. 

Q මුලින්ම ඔබගේ ග්‍රන්ථයක් එළිදැක්වූයේ කොයි කාලෙද? 

මීරිගම ආශිර්වාද ප්‍රකාශනයට "තෙල්මා" නවකතාව පරිවර්තනය කරන්න අවශ්‍ය වුණා. ඒ පරිවර්තනය එළි දක්වන්නටත් පෙරම ඒ  ප්‍රකාශනයටම තවත් නවකතා පොත් දෙකක් මම පරිවර්තනය කළා. මගේ නවකතාවලින් වැඩිපුරම අලෙවි වන නවකතාව තමයි "තෙල්මා" කියන්නේ. මගේ පරිවර්තන විෂය වෙන්නේ නාට්‍ය පරිවර්තනය. ආශිර්වාද ප්‍රකාශකයන් තමයි මට නවකතාවක් පරිවර්තනය කරන්න යෝජනාව කළේ.

Q “කුරිරු අඳුර" නිර්මාණයට දායක වුණු අය කවුද?

මේ නාට්‍යයට චම්පා වීරපුර, පාලිත සුබසිංහ, චන්ද්‍රසිරි දොඩාවත්ත, අචලා සෙනෙවිරත්න, මිනාශා කුමාරතුංග, නිරංජන්, සෙනවිරත්න බණ්ඩාර, ජාන්වී සුනේරි, සන්ධ්‍යා රාජපක්ෂ, සිතුමිණී වින්හාරා වැනි රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගනයෙන් දායක වෙනවා. සංගීත නිර්මාණය නවරත්න ගමගේ. ගීත රචනය  චාලුක සුරවීර. ඇඳුම් නිර්මාණය අජන්ත අලහකෝන්. විදුලි  ආලෝකය මහාචාර්ය චන්දන අලුත්ගේ. ඉතින් මම හැමෝටම "කුරිරු අඳුර" නිර්මාණය බලන්න එන්න කියලා ආරාධනා කරනවා. 

I දිශානි ජයමාලි
සේයාරූ I සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00