2024 මාර්තු 23 වන සෙනසුරාදා

බැටළුවොත් ගිලපු කෑමදාසලා

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

ඔන්න මචෝ අද අපි අරගෙන ආවා කෑම ගැන Y Trend එකක්. අපි කතා කරන්න හිතුවේ ලෝකේ ජනප්‍රිය කෑම දාසයන් සහ Eating Competition ගැන. සුදාලා අන්තර්ජාලෙ පැත්තෙ සැරිසරනවා නම් මේ සීන් කෝන් එක ලාවට හරි දැකලා ඇති. "කනවා කනවා කනවා.. ඉවරයක් නෑ" මචෝ මේක සිරාවටම පිස්සු Trend එකක්.  

ආහාර අපිට අවශ්‍ය වෙන්නේ පෝෂණය හා ශක්තිය ලබාගන්න. ඒත් අපි කෑම කන්නෙ අපිට දැනෙන බඩගින්න සහ කෑමවල රසය නිසා. මෙන්න මේ නිසාම තමයි ආහාර සංස්කෘතියක් ලෝකය තුළ නිර්මාණය වුණේ මචෝ. ඉතින් කෑම කෑමේ තරගත් ආහාර සංස්කෘතියේ කොටසක්. ඒත් අපි කෑම ගන්නේ ඒ දේවල්වලට වුණාට, තරගෙට කෑම කන කෑම දාසලත් ඉන්නවා මේ ලෝකේ. 

දැන් දැන් ලංකාවේ ටික ටික “Eating Competitions” ප්‍රසිද්ධියට පත්වෙනවා. Mukbangers ලා එහෙමත් ඉන්නවා.

කොහොම වුණත් ඉස්සර ඉඳන්ම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහ  නැගෙනහිර ආසියාතික රටවල මේ සීන් එක ගොඩක් ප්‍රසිද්ධයි.  එක එක පළාත්වල ප්‍රසිද්ධ Competition තියෙනවා  Eaters ලා ඉන්නවා. අපි අද සුදාලත් එක්ක කතා කරන්නේ මේ සීන් කෝන් එකේ ඉතිහාසය සහ වර්තමානය ගැන.

කෑම දාසලා ලෝකෙ කොයි කාලෙත් හිටියා. ඒත් මචෝ මේ සීන් එක නිල වශයෙන් ආරම්භ වුණා කියලා සලකන්නේ යුරෝපයේ. 1630 වගේ හිටියා මහා අමුතු පොරක්. එයාව හැඳින්වුණේ කෙන්ට්හි මහා භක්ෂක (කෑම දාස)  නිකොලස් වුඩ් නමින්. ඒ කාලේ බොහොම ජනප්‍රිය චරිතයක් වුණු මෙයා ධනවතුන්ගේ අභියෝග බාර අරගෙන කෑම කාලා තියෙනවා සුදෝ. එක වතාවක් තනි බැටලුවෙක්ව සම්පූර්ණයෙන්ම කන්න මෙයා සමත් වුණු බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. තව වතාවක් මෙයා කෑම කාලම කොමා වෙලත් තියෙනවා මචෝ.

1878 දි තමයි නිල වශයෙන් වාර්තා වන කෑම කෑමේ තරගය තියලා තියෙන්නෙ. ඇමෙරිකාවේ පැවැත්වුණු මෙම තරගය සංවිධානය කරලා තියෙන්නේ ඇල්බට් පිඩින්ටන් කියලා කෙනෙක්. ජයග්‍රාහකයාට ලබා දීලා තියෙන්නෙ අතින් බැඳපු පොතක්. ඊටපස්සේ ඉතාම ටික කාලයක් ඇතුළත මේ සීන් එක ඇමෙරිකාවේ සහ යුරෝපයේ අතිශය ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙනවා. එක එක පළාත්වලට අනන්‍ය Cultural Festivals ඇතුළේ මේ සීන් කෝන් එක නැගලම ගියා.

ඉතිහාසය ගත්තම ලංකාවෙත් හිතාගන්න බැරි විදිහට කෑම කාපු යෝධයන් ගැන පවා කතා තියෙනවා. සුදාලට මතක නම් සවුදම් ජෙමා වගේ චරිත ගැන චිත්‍රපට පවා නිර්මාණය වුණා. අදටත් අපේ ගම්වල යාළුවන් අතර අම්බානෙට කෑම කන්න පුළුවන් ඩයල් ඉන්නවා. සමහරු ඔට්ටුවටත් කෑම කනවා. එහෙම කාපු බීපු අය ගැන පොඩි ජන කතා ජනප්‍රවාද වගේ දේවලුත් අපේ රටේ තියෙනවා.

කොහොම වුණත් මචෝ මේ සීන් එක පට්ට පිස්සුවක් බවට පත්වුණේ ජනප්‍රිය කොරියානු සංස්කෘතික ආක්‍රමණයත් එක්ක. Mukbang පිස්සුව තමා ඒකට හේතුව වුණේ. Eating show යනු ප්‍රේක්ෂකයන් සමඟ අන්තර් ක්‍රියා කරන අතරතුර ධාරකයෙකු විවිධ ආහාර ප්‍රමාණයන් පරිභෝජනය කරන මාර්ගගත ශ්‍රව්‍ය දෘශ්‍ය විකාශනයක්. මොක්බන් සීන් එක 2010 ත් 2020 අතර කාලයේදි තමයි කොරියාවෙ ජනප්‍රිය වුණේ. 2015 වගේ වෙනකොට මේ සීන් කෝන් එක ගෝලීය ප්‍රවණතාවක් බවට පත්වුණා. සරලවම කිව්වොත් පට්ට Trend එකක් වුණා.

Mukbang සහ Meokbang විදිහට ශබ්ද වන මේ වචනයේ අර්ථය තමා කෑම සංදර්ශන කියන එක. පීසා, නූඩ්ල්ස්වල ඉඳන් එක එක ජාතියේ ආහාර වර්ග කැමරාවක් ඉදිරිපිට ඉඳගෙන ආහාරයට ගැනීම තමා මේකෙදි සිද්ධ වෙන්නේ. Mukbang එක එක අරමුණු සහිතව ක්‍රියාත්මක වෙනවා. ඒවා  අධ්‍යාපනිකයි. තවත් ඒවා ප්‍රාදේශීය වශයෙන් රසවත් ආහාර හඳුන්වා දෙන්න, අවන්හල් වගේ ස්ථාන හඳුන්වා දෙන්න සංවිධානය වෙනවා.  

ඒත් මචෝ සමහරු කියන විදියට මේක දැන් Sports එකක්. රෑපවාහිනී නාලිකා පවා මේ වගේ වැඩසටහන් ආවරණය කරනවා. අනෙක් අතට Social media වල සෑහෙන්න Live Streaming සිද්ධ වෙනවා. විශේෂයෙන්ම Tik Tok, YouTube  වගේ Platforms වලින් මේ සීන් එක සුදාලට බලාගන්න පුළුවන්. මේ සීන් එක සම්බන්ධව සම්මාන ගත්ත කෑම දාසයෝ පවා ඉන්නවා. බොරු කරලා අහුවෙච්ච කට්ටියක් ඉන්නවා. කොටින්ම කිව්වොත් මචෝ මේක එහෙමපිටින්ම පිස්සුවක්.

මේ Trend එකේ උපරිමේම ඉන්න දෙතුන් දෙනෙක්ගෙ නම් සහ විස්තර අපි සුදාලට කියන්නම්. සුදාලට තවත් අය ගැන අන්තර්ජාලයෙන් හොයලා බලන්න පුළුවන්. Keemi - කිමී කියන්නෙ කොරියාවේ වගේම ලෝකෙම ගොඩක් ජනප්‍රිය මිලියන තුනක විතර YouTube Subscribes ලා ඉන්න චරිතයක්. ඇගේ රසවත් කොරියානු කෑම සහ අමුතු චරිතය නිසා තමා කිමී මෙච්චරම ජනප්‍රිය වුණේ. 

යුක්‍රේනයේ ඉපදුණු ඇමෙරිකානු ජාතික අන්තර්ජාලයේ ජනප්‍රියම පුද්ගලයා විදියට හැඳින්වෙන Nicholas Perry නිකලස් පෙරී මේ සීන් එකේ උපරිමයෙන්ම ඉන්න කෙනෙක්. පෙරීට You Tube Subscribes ලා මිලියන 9 කිට්ටු ප්‍රමාණයක් ඉන්නවා. Nikocado Avocado කියලා තමයි මෙයාව අන්තර්ජාලයේ ගොඩක් දෙනෙක් හඳුන්වන්නෙ. සුදාලා පොඩ්ඩක් හොයලා බලන්න එයා කනවා නෙවෙයි හානවා.

Eating Competition සීන් එකත් මේ ලයින් එකේම තමා යන්නෙ. හැබැයි ඒක Sports එකක් වගේ. 1997 දි ජෝර්ජ් සහ රිචඩ් ෂියා සහෝදරයන් විසින් ආරම්භ කරන ලද, තරගකාරී ආහාර ගැනීමේ ජාත්‍යන්තර සම්මේලනය Ranking එකක් පවා පවත්වාගෙන යනවා. මේ තරගාවලි ගැන කතා කරද්දි අපේ වස්තුලාට මෙන්න මේවා ගැන තොරතුරු ටිකක් හොයලා දැනගන්න පුළුවන්.

“Nathan’s Famous Fourth of July International Hot Dog Eating Contest at Coney Island”
“Thailand Food Kingdom”
“Krystal Square off World Hamburger Eating Championship”

සිරාවටම මේ Trend සාමාන්‍ය විදියට කාලා බීලා ඉන්න අයට නම් පිස්සුවක්ම තමා. මේ තරගවලදි වගේම තනියම කෑම කන්න ගිහිල්ලත් හුස්ම හිරවෙලා මැරුණු අය ගැනත් අන්තර්ජාලෙ ඕනෑ තරම් තොරතුරු තියෙනවා.

ඒත් මචෝ මෙතැන වෙනම Art එකක් වෙනම Fashion එකක් තියෙනවා. එහෙම තමයි.. ලෝකෙ එක එක අය එක එක දේවල්වලට ආසයි. සමහරුන්ගෙ ආසවල් ගැන තවත් සමහරුන්ට තේරුම් ගන්න බැහැ. මේ සීන් එකත් එහෙමයි. ලංකාවේ වැඩේ යම් මට්ටමකට පටන් අරගෙන තියෙන්නේ. ලංකාවේ තත්ත්වය ගැන පස්සේ දවසක සුදාලට විස්තර අරගෙන එන්නම්.

I නිසල්