ආදරණීය වී.අයි. ලෙනින් නවමු මාවතක් සොයනු රිසියෙන් විප්ලවයක් උදෙසා ද්වාරය විවර කළේය. ඒ රුසියානු විප්ලවයෙන් රුසියානු දේශයේ මහ පොළොව මෝරන තල මල සේම සාර සුබාවට සාර භූමියක් සේ අස්වද්දමිනි. සුවිසල් ලෝකයකට දනවන විසල් විප්ලවයක් නිර්මාණය කරනු උදෙසා ලෙනින් පාදම සකස් කරන ලද්දේ රුසියානු විප්ලවය ඔස්සේය. රුසියානු විප්ලවයේ කැඩපත ලෙස ලියෝ තෝල්ස්තෝයි සම්භාවනාවට පාත්‍ර වීම දක්වා රුසියානු සාහිත්‍යය රුසියානු විප්ලවයේ සදාතනික පහන් තාරකාව ලෙස අභිෂේක ලද්දේය.
ඒ එදාය
මේ මෙදාය
Q එහෙත් පහරකින් නොරිදෙන පහරකින් නොබිඳෙන කශේරුකාවක් සහිත කලාවේදීන්ට කලාව ඔස්සේත් මාධ්‍යවේදීන්ට මාධ්‍ය ඔස්සේත් අමන අසික්කිත ලාංකික දේශපාලන පොළොව එළිපෙහෙලි කර මානවවාදී ප්‍රේමයෙන් සහ සාධාරණත්වයේ සීතලෙන් එය යළි යළිඳු අස්වැද්දිය හැකි නම් විය යුතු සහ දෙවුර දරාගත යුතු කොන්දේසි විරහිත වගකීමත් එයම නොවන්නේද?
ප්‍රවීණ කලාවේදී සහ නාට්‍යවේදී ගිහාන් ප්‍රනාන්දු ලොක්කා ලෙඩ වෙලා යන වේදිකා නාට්‍යයේ කතාබහට පෙර පෙරවදනට මා හා වදන් ගලපාලූයේ එවන් සමුච්චිතකරණයක් ඔස්සේ යැයි මට හැඟේ. ලොක්කා ලෙඩ වෙලා කේන්ද්‍ර කර ගනිමින් මේ කතාබහෙන් කලාවේ යථාර්ථවාදී දිශානතීන් සහ වගකීම් පිළිබඳව ගිහාන් ප්‍රනාන්දු නාට්‍යවේදියාණන් සමඟ හදසර කළ කතාබහේ වදන් වියමන මේ අයුරින් පෙළගැසේ.
Q ලොක්කා ලෙඩ වෙලා සපැමිණෙන මොහොතේ ආ දුරු මඟ ගැන කතා කරමුද අපි මුලින්?
නාට්‍ය හා කලාව සමඟ බැඳුණු මගේ ජීවිතයට දැන් අවුරුදු තිස් පහක් වෙනවා. ඒ අවුරුදු තිස් පහ තුළ මම නාට්‍ය පනස් පහක පමණ රඟපාලා තියෙනවා. ඒ නාට්‍ය එක් එක් ශානර නියෝජනය කරන නාට්‍ය. ලංකාව වටේම යන නාට්‍ය සහ සම්මානනීය වූ නාට්‍ය යන ද්විත්වයේම මම රඟපාලා තියෙනවා. කාලයක් තිස්සේ මම නාට්‍යයක් කරන්න බලා හිටියත් මට කවදාවත් නාට්‍ය කරන්න ලැබුණෙ නෑ. හැම අවුරුද්දෙම මාව නාට්‍යයකට ගන්නවා. ඒත් මේ අවුරුද්දෙ මම හිතුවා නෑ මම නාට්‍යයක් කරනවමයි කියලා.
Q ගිහාන්.. මම නාට්‍යයක් කරනවමයි කියලා ඔබ එච්චර තදින් හිතන්න හේතු වුණු විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්..
Q ඉතින් කියන්න ඒ හේතුව?
පාර තොටේ යද්දි දැන් වැඩිපුරම මරණ දැන්වීම් දකින්නෙ අපේ වයසෙ. මට ඉතින් හිතුණා අපරාදෙ නාට්‍යයක් නොකර මැරෙන්න වුණොත් කියලා. පහුගිය කාලෙම දැක්ක දෙයක් තමයි හිටපු ගමන් මිනිස්සු ලෙඩ වෙනවා, ඔත්පල වෙනවා, සමහර විට හිටපු යාළුවො වැටිලා මැරෙනවා. ඔන්න ඔය වගේ සංසිද්ධීන්. ඉතින් කවදා හෝ මරණයට පෙර නාට්‍යයක සිහිනයක් මම දැක්කදෝ කියලත් මට හිතෙනවා. හේතු අතරින් සුවිශේෂීම හේතුව ඒක කියලා මම ඉතින් කියන්නම්.
Q සමාජයට දැනෙන්න කතා කරන ප්‍රස්තුතයක් කේන්ද්‍ර කරගත් ලොක්කා ලෙඩ වෙලා වගේ නාට්‍යයකටම හිත යන්න හේතුවක් තියෙන බවත් හැඟෙනවා. මට කියන්න ඒ හේතුව?
මේ රටේ මේ මොහොතේ මිනිස්සු විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නවා. ඒ වගේම මේ මොහොතේ ඡන්දයක් ගැන කතාවක් තියෙනවා. අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ අපි හැමදාම නාහෙන් අඬ අඬා ඉන්නවා නරක පාලකයො තෝරගත්තා, අපි මේ රට වෙනුවෙන් වගකීම් ඉෂ්ඨ කළේ නෑ කියලා. බල්ලොත් එක්ක බෑ වගේ නාට්‍ය එක්ක අපි ඉදිරිපත් කළේ පහුගිය කාලෙ මුළුල්ලේම දේශපාලන ප්‍රහසනයන්. ඒ නාට්‍යයත් එක්ක රට වටේ ගිහාම ලැබුණු ප්‍රතිචාර දකිද්දි පුදුමත් හිතෙනවා. ඒ හුඟක් අය අහපු එක ප්‍රශ්නයක් තමයි ඊළඟ නාට්‍ය මොකක්ද කියන එක. අපි නොහිතුවත් වේදිකා නාට්‍ය වෙනුවෙන් සබුද්ධික බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයක් ඉන්න වග මට දැනුණා. සත්‍ය වසා සිටින ජඩ දේශපාලනයේ රෙද්ද ගළවන්න මගේ කලාව තුළින් වේදිකාව තුළින් යමක් කරන්න මම ඕනෑමයි කියන හිතුවිල්ල උඩ තමයි ලොක්කා ලෙඩ වෙලා වගේ නාට්‍යයක් නිර්මාණය කළේ.
Q ඇරිස්ටෝටල් කියපු විදිහට දේශපාලනයෙන් තොර සත්ත්වයෙක් නැහැ. එහෙත් ඒ දේශපාලනය තුළ අපේ භූමිකාව හොරණෑ සංකල්පයෙන් සහ ආවැඩීමේ සංකල්පයෙන් තොර විය යුතුයි. මෙතැනදිත් කලාකරුවෙකුගේ වගකීම ඔබ නිර්වචනය කරන්නෙ කොයි විදිහටද?
මේ රටේ මිනිස්සු දෙකෝටි විසි ලක්ෂයෙන් අපි හිතපු අඩුම තරමෙන් මිනිස්සු කෝටියක් අපිට ආදරය කරනවා කියලා. ඒ මිනිස්සු වෙනුවෙන් ආත්මාර්ථයෙන් තොර වෙච්ච පරාර්ථයක් සහිත වගකීමක් අපිට තියෙනවා. ඒ වගකීම තමාගේ ස්වයං සුඛ විහරණයෙන් බැහැර වෙච්ච පපුවටම දැනෙන හෘද සාක්ෂියත් එක්ක එකඟ වගකීමක් විය යුතු වගත් මම විශ්වාස කරනවා. අපිට ආදරය කරන මිනිස්සුන්ගෙ ආදරය කැමැත්ත පාවිච්චි කරලා මානසික අල්ලසක් දෙන එක කලාකරුවන්ගෙ යුතුකම හෝ වගකීම නෙවෙයි. ඒ නිසා කිසිම විටෙක කලාකරුවන් දේශපාලනඥයන් වෙනුවෙන් දේශපාලන වේදිකාවක හෝ වෙන යම් ඕනෑම විදිහකින් පක්ෂ දේශපාලනය වෙනුවෙන් පෙනී නොසිටිය යුතු වග මම ඍජුවම කියනවා. අපිට තියෙන්න ඕනෑ පක්ෂ හෝ පුද්ගල දේශපාලන මතවාදයක් නොව, යහපත් සමාජයක් වෙනුවෙන් උරදෙන මානවවාදී දේශපාලන මතයක්. ඒ වෙනුවෙන් පෙනී හිඳීමේ පුද්ගල හා සමාජ වගකීම තුළ නාට්‍යවේදියෙක් ලෙස මගේ එක ප්‍රයත්නයක් වශයෙන් ලොක්කා ලෙඩ වෙලා නිර්මාණය වුණා. ඒ තමයි හේතුව. මම හිතුවා මගේ දේශපාලනය මම කරන්න ඕනෑ මගේ නාට්‍යමය වේදිකාව තුළ කියලා. ඉන් එහාට කලාවේ ඕනෑම ශානරයක් තුළ දිශානතියක් තුළ ඉඩ හසරක් තියෙනවා නම් මම කැපවෙන්නෙ මිනිසුන් උදෙසා වූ දේශපාලනයක් වෙනුවෙන්. මගේ මිත්‍රයෙක් ඉන්නවා ජෝර්ජ් සැමුවෙල් කියලා. ඔහු දේශපාලන විචාරකයෙක් සහ කලාවට සම්බන්ධ කෙනෙක්. අප දෙදෙනා අතර වූ කතාබහක දිගුවක් වශයෙන් තමයි ලොක්කා ලෙඩ වෙලා නිර්මාණය වුණේ. මට ඕනෑ මිනිස්සුන්ට පණිවිඩ ගෙනියන්න නෙවෙයි, නාට්‍ය ඉවරවෙලා ගෙදර යද්දි තමන්ට තමන් එක්කම තර්ක කරන්න යමක් ඉතුරු කරන්නයි. අපිට කෙලවෙලා නේද තියෙන්නෙ කියන එක මේ රටේ කිසිම පුරවැසියකුට අමතක නොවිය යුතුයි කියන තැන මම දැඩිව ඉන්නවා.
Q ලොක්කා ලෙඩ වෙලා... ගිහාන් ඒ නමෙන්ම ඔබ ලොකු කතාන්දරයක් කියන්න හදනවා. මේ රටේ මුල් පුටුවෙ ඉඳන් හුඟක් පුටුවල ඉන්න ලොක්කන් ලෙඩ වෙච්ච බවද ඇත්තටම ඔබට දැනෙන්නෙ. ඒ ලෙඩ වීම නිර්මාණය කරපු අනේක විධ සමාජ ඛේදවාචකයන්ද වේදිකාවක් තුළ ඔබ ප්‍රතිනිර්මාණය කරන්න හදන්නෙ?
ඇත්තටම මම කියන්නෙ තනි පුද්ගල ලොක්කෙක් ගැන නෙවෙයි. මට කතා කරන්න ඕනෑ සමාජ ක්‍රමවේදය හසුරුවන නියමුවන් අතිශය බහුතරය ලෙඩ වෙලා කියන කාරණය. ඒ ලෙඩ වීම ඔස්සේ නිර්මාණය කරපු ඛේදවාචකය දැන් පුපුරලා ඕජස් ගලනවා. වරදක් නොකරපු වග නොවිය යුතු පුරවැසියන් වග වෙන්නෙ සහ දුක් විඳින්නෙ එක්තරා පිරිසකගේ අමනෝඥ සහ අසාධාරණ ක්‍රියා සහ ක්‍රමවේද තුළ බව බුද්ධිමත් සහ තාර්කික ඕනෑම පුද්ගලයකුට පිළිගන්න පුළුවන් සත්‍යයක්. දේශපාලන ලොක්කො, රාජ්‍ය නිලධාරී ලොක්කො, ඉස්පිරිතාලවල ලොක්කො, කී නොකී බොහෝ ලොක්කන් මනසින් ලෙඩ වෙද්දි ලොකුකම් පොඩි මිනිස්සුන්ට පෙන්වන්න සහ පාගන්න පාවිච්චි කරද්දි නිර්මාණය වන ඛේදවාචකය අතිශය දරුණුයි සහ පීඩාකාරීයි. වේදිකාව තුළ මට දිග අරින්න ඕනෑ අන්න ඒ තිත්ත ඇත්තයි. ඇත්තටම ගත්තොත් තමන්ගෙ ලොක්කො ගැන ප්‍රසාදයෙන් කතා කරන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? තමන්ට බලය තියෙන කොයි තැනකදිත් තමන්ට තමන්වත් අමතක වෙලා යන මිනිස්සු තමයි ලංකාව වගේ රටවල්වල හුඟක් අපි දකින්නෙ. ඒත් ලෝකේ ඇත්තටම සංවර්ධිත රටවල්වල මිනිස්සු සාමාන්‍යයෙන් අසාමාන්‍ය වෙන්නෙ නැහැ. ඒ අය මිනිසුන් අතර මිනිසුන් විදිහටම ජීවත් වෙනවා.
Q තම දේශපාලන මතවාදය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් රුඳී සිටීමට එරෙහිව කලාකරුවෙකු මෙහෙයවන සංවේදීම සමාජ කාරණා මොනවාද?
කලාව කර්මාන්තයක් විදිහට ගොඩනොනැගුණු රටක කලාකරුවන් වැඩි සංඛ්‍යාවක් නොයෙකුත් ආර්ථික අර්බුදයන්ට සහ පීඩනයන්ට ලක් වී ඉන්නවා. එතැනදි බොහෝ කාරණාවන් තුළ හොඳම තෝරාගැනීම් තුළ රුඳෙන්න කලාකරුවන්ට නොහැකි වීමේ සාධාරණ හේතු තියෙන්න පුළුවන්.
Q එතකොට ඔබ?
පෞද්ගලිකව මම කිසිම දේශපාලනඥයකුගෙන් තඹ සතයක උදව්වක් අරගෙන නැහැ. ආණ්ඩුවෙන් කලාකරුවන්ට දුන් වාහන ණයවත් මම ගත්තෙ නෑ. ඒ නිසා මට ස්වාධීනව මගේ මතවාදය තුළ ඉඳගෙන ඕනෑ දෙයක් ගැන කතා කරන්න පුළුවන්. කොන්ද කෙළින් තියාගෙන කතා කරන්න ඒ හයිය මට ආවෙ ඒ ස්වාධීනත්වය තුළ. සමහර තැන්වලදි කලාකරුවන් අසරණ වන තැන් මම දැකලා තියෙනවා. ඒ තැන් සංවේදීව සහ මානුෂිකව දකින්න මට හදවතක් තියෙනවා. කාලාන්තරයක් තමන්ගෙ කොන්ද හදාගත්ත මිනිහෙකුට බලපෑමක් කරන්න දේශපාලනඥයකුටවත් වෙන කෙනෙකුටවත් බෑ කියන්නත් මම දන්නවා. අද ජනතාවාදී සහ මානවවාදී කලාව හුඟක් තැන්වලින් අතුරුදන් වෙලා තියෙනවා. අපේ රටේ ප්‍රේක්ෂකාගාරයත් තව දියුණු මානසිකත්වයකට පැමිණීම අනිවාර්යයි. ලව් කේක් එක අයිසින් නොදා කවන්න පුළුවන් තැනකට ඔවුන් පැමිණිය යුතු බව මම විශ්වාස කරනවා.
Q ලොක්කා ලෙඩ වෙලා අප්‍රේල් පස්වැනිදා සවස 6.45ට එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකාව මත දිගහැරෙන්නට නියමිතයි. ජෝර්ජ් සැමුවෙල් රචනයක් වූ ජූඩ් ශ්‍රීමාල් නිෂ්පාදනය කළ ගිහාන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ලොක්කා ලෙඩ වෙලා ඉන්පසු රට වටේම හෝ රටෙන් එහාටත් යන බව නියතයි. ඒක එහෙමද?
ඔව් ඒක එහෙමයි. චමිලා පීරිස්, අජිත් ලොකුගේ, සරත් කරුණාරත්න, ආලෝක සම්පත්, සමන්ත පරණලියනගේ, මධුශානි වික්‍රමසිංහ, ඉසුරු ගුණවර්ධන, කසුන් සමීර, රවිඳු සම්පත් ඇතුළු තවත් පිරිසක් තිරයෙන් එහා සහ තිරයෙන් මෙහා අපි හැමෝම ලොක්කා ලෙඩ වෙලා ඔස්සේ විශාල ප්‍රේක්ෂකාගාරයකට ආමන්ත්‍රණය කරමින් දිගු ගමනක් යන බව මට විශ්වාසයි.
I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ