2024 මාර්තු 30 වන සෙනසුරාදා

අලි කොටි මොනරු මැද ඇමැන්ඩා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

ඔස්ට්‍රේලියාවේ ඉඳන් ආපු ඇමැන්ඩා කියන්නෙ YouTube වල ආරම්භක මට්ටමේ Traveler කෙනෙක්. ඇමැන්ඩා පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ මහනුවර, දඹුල්ල, ඇල්ල වගේ ප්‍රදේශවල සංචාරය කළා.

ඇමැන්ඩා දැන් අපිව එක්කගෙන ගියේ යාල සෆාරියකට. සාමාන්‍යයෙන් ඇමැන්ඩා නරඹන්නන් එක්ක තොරතුරු බෙදාගන්න කෙනෙක්. ඒ නිසාම යාල ජාතික වනෝද්‍යානය පිළිබඳ සැලකිය යුතු තරම් තොරතුරු එයා අපිට කිව්වා. 

“ශ්‍රී ලංකාව කියන්නේ සෆාරිවලට හොඳ තැනක්. අපිට මේ සංචාරයේදි අලි දැකබලා ගන්න පුළුවන්. ඒ වගේම බිලාල කුලයට අයත් කොටිත් දැකගන්න පුළුවන්."

ඇමැන්ඩා එක්ක එයාගේ සහකරුවාත් මේ සංචාරයට එක්වෙලා හිටියා. ඔහු ඡායාරෑප ශිල්පියෙක් වෙන්න ඕනෑ. යාල වැඩේ ගමන ගැන මේගොල්ලන්ගේ තිබුණේ ලොකු උනන්දුවක්. ඒකට සැඟවුණු හේතුවක් තිබුණා.

මේ වගේ සැලකිය යුතු තරම් ලොකු විස්තරයක් කරලා තමයි මෙයා ගමන යන්න පිටත් වුණේ. ඇමැන්ඩා යාල බලා පිටත් වුණේ ඇත්තටම විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් පොදි බැඳගෙන.

“අපි ගොඩක් උද් යෝගයෙන් ඉන්නේ. මේ සෆාරියේදි මොනවගේ අත්දැකීමකට මුහුණ දෙන්න වෙයිද දන්නෑ."

කොහොම හරි යාලට ඇවිල්ලා මේ වගේ එක එක කතා ගොඩක් කිය කියා ඇමැන්ඩා ගොඩවුණා සාෆාරි යන ජීප් එකට. 

“මෙහි හරිම උණුසුම්. සෆාරි එනකොට වතුර සහ කෑමට යමක් අරගෙන එන්න අමතක කරන්න එපා."

මේ උණුසුම් කාලගුණයත් එක්ක ගමන එච්චර ලේසි වෙන්නෙ නැති බව ඇමැන්ඩාට තේරුම් ගියා. කොහොම හරි යාල වනාන්තරයට ඇතුළු වුණාට පස්සේ මේ අයට ගොඩක් දේවල් දැකබලා ගන්න ලැබුණා.

“මෙන්න පාර මැද්දේ අලියෙක්"

ඇත්තටම මේ අලියා මෙයාලට ලොකු කරදරයක් නම් කළේ නෑ. ඒත් පාර මැද්දේ අලියෙක් දැකබලා ගන්න ලැබීම ඇමැන්ඩාට ලොකු අත්දැකීමක් වුණු බව නම් පැහැදිලිව පේන්න තිබුණා.

මේ සංචාරය අතරේ කිඹුලන් මුවන් මොනරුන් වගේ තවත් සත්තු මෙයාලා දැකබලා ගත්තා.

“අපි දැන් ඉන්නේ යාල ජාතික වනෝද්‍යානයේ බොක් බී වල. මේ කලාපය හෙක්ටයාර් එකොළොස් දහසක් විතර විශාලයි. මෙහි ගොඩක් කුරුලු විශේෂ දැකබලා ගන්න ලැබෙනවා."

ගමනට කලින් එකතු කරගත්ත දැනුම සුපුරුදු විදිහටම ඇමැන්ඩා නිතර නිතර අපිත් එක්ක බෙදා ගත්තා.
කොහොම හරි පළවෙනි දවසේ සංචාරය අවසන් වුණත් මෙයාලට අවශ්‍ය දේ සිද්ධවෙලා තිබුණේ නෑ.

“අපිට කොටි බලන්න බැරි වුණා" 

ඇත්තටම මේගොල්ලන්ගේ ප්‍රධානම අරමුණ වෙලා තිබුණේ ලංකාවේ ඉන්න කොටි විශේෂය දැකබලා ගැනීම. ඒ නිසාම මේ සෆාරිය එක දවසින් නතරවෙන එකක් වුණේ නෑ. සෆාරි අංක 2 පහුවැනිදා උදේ පාන්දරින්ම ආරම්භ කරන්න මේගොල්ලෝ කටයුතු කළා.

“ඇත්තටම ශ්‍රී ලංකාවේ දිවියන් අපිට දැකගන්න පුළුවන් වෙයිද කියලා දන්නෙ නෑ. ඒත් අද වගේ දවසක ලොකු සම්භාවිතාවක් තියෙනවා අපිට දිවියව හම්බවෙන්න."

ශ්‍රී ලාංකිකයන් කොටියා ලෙස හඳුන්වන ශ්‍රී ලාංකාවටම ආවේණික දිවියන් විශේෂය දැකබලා ගැනීම මේ සංචාරයේ අරමුණ බව ඇමැන්ඩා හෙළිදරව් කළා. මේ දිවියන් වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින බවත්, ශ්‍රී ලංකාවේදි සහ අප්‍රිකාවේදි පමණක් මීට සමාන විශේෂ දැකගත හැකි බවත් ඇමැන්ඩා කිව්වා.

මේ වතාවේ සංචාරය තුළත් එක එක සත්ත්ව විශේෂ, කුරුලු විශේෂ දැකබලා ගන්න මේගොල්ලන්ට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකාවේ මඟපෙන්වන මහත්තයෙක් නිරන්තරවම මේ අයට උදව් කළා. ඒත් සෆාරිය අවසන් වෙනකොටත් මෙයාලගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙලා තිබුණෙ නෑ.

“අපි දෙන්නා පැය හතරක් මේ ජීප් එකේ සෆාරිය කළා. අපි ගොඩක් සත්තු දැක්කා. ඒත් අවාසනාවකට අපිට දිවියව බලාගන්න අවස්ථාවක් ලැබුණේ නෑ. සමහරවිට ලබන වතාවේ පුළුවන් වෙයි."

යාල චාරිකාව නිමා කරන්න මිනිත්තු පහළොවක් තියලා ඇමැන්ඩා එහෙම කිව්වේ මවාගත්ත සතුටකින්. ඇත්තටම ඇගේ ස්වරය තුළ ලොකු දුකක් තිබුණා. ඒත් අවසාන මිනිත්තු දහයේ තවත් පුදුම දෙයක් සිද්ධ වුණා.

“ඕ මයි ගෝඩ්, පාරට දිවියව පේනවා" 

මේ වනාන්තරයේ පාරේ ලොකු ට්‍රුෆික් එකක්. සෆාරි ජීෆ් ඔක්කොම නතර කරගෙන කොටියව බලන්න උත්සාහ කරනවා. ඌ ඉන්නෙ ඈත ගල් කන්දෙ.

“ඈත ගස් අතරින් පුංචි ඉඩකින් තමයි පේන්නේ. ඇත්තටම මට හරියට බලාගන්න බැරි වුණා. ඒත් අනිත් අය දැකලා. මැතිව් පින්තූරයකුත් ගහගෙන."

ඇත්තටම මේ දර්ශනය ගැන මෙයාලා හරියට පුදුම වුණා. සමහරු සති ගාණක් මේ දර්ශනය දැකබලා ගන්න ඉඳලා වැඩේ අතහැරලා ගිහිල්ලා තිබුණු දවස්වල තමා ඇමැන්ඩලාට මේ වාසනාව උදා වුණේ. ඉතින් මෙයාලා උදව් කරපු හැමෝටම ස්තූති කරලා ඉතාම සතුටින් තමයි යාල වනන්තරයට සමු දුන්නේ.

I නිසල්