2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ගල් සොයාගෙන ටිම් රට වටේ...

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 73

ටිම් මේ දවස්වල ලංකාවේ සංචාරය කරන Traveler කෙනෙක්. ලක්ෂ තුනකට අධික Subscribes ලා ඉන්න ටිම්ගේ YouTube Chanel එකෙන් පහුගිය සතියේ ලංකාව ගැන තරමක් ආන්දෝලනාත්මක වීඩියෝ එකක් දාලා තිබුණා. ඒක නම් කරලා තිබුණේ I Suffered BIGGEST SCAM of my Life කියලා.

මේ සිදුවීම ටිම් පෙන්නන විදිහට සිද්ධ වෙන්නේ ලංකාවේ දකුණු පළාතේ මීටියාගොඩ සඳකැන් පාෂාණ තිබෙන ප්‍රදේශයේ.

ටිම්ගේ Subscriber කෙනෙක් එයාට හඳුන්වා දෙනවා හික්කඩුවේ පැත්තේ අංකල් කෙනෙක්ව Travel කරන්න උදව්වට. මීටියාගොඩ සඳකැන් පාෂාණ පතල බලන්න යන්න යෝජනා වෙන්නේ මේ හරහා. 

ඔන්න ටිම් පතල බලන්න යනවා. මෙතැන ඉන්නවා පැහැදිලි කරන කෙනෙක්. එයා හැමදේම පතල ගැන පැහැදිලි කළා. පහළ පිරිසක් වැඩ කරනවා කියලත් පේන්න තිබුණා.

“පහළ අයත් එක්ක අපි කතා කරන්නේ මෙන්න මේ ක්‍රමයට. මේක අපේම ක්‍රමයක්"

හිනා වෙවී 'හෝස් පයිප්' එකකින් ඇතුළෙ ඉන්න අයත් එක්ක වචන දෙක තුනක් පැහැදිලි කරන කෙනා කතා කළා. ඇත්තටම මේක අමුතුම අත්දැකීමක් වෙලා හිටපු ටිමුත් පහළ අයට කතා කළා.

කොහොම හරි මෙයාලා මෙහෙම කතාබහ කරලා ඊළඟට ගියේ පතලෙන් ගත්ත ගල් ගරන තැනට. එතැන එක්කෙනෙක් කූඩයකින් ඉල්ලුම ගරන ගමන් හිටියේ. 

“මෙහෙම තමයි අපි මේ ගල් හොයා ගන්නෙ" 

එහෙම කියලා පැහැදිලි කරන කෙනා ගොඩක් විස්තර ටිම්ට කිව්වා. ලංකාවේ තියෙන සඳකැන් පාෂාණවල විශේෂත්වය ගැන ඒ කෙනා විස්තරාත්මකව ටිම්ට කියලා දුන්නා.

ඊට පස්සේ මේගොල්ලෝ ගියා පොඩි මඩුවකට. එතැනින් කුරුඳු තෙල් බෝතලයකුත් ටිම් මිලදී ගත්තා. ඊටපස්සේ මෙතැනින් එකතු කරපු ගල් තියෙන තැන දි ටිම් ආයෙත් ගොඩක් පුදුම වුණා.

“මම ආසම මේ නිල් පාටට"

විස්තර අහලා දැනගන්න ගමන් ටිම් එහෙමත් කිව්වා.

ඊටපස්සේ මේ දෙන්නත් එක්ක මේ ගල් කපලා කොටලා ඔපදාන තැනකටත් යනවා. ඊටපස්සේ තමයි ගල් මිලදී ගන්න සාප්පුවට මෙයාලා යන්නෙ. 

“මෙතැන තමයි අපි හදපු දේවල් විකුණන්නේ"

මෙතැනදි ටීම් විවිධ ආභරණ බැලුවා. ඩොලර්  සීයේ දෙසීයේ ඉඳන් ඩොලර් දහස් ගාණක් දක්වා වන ඒවායේ මිල ගණන් ටිම් අහලා දැන ගත්තා. මෙතැන පේන්න තිබුණේ ඇත්තටම ඔහුට මොකක් හෝ මිලදී ගන්න වුවමනාවක් තිබෙන බවක්.

“මේක ගොඩක් ලස්සනයි. මම මේකට කැමතියි"

කැස්බෑවෙක්ගේ හැඩයට හදපු පෙන්ඩන් එකකට ටිම් කැමති වුණා. ඩොලර් 200කට වඩා වැඩි මිලක් තමයි මේගොල්ලෝ මේකට කිව්වෙ.

“අපි මේ ගනුදෙනුව ඩොලර් 175ට කරමු"

එහෙම කිව්වත් කඩේ කට්ටිය නම් ඒ ගාණට කැමති වුණේ නෑ. කොහොම හරි අවසාන ගාණ විදිහට ඩොලර් දෙසීය ගාණකටම මේක මිලදී ගන්න ටිම් හිත හදා ගත්තා"

ඊටපස්සේ මෙයා මෙහෙම ඉල්ලීමකුත් කළා.

“මට පුළුවන්ද මෙතැන තියෙන වැඩිම මිල ආභරණය බලන්න"

“ඔව් පුළුවන්"

වීඩියෝගත කරනවාටත් කඩේ අය එහෙම බාධාවක් එල්ල කළේ නෑ. ටිම් ගිහිල්ලා ඒ ආභරණය බැලුවා. ඒක මාලයක්.

“මේකෙ ගාණ කීයද?”

“ඇමෙරිකානු ඩොලර් 45,000ක් වෙනවා" 

ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටියකටත් අධික මේ ආභරණය දැකලා ටිම් ටිකක් පුදුම වුණා.

කොහොම හරි මේ ආරාධනාව කරපු එක්කෙනාගේ ගෙදර ගිහිල්ලා කාලා බීලා තමයි ටිම් ඊළඟට තමන් ඉන්න තැනට ගියේ. ඊටපස්සේ තමයි තමන්ට වෙච්ච දේ ගැන හරියටම එයාට දැනගන්න ලැබුණේ.

“මම මේ විදිහම එකක් අන්තර්ජාලයේ හොයලා බැලුවා. මේ වගේ සඳකැන් පාෂාණ අල්ලපු කැස්බෑවන්ගේ හැඩයේ පෙන්ඩන් තියෙනවා. එකක් ඩොලර් 35 ක් 40 ක් වගේ වෙන්නේ"

තමන් අහුවුණේ වංචාවකට කියන හැඟීම ටිම් තුළ ඇතිවුණේ ඔන්න ඔය විදිහට. ඊටපස්සේ හික්කඩුවේ තවත් ආභරණ සාප්පුවකට ගිහිල්ලා තමන් මිලදී ගත්ත ආභරණය ගැන පරීක්ෂා කරන්නත් ඔහු තීරණය කළා.

“මේක ඩොලර් අසූවක් විතර තමා වෙන්නේ"

කිරලා මැනලා කැරට් ගාණ එහෙම තක්සේරු කරලා මේ කඩේ වෙළෙන්දා ටිම්ට එහෙම කිව්වා.

“ඇත්තටම මට මේක ඩොලර් සීයට විකුණුවා නම් කමක් නැහැ. ඒ අයත් තමන්ගේ දරුවන්ව පෝෂණය කරන්න ඕනෑ. කන්න බොන්න ඕනෑ. ඒත් ඇයි ඩොලර් දෙසීයකට විකුණුවේ" 

මෙහෙම කඩ තුනකින්ම විස්තරේ අහලා දැනගත්ත ටිම් නැවතත් අර සාප්පුවට ගියා.

“මම කැමරාවක් එක්ක ගනුදෙනු කරපු නිසා ඒගොල්ලන්ට මට බැහැයි කියලා කියන්න බෑ"

කොහොම හරි තවත් කඩේකට ටිම් ගියා මේ ගැන හරියටම දැනගන්න. එතැනිනුත් කිව්වේ මේ ආභරණය ඩොලර් 70ක් වගේ වෙයි කියලා. ඒ කියන්නේ රුපියල් 20000ක වගේ මුදලක්. ඒත් ඇමෙරිකානු ඩොලර් 200ක් කියලා කියන්නේ රුපියල් 60000 ක විතර මුදලක්. 

කොහොම හරි සාප්පුවට ගිහිල්ලා ඒකෙ අයිතිකාරයාවම ටිම් හම්බවුණා.

“ඔයාට ඕනෑ නම් ඒක මාරු කරගන්න පුළුවන්. ගැටලුවක් නෑ. අපි සල්ලි දෙන්නම්. ඒත් මේක උසස්ම ප්‍රමිතියේ සඳකැන් පාෂාණවලින් හදපු එකක්. මේක හොඳ මිලක් ඔයාට"

කඩේ අයිති කෙනා කොහොමටවත්ම වංචාවක් කරපු බව නම් පිළිගත්තේ නැහැ.

“මම ශ්‍රී ලංකාවට ආදරෙයි. ගොඩක් ශ්‍රී ලංකාවට ආදරෙයි. ඒත් ඕගොල්ලෝ ශ්‍රී ලංකාවේ ප්‍රතිරෑපය විනාශ කරනවා. එහෙම කරන්න එපා"

ටිමුත් වැරුද්ද අත්හරින්නෙ නැතුව අවසානයේ තමන්ගෙ ඩොලර් 200 අරගෙන තර්ක කළා.

“ඔයා කොහොමද රූට නිදාගන්නේ? නින්ද යනවද?”

මෙන්න මේ වගේ සැර ප්‍රශ්නත් ටිම් අනික් පැත්තට දමලා ගැහුවා. 

සාප්පුවෙන් එළියට බැහැලා එනකොට පාරේ හිටපු STP එකේ තුන්දෙනෙක්ටත් මෙයා මේ කතාව කිව්වා.

“මේගොල්ලෝ ශ්‍රී ලංකාවේ ප්‍රතිරෑපයට හානි කරනවා. ඕගොල්ලෝ ගිහිල්ලා ඕගොල්ලන්ගේ බොස්ට කියන්න" 

අපේ STF එකේ කට්ටිය අන්දමන්ද වෙලා හිටියේ අගක් මුලක් දන්නෙ නැති මෙයාගේ කතාව නිසා. ටිම්ටත් මේක තේරිලා හිමින් සැරේ එතැනින් ආවා එන්න.

“කොහොම වුණත් මට සතුටුයි මගේ ඩොලර් 200 ආයෙ මට ලැබුණා. මම මේකෙන් අවංක වෙළෙන්දෙක්ගෙන් දෙයක් මිලදී ගන්නවා"

එහෙම කියලා කලින් ගණන් අහගත්ත හික්කඩුවේ තිබුණු, වෙනත් ජුවලරි සාප්පුවකට ආපු ටීම් වෙනත් මාලයක් මිලදී ගත්තා. ඒ කඩේ අයිති කෙනා කිව්ව විදියට එයා මංකො වෙළෙදාම් කරන කෙනෙක්. ටිම් කියපු විදිහට ඒ කඩේ තමා වැඩිපුරම හොඳ ගූගල් ප්‍රතිචාර තිබුණු කඩේ. ඉතින් ඔහොම තමා මේ කතාව ඉවර වුණේ.

I නිසල්