ස්වර රටා ඔස්සේ ලෝකයක් සොයා ගිය තිස් වසරක මතක දිගේ...
ඇතැම් විශිෂ්ට නිර්මාණවේදීහු සිය නිර්මාණ පෙරමුණේ තබා ඊට පිටුපසින් සැඟව සිටිති. සැබැවින්ම එවන් නිර්මාණවේදීන් නිර්මාණකරණයටම ආසක්ත අව්‍යාජ මිනිසුන්මය. නවරත්න ගමගේ නම් වූ අද්විතීය සංගීතවේදියා මෙම කුලකයටම අයත් වන අපූරු නිර්මාණවේදියෙකි. ඔහු පිළිබඳ අතීතාවලෝකනයකට ඉඩකඩ වෙන් කරන්නට අපි තීරණය කළෙමු.
වේදිකාවේ හමා ගිය නවරත්න ගමගේ ස්වර සිලිරාව ශ්‍රී ලාංකික රිදී තිරයද පුංචි තිරයද එක ලෙස සනසානු ලැබූ බව පළමු කොට සිහිපත් කළ යුතුය. තවමත් නොනැවතී හමන නවරත්න ගමගේ ශූරීන්ගේ මියුරු ස්වර සුළඟ "නවාගේ ගී" ලෙසින් අප්‍රේල් 20 සහ 21 වැනි දෙදින කොළඹ නෙළුම්පොකුණ පරිශ්‍රයේදී ජනගත වීමට නියමිතව තිබේ. එහිලා මේ අපූරු මිනිසාගේ දිවිසැරියේ සලකුණුගත නිර්මාණ රැසක් රස විඳීමට අප සැමට අවකාශය උදාවනු ඇත. මේ සටහන ඊට පූර්විකාවක් ලෙස ලියා තබමු.
මේ අපූරු නිර්මාණවේදියාගේ උපත සිදුවන්නේ ගංගොඩවිලය, දෙල්කඳ පාඬිගමගේ විල්සන් හා හේවාවත්තගේ දොන් සීලවතී යුවල මේ අපූරු නිර්මාණවේදියා අප අතරට ගෙන ඒමේ ගෞරවය ලද්දෝ වූහ.
නවරත්න ගමගේ ශිල්ප ලැබුවේ නුගේගොඩ ශ්‍රී රේවත මහා විද්‍යාලයෙනි. කෙසේ වෙතත් නවරත්න ගමගේ හට අධ්‍යාපන කඩඉම් ජයගැනීමට හේතු වූයේ සුභද්‍රාරාම පිරිවෙණ ඇසුරේ ලද ආභාෂයයි. පතපොත ඇසුරේ පිරිවණෙන් නව ශාස්ත්‍රීය ආලෝකයක් ලබා උසස් පෙළද සමත් වීමට මේ අපූරු මිනිසාට හැකිවූයේ විවිධාකාර වූ අභියෝග රැසක් හමුවේය.
බාලයේ පටන්ම පැවති සිනමා රසිකත්වය සංගීතය කෙරෙහි නවරත්න ගමගේ ආශක්ත වීමට හේතු වූ බව ඔහුගේ අතීත පුවත විමසා බලන විට පැහැදිලි වේ. ඔහු වරෙක පවසා තිබූ පරිද්දෙන් සංස්කෘතික උත්සව, චිත්‍රපට, කෙටි චිත්‍රපට, සර්කස් නැරඹීම සඳහා මුදල් සොයා ගැනීමට ඔහු ඇතුළු මිතුරන් විටෙක බෝතල් පත්තර පවා විකුණා තිබිණි. කෙසේ වෙතත් එවක නවරත්න ගමගේ නැරඹූ සෑම විචිත්රාංගයකම වූ සංගීතය ඔහු මනස වඩ වඩාත් තදින් ග්‍රහණය කරගත් බව පෙනී යයි.
බාලයේ පටන්ම සංගීතය සම්බන්ධයෙන් යම් යම් හැකියාවන් ප්‍රකට කළද නවරත්න ගමගේ කලා ප්‍රවේශය වෙනස්ම අයුරකින් සිදුවූවකි. උසස් පෙළින් පසුව මේ අපූරු නිර්මාණවේදියා තෝරාගෙන තිබුණේ, කොමර්ෂල් ඉංජිනේරු ආයතනයේ රුකියාවකි. රුකියාව තරමක් වෙනස් වුවද නිතර කලා රසයට පෙම් බැඳි මේ අපූරු මිනිසා කොළඹ මහජන පුස්තකාලය, කලා භවන, ජෝන් ද සිල්වා සමරු රඟහල වැනි ස්ථාන ඇසුරේ සිය ජීවන වෘතාන්තය වෙනස් ලෙස ලියා තැබීම මේ වන විටත් අරඹා තිබුණි.
මේ අපූරු නිර්මාණවේදියාගේ ඉතිහාසය සැලකීමේදී කොළඹ කාන්තා විද්‍යාලයේ පැවති ප්‍රේමසිරි කේමදාසයන්ගේ "මගේ කාලේ මවුනි" නමැති සංගීතමය ප්‍රසංගය නැරඹීමට යෑම නවරත්න ගමගේගේ සංගීත දිවියේ කඩඉමක් වූ බව කියැවේ. එහිදී හමුවූ පැරණි මිතුරෙකු මාර්ගයෙන් කේමදාස මාස්ටර්ගේ මරදානෙ සංගීත මන්ජරිය වෙත යෑමට නවරත්න ගමගේ තරුණායට අවකාශය උදා විය.
මෙහිදී හඳුනාගත් උපාලි මෙන්ඩිස්ගෙන් සංගීතය ඉගෙන, තව කිහිප දෙනකු එකතු කර ගනිමින් ''සුපර් ෆ්‍රෙන්ඩ්'' නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට නවරත්න ගමගේ කටයුතු කළේය. එහෙත් එම වෑයම එතරම් සාර්ථක එකක් නොවීය. කලක් ඇවෑමෙන් නාවලපිටයේ වත්තකින් මිලදී ගත් සර්පිනාවක් මිතුරෙකුගේ නිවසේ දිරාපත් වෙමින් පැවතුණි. මෙය නවරත්න ගමගේ තුළ කම්පනයක් ඇති කළ සිදුවීමක් විය.
සර්පිනාව නැවත රුගෙන ගොස් අලුත්වැඩියා කළ නවරත්න ගමගේ සිය සංගීත ජීවිතයේද අලුත්වැඩියාවක් සිදුකර ගන්නට කටයුතු කළේ රසික අප සැමගේ වාසනාවටමය. බී. වික්ටර් පෙරේරා ගුරුතුමා වෙත ගොස් ශාස්ත්‍රීය සංගීතය, රාගධාරී සංගීතය ඉගෙනගත් නවරත්න ගමගේ විශාරද විභාගයද සමත් විය. එයින්ද නොනැවතුණු මේ රසකාමී තරුණයා ගුවන්විදුලියේ නාඩගම් ගී හි, බී ශ්‍රේණියේ සමාර්ථයක් ලබා ගත්තේය.
මේ අතර වේදිකාවටද ගොඩවූ නවරත්න ගමගේ කෙමෙන් වේදිකා සංගීතය තුළ සිය නම සලකුණු කර ගන්නට සමත් වූයේය. දීප්ති කුමාර ගුණරත්න, සිරිමල් විජේසිංහ, සරච්චන්ද්‍ර වල්පොල යනාදී නාට්‍යවේදීන්ගේ නාට්‍යවලට සංගීතය නිර්මාණය කිරීමෙන් සිය ගමන ඇරඹූ නවරත්න ගමගේ වේදිකා නාට්‍ය කලාවේ පතාක යෝධයන්ගේ සෙවණැල්ලක් බවට පත් විය.
නවරත්න ගමගේ නම් මේ අපූරු නිර්මාණවේදියාගේ දිවි ගමන වෙනස් කළ ඊළඟ සුවිශේෂීම චරිතය ඔහුට මුණගැසුණේ ගුවන්විදුලිය ඇසුරේය. ඔහු නමින් මහාචාර්ය සරච්චන්ද්‍රයෝ වූහ. මහා ඇදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් වරක් කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය පුහුණුවක් නැරඹීමට එන ලෙස නවරත්න ගමගේ හට ඇරයුම් කර තිබුණි.
මෙම දෛවෝපගත නාට්‍ය පුහුණුවේදී නවරත්න ගමගේ හට ගීතයක් ගැයීමට අවස්ථාවක් උදා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස භව කඩතුරාව නාට්‍යයට ඔහුට සම්බන්ධ වීමට ඉඩ ලැබුණි. සරච්චන්ද්‍රයන්ගේ ආභාෂය ලැබීමට මෙලෙස වරම් ලද නවරත්න ගමගේ හට පසුව මනමේ, සිංහබාහු, ලෝමහංස, පේමතෝ ජායතී සෝකෝ ආදී නිර්මාණවලටද සම්බන්ධ වීමට අවකාශය උදා විය.
නවරත්න ගමගේ නම් නිර්මාණවේදියාගේ ජීවිතය වෙනස් කළ තවත් සුවිශේෂීම හමුවීමක් වූයේ නන්දා මාලනියන්ගේ හමුවීමයි. කීර්ති පැස්කුවල් හරහා ඔහුට එම අවස්ථාව උදා විය. එවක අතිශය ජනප්‍රිය වූ සත්‍යයේ ගීතය ප්‍රසංගය සඳහා අත්වැල් ගායනය සැපයීමට අවස්ථාවක් සොයා නන්දා මාලනිය හමුවීමට පැමිණි නවරත්න ගමගේ හට රෝහණ වීරසිංහයන්ගේ තාල රටාව හමුවේ ගැයුමක් ගයා සිය හැකියාව තහවුරු කරන්නට සිදුවිය. එම කඩයිමද ජයගත් මේ අපූරු ශිල්පියා සත්‍යයේ ගීතය ප්‍රසංගයට වාර දෙසීයක පමණ අත්වැල් ගායනයෙන් දායකත්වය සැපයීය. පසු කලෙක නන්දා මාලනී නම් වූ ශ්‍රී ලාංකික සංගීතයේ සලකුණුගත ගායන ශිල්පිනිය උදෙසාද නිර්මාණ බිහි කිරීමට නවරත්න ගමගේ සමත් විය.
ශ්‍රී ලාංකික ගී අම්බරයේ සැලකිය යුතු ගී තරු ප්‍රමාණයක උරුමය මේ වන විට නවරත්න ගමගේ නමින් ලියැවී අවසන්ය.
වේදිකාවේ දැවැන්ත නිර්මාණ අතර සංගීතඥයෙකු ලෙසින් ආර්.ආර්. සමරකෝන්ගේ කපුටුවෝ, ජයලත් මනෝරත්නයන්ගේ ලෝකය තනි යායක්, කනේරු මල් ආදී නිර්මාණ නවරත්න ගමගේ නාමය සමඟ බැඳී පවතී.
ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලී, කඳපොළ කුමාරතුංගගේ අම්මාවරුනේ, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ උප්පලවණ්නා, සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ආදරණීය වස්සානය වැනි ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ සලකුණුගත නිර්මාණ රුසකම සංගීතය ලියැවී ඇත්තේද මේ අද්විතීය නිර්මාණවේදියා නමිනි.
රිදී තිරයෙන් මෙපිට පුංචි තිරයේ විශාල ටෙලි නිර්මාණ ප්‍රමාණයක් වෙනුවෙන් නවරත්න ගමගේ ස්වර රටා නිවමා තිබේ. සුදත් රෝහණගේ ස්වයංජාත, අශෝක හඳගමගේ සින්තටික් සිහින සේම, සඳගලතැන්න, කටුඉඹුල, රෝද හතරේ මනමාලයා ආදී ටෙලිනාට්‍ය නිර්මාණ ඒ අතරින් කිහිපයක් පමණි.
සැබැවින්ම නවරත්න ගමගේ යනු ශ්‍රී ලාංකික සංගීතය විෂයෙහි සලකුණුගත චරිතයක්මය. ඔහු එතෙක් මෙතෙක් ලද ඇගයුම් මෙතෙකැයි කිව නොහැකිය. මෙවන් වූ නිර්මාණවේදියෙකු පිළිබඳ අකුරු පරිච්ඡේද කිහිපයකට සීමා වීම නොවිය යුත්තක් බව අපගේ හැඟුමයි. ඒ නිසාවෙන්ම නුදුරේ ඔබ හමුවේ එළි දකින "නවාගේ ගී" නවරත්න ගමගේ නම් නිර්මාණවේදියා පිළිබඳ ලියැවුණු කියැවුණු බොහෝ දෑ එළි කරනු ඇත. සැබැවින්ම එය ඔහුට ගෞරවයකි.
I චමිඳු නිසල්