දුක ශෝකය හිත හංගා, බලපං මචෝ මේ කතාව. ආතල් නම් සුංගා බුංගා. ඔන්න ගෙනාවා වස්තුලාට අමුතුම කතාවක්. මේක කියවලා ඔයාලා නිකම් ඩාම් ඩූම් වෙන්න ඔට්ටු නෑ. අපිට පුප්පන්නත් එපා. සිරි ලංකන් මළ ගෙවල් ආතල් ගැන තමා අද Y Trend එක.
සුදෝ පහුගිය අවුරුදු 15 - 20 ඇතුළේ ලංකාවේ අවමංගල්‍ය උත්සව සංස්කෘතියට පට්ට Trend ටිකක් සෙට්වෙලා තියෙනවා. හැබැයි මචෝ මේ සීන් කෝන් කවුරුත් එළිපිට කතා කරන්නේ නෑ. ඒත් ඉතින්, සීන් එක ප්ලේට් එකේ තියලා ප්ලේට් එක මේසෙ උඩින් තියන්න කල්පනා කළා. ඔන්න ඉතුරු හරිය ඔයාලට බාරයි.
ලංකාවෙත් ඉස්සර අවමංගල්‍ය උත්සවයක් කියලා කියන්නේ ලොකු සංස්කෘතික ආගමික කටයුත්තක්. පස්සේ මචෝ ඔය හැට හැත්තෑව දශකවලින් පස්සේ සමාජය වෙනස් වෙන්න පටන් ගත්තම, නගර ගමේ හැමතැනම මළ ගෙවල් වාණිජකරණය වුණා. මිනීපෙට්ටියට වැඩි වියදමක් දරන එක ලොකු Trend එකක් බවට පත් වුණා. කෑම ගැන විතරක් නෙවෙයි, සමහරු මළ ගෙවල්වල බීම ගැනත් සැලකිලිමත් වෙන්න පටන් ගත්තා. දන්නෙම නැතුව සූදුවටත් හොඳම තැන බවට මළ ගෙවල් පත් වුණා.
ඉතින් ඔන්න ඔහොම විකෘති වෙච්ච අවමංගල්‍ය උත්සව සංස්කෘතියක් තමයි පහුගිය කාලේ අපිට තිබුණේ. හැබැයි මචෝ ඒකත් තවත් අන්ජබජල් වෙලා ගියා අවුරුදු පහක හයක කාලෙදි. අපි මුලින්ම ඒ ආතල් ටික ගලපගමු මචෝ.
ඉස්සර අපි අහලා තිබුණු විදිහට ගායික ගායිකාවන්ගේ, අවමංගල්‍ය උත්සවවලදී සින්දු එහෙම තිබුණා. එහෙම කළේ ඒ අයට ගෞරවයක් පිණිස. ඒත් ඔන්න මෑතක ලංකාවේ තැන් තැන්වල අහන්න දකින්න ලැබෙනවා අමුතුම සීන් එකක්. අවමංගල්‍ය පෙරහරට JBL එකක් හරි මොකක් හරි අටමගලයක් ගෙනල්ලා යාළුවො ටික සින්දු දාගෙන නටනවා. ගොඩක් අලුත් පරම්පරාවේ තරුණයෝ ලස්සනට අවසන් ගමන් ගිය අවස්ථාවලදී තමයි මේ සීන් කෝන් එක දැකගන්න ලැබුණේ.
අප්‍රිකාව පැත්තේ රටවල ඒගොල්ලන්ගේ සංස්කෘතියට අනුව සිද්ධවෙන මේ වගේ දේවල් Viral වුණා. ඒ නිසාමද මන්දා මේ වගේ Y Trend එකක් නිර්මාණය වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඔයාලා සමාජ මාධ්‍යයේ කරක් ගහනවා නම් මේ හා සම්බන්ධ වීඩියෝ කෑලි දැනටමත් දැකලා ඇති.
ඊළඟ සීන් එක තමයි හැමෝම මළ ගෙදර වීඩියෝ කරන්න පටන් ගන්න ආතල් එක. මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මරණෙ උස්සන්න ලෑස්ති වෙද්දි. අනේ මන්දා මචෝ, දැන් මළ ගෙවල්වලත් හතර පස් දෙනෙක් අනිවාර් යෙන්ම දුරකථන කැමරාව On කරගෙන සිද්ධිය වීඩියෝගත කරනවා. අඬන තැවෙන දේවලුත් මෙයාලා වීඩියෝ කරනවා. හැබැයි ඉතින් මචෝ දුරකථනයේ ඉඩ මදි වුණාට පස්සේ ගොඩක් වීඩියෝ delete කරලා දානවා. Social media දාපුවා viral යනවා.
පහුගිය කාලේ අපි දැක්ක අමුතුම සීන් එකක් තමයි මළගෙදර Tik Tok සීන් එක. ඒකත් ටිකක් රුල්ලක් වගේ නැගලා ගියා. කොල්ලෝ විතරක් නෙවෙයි, කෙල්ලොත් මේ සීන් එකට සෙට්වෙලා හිටියේ. බහුතරයක් දෙනා මේක විකාරයක් විදිහට දැකලා දොස් කිව්වත්, තාමත් සීන් කෝන් එක එහෙමම සිද්ධ වෙනවා. ඇත්තටම මචෝ දැන් මළ ගෙවල් කියන්නෙත් viral ආතල් එකක්.
ඊළඟට මේ සීන් එකට අදාළ තවත් ආතල් එකක් තමයි යතුරුපැදිවලින් වැඩකිඩ දාන අවමංගල්‍ය පෙරහර සංස්කෘතිය. ගොඩක් වෙලාවට ඔය බයික් පිස්සුව තියෙන තරුණයන්ගේ අවමංගල්‍ය උත්සවවලදි තමයි මේ සීන් කෝන් එක දැකගන්න ලැබෙන්නෙ. යාළුවා බයික් එකක ගිහිල්ලා හැප්පිලා මැරුණත් අනිත් යාළුවන්ට අදාළ නෑ. එයාලා උපහාර දක්වන්නේ අවමංගල්‍ය පෙරහරත් එක්ක ගිහිල්ලා තමන්ගේ බයික්වලින් වැඩකිඩ දාලා. ඔන්න පහුගිය දවස්වල මළ ගෙවල් කිහිපයකම මේ පිස්සුව හින්දා පොඩි පොඩි ප්‍රශ්නත් ඇතිවෙලා තිබුණා.
තවත් ආතල් එකක් තමයි අලුත් විදිහට සොහොන සරසන එක. කොහොමත් ලංකාවේ පහුගිය කාලෙ මළ ගෙවල් සංස්කෘතිය නිර්මාණය වෙච්ච විදිහට, වළ කැපීම, චිතකය සකස් කිරීම, සොහොන සැරසීම ලොකු කොටසක් බවට පත්වෙලා තිබුණා. දැන් ඒකෙ අලුත්ම version එක එළියට ඇවිල්ලා තියෙනවා. එක එක විදිහට Art දාලා සොහොන සරසන්න කරන්න අපේ කට්ටිය කටයුතු කරමින් ඉන්නවා. සුදාලා දකින්න ඇති පහුගිය කාලේ ක්‍රිකට් පිච් එකක් වගේ හදපු සොහොන් එහෙම සෑහෙන්න තිබුණා. කොහොම වුණත් මේක නම් අහිංසක ආතල් එකක්.
මේ වගේ තරුණ පරපුර විසින් එකතු කරපු මළ ගෙවල් ආතල්වලට අමතරව, සාම්ප්‍රදායික අවමංගල්‍ය උත්සව වටා තිබුණු සංස්කෘතියේ සිද්ධ වෙච්ච වෙනස්කම් ගොඩකුත් තියෙනවා. බුෆේ කෑම, කේටරින් සර්විස්, නැතුවම බැරි නෙස්කැෆේ ඒ අතරින් කිහිපයක් විතරයි.
මීට අමතරව මළ ගෙවල් අතර පවතින තරගකාරීත්වයක් මේ වෙනකොට ගම්වල වගේම අර්ධ නාගරික පරිසරවලත් දකින්න ලැබෙනවා. ණය වෙලා හරි මළ ගෙදර හොඳට කරන්න ඕනෑ කියලා අදහසක දැන් ගොඩක් දෙනෙක් ඉන්නෙ. කෑම බීමවල ඉඳලා හැමදේම සුපිරියට පිළිවෙළට ගිනි ගින්දරට තියෙන්න ඕනෑ, අපිට බෑ කාටවත් දෙවැනි වෙන්න. දෙමව්පියෝ නැතිවුණාම සමහරක් දරුවෝ හිතන්නේ අන්න එහෙම.
ඉස්සර නම් බහුතරයක් මළ ගෙවල්වලට කෑම සකස් කරලා ලබා දුන්නේ අසල්වැසියෝ. දැන් අසල්වැසියෝ ඔක්කොම කෑම කන්නෙත් මළ ගෙදරින්. ඒ වගේම මළ ගෙදර සාමාජිකයන්ගේ රාජකාරි කරන ස්ථානවලින් එන පිරිසට අනිවාර් යෙන්ම කෑම ටික දෙන්න ඕනෑ. ඒක මේ වෙනකොට අංක එකේ යුතුකමක් වෙලා තියෙන්නේ. ගොඩක් කාර්යාලවල අය කෑම වෙලාවටම තමයි මළ ගෙදරටත් යන්නේ. ඒක මචෝ වෙනම කතාවක්.
රාත්‍රියේ නිදි මැරීම, නැත්නම් 'නයිටක් ගහනවා' කියලා කියන සීන් එක අද ඊයෙක පටන් ගත්ත එකක් නම් නෙවෙයි. හැබැයි ඒකත් දැන් Modern විදිහට වෙනස් වෙන්න පටන් අරන් තියෙනවා. ලංකාවේ අතිශය බහුතරයක් මළ ගෙවල්වල රූට බෝතල් කිහිපයක් හිස් වෙනවා. සමහරක් වෙලාවට ඒක සිද්ධ වෙනවා මළ ගෙදර අයිතිකාරයන්ගේ අනුග්‍රහයෙන්ම. නැත්නම් එකතුවෙන යාළු මිත්‍රයෝ, ඥාතීන් හෙමින් සීරුවේ වැඩේ කර ගන්නවා.
මීට අවුරුදු දහයකට කලින් නම් සාමාන්‍යයෙන් මළ ගෙදරක රෑට සිගරට් ලබා දීම අනිවාර්ය අංගයක් වෙලා තිබුණා. ඒත් පස්සේ කාලෙක සමහරු ඒ වැඩේ අතහැරියා. තවත් සමහරු වැඩේ තව ටිකක් ඉස්සරහට අරගෙන ගියා. සංචාරක කර්මාන්තය යහමින් තියෙන පළාත්වල වගේම ආතල් වැඩි නගරබද ප්‍රදේශවලත් සිගරට්වලට අමතරව දැන් කංසා කූරක් දෙකකුත් රාත්‍රී නිදි මරණ අය වෙනුවෙන් පිරිනැමෙනවා. ඒකත් ඉතින් මචෝ අලුත් සම්ප්රදායක්.
මේ අතර කියන්න ඕනෑ තවත් සීන් එකක් තියෙනවා. මළ ගෙවල්වල තත්ත්වය මත සමාජ තරාතිරම මනින පිරිසකුත් දැන් සමාජයේ නිර්මාණය වෙලා ඉන්නෙ. ඒ අය අඩුපාඩු බලන්න, ගුණ අගුණ කියන්න ආරාධනයකින් තොරවම ඉදිරිපත් වෙනවා. සමහර දේවල්වලින් අපි Modern වගේ වුණාට, මේ වගේ ගෝත්‍රික සමාජ ආකල්ප එක්ක අපි ඉන්නෙ ගල් යුගයේ මචෝ.
දැන් අපේ සූදාලට තේරෙන්න ඕනෑ දැන් අපි ජීවත් වෙන්නේ මැරුණත් ආතල්ම රටේ කියලා. රටටම දෙල් වුණත් මේ රටේ ආතල් නම් ඉවර වෙන්නේ නෑ. මේ දේවල් හරිය, මේවා පට්ට ආතල් සුපිරි, මේවා කරන්නම ඕනෑ කියලා අපි අනුමත කරන්නේ නම් නෑ. ඒ වගේම අඩෝ ඕවා නතර කරපන්, ඕවා කැත වැඩ තොපි සංස්කෘතිය විනාශ කරනවා කියලා අපි කෑ මොර දෙන්න යන්නෙත් නෑ.
මොකද මචෝ ලෝකෙ හොඳ විදිහට වගේම නරක විදියටත් දිගින් දිගටම වෙනස් වෙමින් තමා තියෙන්නේ. වෙනස් වෙන එක නතර කරන්න කාටවත් බෑ. ඕනෑ නම් අපිට පුළුවන් තනි තනිවම වෙනස් වෙන්න. එච්චරයි.
I චමිඳු