2024 මැයි 04 වන සෙනසුරාදා

ආහ්... පුදුම රහක් ඈ... එහෙමත් හිතුණාද මන්දා...

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 79

පහුගිය දවසක ඇවිදිනවා දැකපු අපේ අපූරු කසකස්ථාන් යුවලට ඔන්න ශ්‍රී ලාංකික පවුලක් අපූරු සත්කාරයක් ලබා දීලා. ශ්‍රී ලංකාවේ සංචාරය නිසා අපේ අය අතර හොඳ ජනප්‍රියත්වයක් දැනටමත් මේ අය ලබලා ඉන්නේ. අපිත් මේ අය ගැන දිගින් දිගටම ඔබත් එක්ක තොරතුරු බෙදා ගත්තා. දැන් බල්නූර්ගෙ සංචාරයේ අවසාන දවස් කිහිපය ගත වෙන්නෙ.

“අපිට ටිකක් සමාවෙන්න අපි පරක්කු වුණා. ඔබගේ ආරාධනාවට ස්තූතියි."

එහෙම කියාගෙන තමයි බල්නූර් සහ එයාගේ මිත්‍රයා සෙව්වන්දිගේ නිවසට ගොඩවුණේ. මෙයාලට ආරාධනා කරලා තිබුණේ අපූරු ශ්‍රී ලාංකික පවුලක්. 

පහුගිය දවස්වල නුවරඑළියේ තිබුණු ලංකාවේ මංගල උත්සවයකටත් සහභාගිවුණු මේගොල්ලෝ, සෑහෙන්න කාලයක් ලංකාවේ රුඳී හිටපු නිසා දැන් ලංකාවේ වචනත් ගොඩක් පාඩම්.

“බොහොම ස්තූතියි, කොහොමද? හොඳයි"

සිංහලෙන්ම මේ වචන කියාගෙන මේගොල්ලෝ මේ නිවසට ඇතුළු වුණා.

අන්තර්ජාලයෙන් දැකලා තමා සෙව්වන්දි මේ අයට ආරාධනා කරලා තිබුණේ. මේ ආරාධනාවට මේගොල්ලෝ ගොඩ වුණේ හිස් අතින් නෙවෙයි. බල්නූර් කසකස්ථානෙ විදියට ඇඳුමකින් තමා සැරසිලා ආවේ. තෑග්ගකුත් අරගෙන ඇවිල්ලා තිබුණා. 
“අපි පුංචි තෑග්ගක් අරගෙන ආවා. තව සතියකින් විතර ලංකාවෙන් අපි පිටත් වෙන්න ඉන්නේ."

එහෙම කියලම ඒගොල්ලෝ අපේ ලංකාවේ පවුලේ කට්ටියත් එක්ක කතාවට වැටුණා.

පහුගිය දවස්වල ලංකාව පුරා සංචාරයේ යෙදුණු  බල්නූර් ඇතුළු පිරිස අපූරු අත්දැකීම් රුසක් ලබා තිබුණා. ඒ අත්දැකීම් ගැනත් මෙයාලා තොරතුරු බෙදා ගත්තා. අපි පුළුවන් වෙලාවට විටින් විට මේ අපූරු යුවල ගැන තොරතුරු ඔබට අරගෙන ආවා මතක ඇති.

“මෙන්න තියෙනවා ආස්මී"

ශ්‍රී ලාංකික පන්නයේ සංග්‍රහය ඇරඹුණේ අවුරුදු කැවිලි වර්ගවලින්. 

“මේවා හරියට ඉඳිආප්ප හදලා වගේ" 

ලංකාවේ තවත් මිත්‍රයෙකුගේ ගෙදරකින් ඉඳිආප්ප කාලා තිබුණු නිසා ආස්මී දැක්කම මතක් වුණේ මෙයාලට ඉඳිආප්ප. කොහොම හරි අපේ කට්ටිය මෙයාලට මේවායේ වෙනස්කම් හොඳට පැහැදිලි කරලා දුන්නා.
තවත් අවුරුදු කැවිලි වර්ග ගොඩක් මෙයාලට රස බලන්න අපේ අය ලබා දුන්නා.

“ඇත්තටම මේවා හරිම රහයි. ඔයාලද හැදුවේ?" 

අපේ නිවෙස්වලම මේවා හැදුවා කියලා දැනගත්තට පස්සේ මේ අය පුදුමයෙන් පුදුමයට පත්වුණා. බල්නූර් තමන්ගේ මිත්‍රයත් එක්ක අපේ කැවිලි වර්ගවල හොඳට රස බැලුවා. ඒක මෙයාලට අපූරු අත්දැකීමක් වුණා.
ඊළඟට මෙයාලා ගොඩක් කතාබහ කළා. පවුලෙ කට්ටිය හඳුනා ගත්තා. ආ ගිය තොරතුරුත් එක්ක මේක කතා සාගරයක් වුණා. අපේ රටේ ආගන්තුක සත්කාරය ගැන ලෝකෙට ගියේ බොහොම වටිනා පණිවිඩයක්.
මෙයාලා වෙනුවෙන් ආහාර වේලකුත් සංවිධානය කරලා තිබුණා.

“එන්න අපි කෑම කමු" 

සෙව්වන්දි ඇතුළු පවුලේ අය බල්නූර්ලාට රසවත් ආහාර වේලක් භුක්ති විඳින්න කතා කළා.

“මේවායේ සුවඳින්ම තේරෙනවා රස. ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක මේ ආහාර වේල භුක්ති විඳින්න."

මේසයේ කහ බත් එක්ක ආහාර ගොඩක් හදලා තිබුණා. ඒත් කෑම පිඟන් දෙකයි මේසෙ උඩ තිබුණේ. 

“ශ්‍රී ලාංකික බොහෝ සාමාන්‍ය නිවාසවල අමුත්තන්ට ආහාර පිළිගන්වන්නේ මෙහෙම. අපි ගෞරවය කියලා හිතන්නෙ වෙනම ආහාර පිළිගන්වන එක.'' 
"ඒත් යුරෝපා කරේ අය එකට ඉඳගෙන කෑම කන්න තමා කැමති."
“හරි මාත් එන්නම්"

එහෙම කියලා පවුලේ ඔක්කොම සාමාජිකයෝ නැතත් සෙව්වන්දි එකතු වුණා මේ කෑම වේලට. හැබැයි හැමෝම එකතුවෙලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ අයට සත්කාර කළා. 

“මට කියලා දෙන්න මේ ආහාර ගැන."

මේ ආහාර ගැන සෙව්වන්දි තමන් දන්න තරමින් කියලා දුන්නා.

“අපේ අම්මට පුළුවන් ඔයාට උයන්න කියලා දෙන්න ලංකාවෙ කෑම."
“කසකස්ථානයේ ලංකාවේ භාවිත කරන ද්‍රව්‍ය නම් නෑ. ඒත් මම කැමතියි ඉගෙන ගන්න."

මෙහෙම කතාබහවලින් පස්සේ මේගොල්ලෝ රසවත් කෑම වේලක් භුක්ති විඳින්න පටන් ගත්තා. මේ කෑම වේලේ රස ගැන මේගොල්ලෝ ඉහළින්ම අගය කළා.

මේ අපූරු සත්කාරය අවසානයේ මේ සංචාරකයන්ට මතක හිටින සිහිවටනයක් පිරිනමන්නත් අපේ අය අමතක කළේ නෑ. මේ සත්කාරය ගැන මේ මේ සංචාරක යුවල බොහොම ඉහළින් අගය කළා. මේ වීඩියෝවත් ලෝකෙට ලංකාව ගැන බොහොම අපූරු පණිවිඩයක් අරගෙන ගියා. 

ලංකාව පිළිබඳ පහුගිය දවස්වල අයහපත් ප්‍රතිචාර දැක්වූ වීඩියෝත් එක්ක මේ වීඩියෝව බොහොම සුවිශේෂී එකක් බව සඳහන් කරන්න ඕනෑ. ඇත්තටම මේ විදිහට සංචාරකයන්ට සත්කාර කරනවා නම් ලංකාවට ලෝකෙ වටේම සංචාරකයන් ආකර්ෂණය වීම නිරන්තරයෙන්ම සිදුවේවි.

I චමිඳු