2024 මැයි 11 වන සෙනසුරාදා

තේ වතු ෆයිනස් කැලෑ උඩින් දවුද් සහෝ රජ ගමනක...

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

ශ්‍රී ලංකාවට පෙමින් බැඳුණු ප්‍රසිද්ධ අසර්බයිජානුවා දවුද් අකුන්සදහ මේ දවස්වල නැවතත් ලංකාවේ සංචාරයක යෙදෙනවා. මෑත යුගයේ ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වුණු Travelers ලා අතර ප්‍රමුඛස්ථානයක් දවුද්ට හිමිවන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

රැකියාව අතහැරලා Travel කරන්න පටන් ගත්ත මේ අපූරු චරිතය සිය වෘත්තීය ජීවිතය සාර්ථක කර ගන්නේ ශ්‍රී ලංකා සංචාරය නිසා. ඒ නිසාම ඔහු ශ්‍රී ලංකාවට පුදුමාකාර විදියට ආදරය කරන්න පටන් ගත්තා. අපේ රට වෙනුවෙන් සුබසාධන ව්‍යාපෘති පවා මේ අපූරු සංචාරකයා විසින් නිර්මාණය කළා. ලෝකේ කොහේ ගියත් නිතර නිතර ලංකාවට එන එක දැන් දවුද්ගෙ පුරුද්දක්. ඔහුට අපේ රට ඔහුගේම රට වගේ දැනෙන බව ඔහු නිතර කියනවා.

“මේක මම ශ්‍රී ලංකාවට ආපු පස්වැනි වතාව. හැමදාම නුවරඑළිය පහුකරගෙන ගියාට මම නුවරඑළියේ නතර වුණේ නැහැ. මේක තමයි මගේ පළවෙනි චාන්ස් එක."

මේ පාර ලංකාවට ආපු දවුද් නුවරඑළියේ නවාතැන් ගත්තා. හෝටලයේ තත්ත්වය එහෙම පැහැදිලි කරලා හෝටලේ අයත් එක්කත් විස්තර කතා කරමින් සුපුරුදු ළෙන්ගතුකම පාන්න මේ අපූරු සංචාරකයා අමතක කළේ නෑ.

කොහොම හරි හෝටලේ කටයුතු අවසානයේ සුපුරුදු විදිහට ස්කූටරයකින්ම ගමන පටන් ගත්තා.

“මම ඉන්නේ මධ්‍යයේ. ග්‍රෙගරි වැව ළඟ. හෙළිකොප්ටර් සංචාරයක අත්දැකීම විඳින්න සූදානමින්." 

දවුද් වෙනදා නොකරපු අපූරු වැඩකට අතගහන්න හිතාගෙන ග්‍රෙගරි වැව ළඟ තියෙන සංචාරයක් යන්න එතැනට ආවා.

“කොහොමද ඔබට?"

කියලා ඉංග්‍රීසියෙන් කියාගෙන දවුද් ඉස්සරහට ආවේ මේ ගමන සඳහා පිරිස එකතු කරන මඟපෙන්වන්නා.

“මම හොඳින් ඉන්නවා"

පස් වතාවක්ම ශ්‍රී ලංකාව වටේ කරක් ගහලා සිංහල වචන ටිකක් ඉගෙන ගත්ත සිංහලෙන්ම පිළිතුරු දුන්නා.

ඉංග්‍රීසි එක්කම සිංහල වචන කෑලි දෙකක් විතර දාලා තමයි මෙයා කතාව පටන් ගත්තේ. ඒක දවුද් අලුත් ශ්‍රී ලාංකිකයෙක්ව හඳුනා ගන්න යොදන පුංචි උපායක්. කොහොම හරි මේ මඟපෙන්වන්නා පැහැදිලි කරන්න පටන් ගත්තා මේ ගමන පිළිබඳව.

“කීයක් අය කරනවද එක්කෙනෙක්ගෙන්?"

“ඩොලර් සීයක්"

කොහොම හරි මේ ගමනට හය දෙනෙක්ට එකතු වෙන්න පුළුවන් කියලා ශ්‍රී ලාංකිකයා දවුද්ට පැහැදිලි කරන ගමන් හෙළිකොප්ටර් එක තියෙන තැනට අපේ මිත්‍රයාව එක්කගෙන ගියා.

“මම කලින් වතාවක ගමන් කළා හතර දෙනෙක්ට යන්න පුළුවන් හෙළිකොප්ටර් එකක. මේකෙ හය දෙනෙක්ට යන්න පුළුවන්. වාව්.. මේක හමුදා හෙළිකොප්ටර් එකක් වගේ."

කොහොම වුණත් මේ සංචාරය යන්න හය දෙනෙක් ඕනෑ. ඒ වෙනකොට හිටියේ තුන්දෙනයි. ඒ නිසාම තව දෙන්නෙක් එකතු කරගන්න කල් ටිකක් රුඳී සිටින්න සිද්ධ වුණා. විනාඩි විස්සක් විතර ඉන්න කියලා තමයි එතැන අය කිව්වේ.

“ඔයාට පොරොන්දු වෙන්න පුළුවන්ද මට ඉස්සරහ පෙළේ ආසනයක් ලබා දෙන්න. මොකද, මම ශරීරයෙන් ලොකු මිනිහෙක්."

එහෙම කියලා දවුද් ටික වෙලාවක් කාලය ගත්තා. ඔන්න හැමදාමත් වගේ ලංකාවෙ මිනිස්සු ගැන ආදරේ හිතෙන තවත් දෙයක් දවුද්ට සිද්ධවෙලා. දවල්ට කෑම ගන්න තැනක් ඇහුවට පස්සේ, මෙතැන හිටපු 'ස්ටාෆ්' එකේ අය දවුද්ට කෑම දීලා. ඒ කෑම නම් කඳුළු පනින තරමට සැරයිලු. ඒත් රසයිලු. කොහොම වුණත් ඒ කෑමවලට මුදල් ගෙවන්න දවුද් සූදානම් වුණාම අපේ අය ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ කතාව ලෝකෙටම කිව්ව අපේ මිත්‍රයා මෙතැන හිටපු අසේල කියලා කෙනෙක්ගෙන් ගමන සහ ආයතනය පිළිබඳ පැහැදිලි කර ගත්තා.

මේ ගමනට එකතුවෙලා හිටපු අනිත් අය ශ්‍රී ලාංකික පවුලක්. ඒගොල්ලෝ කොළඹ ඉඳන් තමයි ඇවිල්ලා හිටියේ. 

“ඒ අය බොහොම හිතවත්. මම එයාලගෙන් අවසර ගත්තා මුළු ගමනම වීඩියෝ කරන්න."

එහෙම කියල නියමුවා ළඟ ඉදිරි ආසන පෙළේ ආසන දෙකක්ම තමන්ට වෙන් කරගත්ත අපේ දවූද් ගමන ආරම්භ කළා. හෙමිහිට හෙළිකොප්ටරය ගුවන්ගත වෙද්දි නුවරඑළිය නගරයේ ලස්සන දසුන් අපිටත් දැකගන්න පුළුවන් වුණා.

“මේ තියෙන්නේ නුවරඑළියේ උසම ස්ථානය."
“අන්න තියෙනවා දියඇල්ලක්."

සැරින් සැරේ මේ වගේ දේවල් පෙන්නමින් බොහොම අපූරුවට විනෝද වෙන්න දවුද් ඇතුළු පිරිසට පුළුවන් වුණා.

නුවරඑළිය නගරයේ අපූරු ගොඩනැගිලි, ඈත කඳු පන්ති,  කඳුකර මංමාවත්, තේ වතු, ෆයිනස් කැලෑ ආදී සොඳුරු දසුන් කුරුළු ඇහැකින් දකින්න දවුද්ට පුළුවන් වුණා. ඇත්තෙන්ම ඒක ඔහුට හරි චමත්කාරජනක අත්දැකීමක්.

ග්‍රෙගරි වැවට සමාන්තරව පියාසර කරපු යානය නැවතත් හිමින් සැරේ ගොඩ බැස්සුවා.

“අපි 'හෙඩ්සෙට්' පැළඳගෙන හිටපු නැති නිසා ශබ්දය වැඩියි. ඒ නිසා කතා කරන්න අමාරු වුණා. ඇත්තෙන්ම ඒක ඉතාම සුන්දර අත්දැකීමක්. මිල කළ නොහැකි අත්දැකීමක්."

මෙතැන හිටපු හැමෝටම ස්තූති කරලා සමුගත්ත දවුද්, නුවරඑළියෙ සංචාරයක් නැවත පටන් ගත්තා. මේ සංචාරයේදීත් අපූරු දේවල් සිද්ධ වුණා. මේ වතාවෙදීත් මේ අපූරු සංචාරකයාගේ තොරතුරු ඉඳහිට අපි ඔබට කියන්න සූදානම්.

I නිසල්