ජීවිත මහපොත කියන්නේ මගේම යාළුවෙක්ගේ කතාවක්
Q සිසිර අලුත් ගීතයක් එළිදැක්වුවා. අපි මුලින්ම ඒ ගැන කතා කරමු?
ඔව්... පසුගිය සතියේ අලුත් ගීතය වන "ජීවිත මහ පොත" ගීතය එළිදැක්වුවා. මේ ගීතය පද රචනා කළේ නිලාර් එන් කාසිම්. සංගීතවත් කළේ මහින්ද බණ්ඩාර. මේක යුග ගායනාවක්. ධම්මිකා වල්පොළ මහත්මිය සමඟ මම ගායනා කළා.
Q “ජීවිත මහ පොත" නිර්මාණය වුණේ කොහොමද?
“ජීවිත මහ පොත" කියන්නේ මගේ යාළුවෙක්ගේ අත්දැකීමක් එක්ක ලියවුණු ගීතයක්. එයාට තරුණ කාලයේදී ප්‍රේම සම්බන්ධයක් තිබිලා පසුව විදෙස්ගත වෙලා තියෙනවා. අද වෙද්දි ඒ දෙන්නම විවාහ වෙලා නැහැ. නමුත් අද වෙද්දි ඒ දෙන්නම උසස් තැනක ඉන්නවා. ඔහු වෙනත් රටක ගුවන් නියමුවෙක් ලෙස සේවය කරනවා. ඇයත් හොඳ ජීවිතයක් ගත කරනවා. හැබැයි තනිකඩ ජීවිත ගත කරන ඒ දෙන්නටම ඒ අඩුව ජීවිතේ තියෙනවා. ඒ සිදුවීම අපි නිලාර්ට කිව්වා. ඔහු හරි අපූරු පද රචනාවක් කළා. එය රූප රචනාවක් ලෙස ශානි අංජලිකා අධ්‍යක්ෂණය කළා. ප්‍රියන්ත මාලවිගේ එය කැමරාකරණය කළා. මහින්ද බණ්ඩාරගේ හරි අපූරු සංගීතයෙන් හැඩවුණු මෙය අවසානයේදී ලස්සන ගීතයක් වුණා.
Q මේ ඔබගේ කීවෙනි ගීතයද?
මම ගීත ගණනාවක්ම කරලා තියෙනවා. මට හිතෙන විදිහට ගීත පහළොවක් පමණ කරලා තියෙනවා. හැබැයි ඒ ගීත මම නාලිකාවලට ලබා දීලා නැහැ. ඒ අතරින් මීට වසර ගණනාවකට පෙර නිරෝෂා විරාජිනීගේ "සීගිරි ගීයක්" නම් සී.ඩී. පටයට "මල් නටුවේ කටු" ගීතය ඇයත් සමඟ යුග ගායනා කළා. ඒ වගේම "දෙරණ දෙරණ අපි" නමින් සුනාමිය අළලා තවත් ගීතයක් කළා. ඒ හැර අනිත් ගීත සියල්ලම මේ විදියට රූප රචනා කරමින් එළි දක්වන්න ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Q ගීත නිර්මාණ දහයකටත් අධික ගණනාවක් තියෙද්දිත් ඒ ගීත එළි දක්වන්න සිසිර ප්‍රමාද වෙන්නේ ඇයි?
මම නියැළිලා ඉන්න අනිත් වැඩ කටයුතුත් එක්ක මට මේ දේවල් ප්‍රමාද වෙන්න ඇති. ගීත නිර්මාණ කටයුතු නිදහසේ කරගන්න ඕනෑ කියලයි මම හිතන්නේ. මම තව ගීත දෙකක් වෙනුවෙන් මේ දවස්වල සූදානමින් ඉන්නවා. එයින් එකක් "ඩෙනිම් "ගැනයි. අපි විලාසිතා ක්ෂේත්රයේ ඉන්න නිසා ඒ ගීතයයි ඊළඟට කරන්න හිතාගෙන ඉන්නේ. ඒ වගේම නදීක ගුරුගේ සංගීතවත් කළ තවත් ලස්සන ගීතයක් තියෙනවා. ඒකත් අපි අවුරුදු ගණනාවක් තිස්සේ කතා කරමින් හිටපු ගීතයක්. ඒක ආදරය තවරපු දේශපාලනික ගීතයක්. ඒ ගීතයත් ඉදිරි ඉදිරියේදී මේ විදිහටම එළිදකීවි.
Q සිසිර අමරබන්දු කියන්නේ ගායකයෙක් වගේම ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්?
ඔව්... අපි ආයතනයක් විදිහට "Classic Pintharu” 1999 වසරේදී “Classic Pintharu” නමින් පටන් ගත්තා. අපි අද වෙද්දී පැති ගණනාවකින් ඇඳුම් නිර්මාණයේ නියැලෙනවා. මංගල ඇඳුම් වගේම පෞරුෂය පෙන්නන ඇඳුම් නිර්මාණයේත් නියැලෙනවා. ඒ අනුව අමරදේව මාස්ටර්ගේ, වික්ටර් රත්නායක මහත්මයාගේ, ජනාධිපති ආර්යාවන්ගේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනියගේ සිට විශේෂ චරිත වගේම “සිය ශක්ති" වැනි සංගීත කණ්ඩායම් වගේම විවිධ ජනප්‍රිය පුද්ගලයන්ට ගැලපෙන ඇඳුම් අපි නිර්මාණය කළා. සමහර ජනාධිපති ආර්යාවන් නිදහස් දවසට අඳින ඇඳුම අතට ලැබෙන තුරු ඒ ඇඳුම ගැන ඒ අය දැන සිටියේ නැහැ. ඒ වගේම එවැනි විශේෂ අයට වගේම ජනප්‍රිය කලාකරුවන්ට කලාකාරියන්ට අද දක්වා අපි ඇඳුම් නිර්මාණ ශිල්පය කරගෙන යනවා.
Q ඇඳුම් නිර්මාණ ක්ෂේත්රයට අද වෙද්දී බොහෝ දෙනා සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මීට වසර කිහිපයකට පෙර ඒ ක්ෂේත්රයේ නියැලී හිටියේ සිසිර අමරබන්දු ඇතුළු අතළොස්සක් පමණයි. මෙවැනි ක්ෂේත්රයකට යොමු වෙන්න හේතුව වුණේ මොකක්ද?
ඉස්සර ඇඳුම් නිර්මාණය කියන විෂයක් අහන්න තිබුණේ නැහැ. මෑතකදී අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරිනියක් අපේ ආයතනයට එන අතරතුරේ "මේ අපිට මඟහැරුණු දේවල්" කියලා කියාගෙන ආවා. ඒ වචනවලින් ඇය අදහස් කළේ ඇඳුම් නිර්මාණ ශිල්පය අපේ අධ්‍යාපනයට ඇතුළු කළ යුතු විෂයක් කියලයි. අද වෙද්දි මගේ පුතත් ඇඳුම් නිර්මාණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර උපාධියක් හදාරනවා. අද වෙද්දී මේ ක්ෂේත්රයට විශාල දොරක් ඇරිලා තියෙනවා. හැබැයි එය ප්‍රමිතියකට කළ යුතු තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ලෝකෙ බොහෝ විලාසිතා ක්‍රම තියෙනවා. විෂයක් විදියට ලංකාවෙත් සෑහෙන විදියට මෙය ප්‍රචලිත වෙලා තියෙනවා. අපි ඉස්කෝලෙ යන කාලේ මේ විෂය ඉගෙන ගන්න අපිට අවස්ථාව තිබුණේ නැහැ. අද වෙද්දී මෙය අපේ ජීවිතේ එක් කොටසක් වෙලා ඉවරයි. අපේ හිතට සතුටක් දැනෙන විෂයක ජීවත් වෙන්න ලැබීමත් එක්තරා සතුටක්.
Q බිරිඳ දරුවන් එක්ක ගත කරන ජීවිතේ ගැනත් කියමු?
මගේ බිරිඳ නයනි මහේෂිකා. ඇය අපේ ආයතනයේ විශාල වැඩ කොටසක් කරනවා. ආයතනයේ බතික් කොටස ඇය කරගෙන යනවා. ඊට අමතරව ආයතනයේ බොහෝ වැඩ කටයුතු ඇය සොයා බලනවා. මගේ ලොකු පුතත් ජීවිත මහ පොත වීඩියෝවේ රඟපානවා. ඔහු මෘදුකාංග ඉංජිනේරු අංශයෙන් වැඩිදුරටත් ඉගෙන ගන්නවා. දෙවැනි පුතා විලාසිතා නිර්මාණය සම්බන්ධයෙන් උපාධියක් හදාරනවා.
Q කලක් නයනි මහේෂිකා කියන්නේ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණු, රංගනයට සම්බන්ධ වුණු කලාකාරියක්. ඇය රංගනයෙන් ඈත්වීමට ඔබගේ බලපෑමක් තිබුණද?
නැහැ... අපි විවාහ වෙද්දිත් මම මේ ආයතනය කරගෙන ගියා. එක්තරා නාලිකාවක තිබුණු නිර්මාණයකට ඇඳුම් නිර්මාණ කටයුතු කර කරමින් සිටින අතරතුරේදී තමයි නයනිව මට මුණගැහුණේ. ටික කලකින් මේ ආයතනයේ වැඩත් එක්ක අපි එකතු වුණා. ඒ අතරේ ඇය වෙළෙඳ දැන්වීම්වලට දිගටම සම්බන්ධ වුණා. අදටත් කරනවා. නමුත් දරුවන්ගේ සහ ආයතනයේ වැඩ නිසා නයනි පූර්ණකාලීනව ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. ඉදිරියේදී හොඳ නිර්මාණයකට අවස්ථාව ලැබුණොත් නයනි ආයෙත් සම්බන්ධ වේවි.
I දිශානි ජයමාලි