සීතලයි.. දැනෙන්නම සීතලයි ඒ හැම දවසක්ම.. හැම උදෑසනක්ම...
යායෙන් යායට මිහිදුම...
හදවතේ චිත්‍ර අඳින දවස්...
හිත් ගැලරියේ පින්තූර පින්තාරු කරන දවස්...
එක එක සුවඳින් එක එක පාටින් හැමදාම උදේට මල් පිපෙන දවස්...
ඒත් මට හිතෙනවා එයාට බැරිවෙන්න ඇති ඒ එකම එක දවසක්වත් එකම එක උදෑසනක්වත් නිවී සැනහිල්ලේ ඒ චමත්කාරය විඳින්න... ඒ සීතලට ආදරයෙන් ආමන්ත්‍රණය කරන්න... ඒ මීදුමට හාදු දෙන්න... හදවත් ගැලරියට මතක එකතු කරන්න... මල් නොනෙලා මල් ඉඹින්න... මල් නොනෙලා ඒ මලකට මේ මිහිමත හුස්ම ගන්න ඉඩ හරින්න...
එයා කොහොමද එහෙම කරන්නෙ...
එයා හුස්ම ගන්න නම්...
තව ජීවිත ගණනාවකට හුස්ම දෙන්න නම්... එයා ඒ හැම දෙයක්ම අමතක කරන්න ඕනෑ...
ඒ ඉර ඇහැරෙන්නත් කලියෙන් ඇහැරෙන සෙයිලමෙන් ඈත ජීවිතවලට, සීතල ඒ කෝටු අත පයට ඕනෑවටත් වඩා පුරුදුයි...
පුරුදු දේ දරාගන්න ලේසියි...
ඒ කෝටු අතපය හයියයි... ජිම් ගිහින් පැය ගණන් ජිම් ඇතුළෙ උස්සලා පෙරළිලා හදාගත්ත පිම්බිච්ච මස් ගොබ නැති වුණාට උන්ගේ අත පයේ තියෙන්නේ සොබාදහමේ ජීවන සම්මිශ්‍රණයෙන් උරාගත්තු හයිය... ශක්තිය... මොන පින්නක දිව්වත් උන්ට කිබුහුමක්වත් නොයන්නෙත් ඒකයි.. සෙරෙප්පු දෙකක් පය නොලා කන්දෙන් කන්දට පල්ලමෙන් පල්ලමට කඟවේනෙකුටවත් දුවන්න බැරි දිවිල්ලක් උන් දුවන්නෙ ඒකයි.. සෙරෙප්පු නැති කකුල් ගල්වලට කටුවලට හීරිලා ගියත්, තුවාල වුණත් ඒ තුවාල බෙහෙත් නැතුවම හොඳ වෙලා යනවා... දුප්පත්කම් දෝරෙ ගැලුවත් සොබාදහමේ ආශිර්වාදයෙන් සහජීවනයෙන් උන් හරි පොහොසත්...
ඉස්කෝලෙ යන දවස්වලත් හවසට මල් කඩලා හැතැප්ම ගණන් දුව දුවා මල් විකුණපු දිලිප් අන්තිමේදී ජීවිත ගණනාවක බර දෙවුර දරාගන්න ඉස්කෝලෙ ගමන නතර කළා... එදා ඉඳන් හැම උදේකම අරුණ නැගෙන්නත් ඉස්සර දුවන්නෙ මල් හොයන්න... ලොකු මල් මිටි දෙකක් හදාගෙන නුවරඑළිය විඳින්න එන සංචාරකයන්ට මල් කළඹ පිටින්ම හරි නැත්නම් මලක් මලක් මලක් ගානේ හරි විකුණන එක...
අතු අග පිවිච්ච මලක හුස්ම මලකින් නොඅසාම ඉල්ලා ගන්නේ තවත් හදවත් ගණනාවකට හුස්මක් දෙන්න. මට හිතෙනවා ඒ තරම් ලස්සනට සුවඳව ඒ මල් පිපෙන්නෙම මිනිස්සු වෙනුවෙන්මයි කියලා...
බුදුන් වහන්සේගේ පාමුල පිදෙන්න...
මළගිය උන්ගේ සොහොන් මත රැඳෙන්න...
ආදරවන්තියන්ගේ අත් අස්සේ තුරුල් වෙන්න...
ආදරවන්තියන්ගේ හාදු විඳගන්න...
පොහොසතුන්ගේ ලොකු මල් සාප්පු සරසන්න වගේම, දුප්පතුන්ගේ අත් අස්සේ රුපියල් වෙලා රුඳිලා උන්ට හුස්මක් දෙන්න නෙවෙයිද ගස් අතු මත, මල් නටු මත මල් පිපෙන්නේ.
ඒකමයි සුවඳවත් මලකින් මලකට වෙනස්ම සුවඳක් සොබාදහම සම්මිශ්‍රණය කරන්න ඇත්තේ, අත් දෙකට අරගෙන ඉඹගන්න හිතෙන්නෙම සුවඳවත් දේවල් කියලා දන්න නිසා වෙන්නත් ඇති...
සොබාදහම කියන්නෙ බෝසත් පාරමිතාව පුරන දෙවියන්...
ඒකයි එයාට පුළුවන් නොඉල්ලමින් කිසිවක්ම බොහෝ දේ දන් දෙන්න...
දන්න දවස්වල ඉඳන් දිලිප් හුස්ම ගත්තේ ඒ මල් හින්දා...
දිලිප්ගේ ආච්චිගේ අක්කලාගේ බඩගින්න නිව්වේ ඒ මල්...
නුවරඑළියේ යද්දි ජර්සි දාගෙන, ඉස්කාෆ් දාගෙන, උණුසුම් මේස් සැප පහසු සපත්තු දාගෙන විඳින්න ඕනෑ සීතල නොවිඳ ඒ සීතලෙත් උණුසුම ඉල්ලගෙන යන මිනිස්සු අතරෙ නිරාවරණ දෙපතුලින් ගල් වැලි බොරලු කටු මතින් මල් මිටි දෙකක් අරන් කඳු නගින, පල්ලම් බසින සීතල සීතල හැටියටම විඳගන්න ඒ දෙපතුල් කවදාවත් සීතලම මිසක් උණුසුමක් විඳලා නැතුව ඇති...
එහෙම සැතපුම් ගාණක් දුවගෙන ගියත් නවත්වන්නෙම නැතුව යන බසුත් තියෙනවා..
අහක බලාගෙනම යන සංචාරකයනුත් ඉන්නවා...
අපිට මොකටද මල් කියලා එයාලට හිතෙනවා ඇති... ඒත් බඩගින්න කියන්නෙ එහෙම හිතන අයටත් දිලිප්ලටත් දෙගොල්ලටම දරාගන්න බැරි දෙයක් කියලා එයාලට මල් මොකටද හිතෙද්දි නොහිතෙනවා ඇති.
දවසක් දිලිප් ඒ මල් අරන් ගොඩවුණේ චීන සංචාරකයන් පිරිච්ච බස් එකකට...
ඇත්තටම ජීවිතයේ හමුවෙන සමහර මිනිස්සු හරි ආදරණීයයි...
දිලිප්ගේ දුඹුරු පාට මුහුණ මත දහදිය බිංදු... ඒත් ඒ ඇස් හරි පැහැදිලියි.. හරි අව්‍යාජයි... ජීවිතයම ඉල්ලන හැඟීමකින් ඒ ඇස් දිලිසෙනවා... ඒ මල් පෙතිවල දිස්නය ඒ ඇස් අස්සේ විහිදිලා තිබුණා.. කුඩු නොවිකුණන මල් විකුණන හිතක් කොහොමත් ලස්සන වෙන්න එපැයි... ඒ ලස්සන ඇස් මත සිත්තම් වෙන්නත් එපැයි...
මලකින් ජීවිතය හොයන මල් කුමාරයාගෙ දහදිය ගලන මූණ එදා ඒ චීන සංචාරකයන්ගේ ජංගම දුරකථන මත රුඳුණේ ලංකා සංචාරයේ හද රුඳිච්ච මතකයක් විදියට වෙන්න ඇති... ඒ වීඩියෝව සමාජ මාධ්‍යයට එක් කළෙත් ඔවුන්මයි...
අද වෙද්දි ඒ වීඩියෝව චීන ජාතිකයන් කෝටි 13කගේ නැරඹුම් වාර සටහන් කර අවසන්... ආදරය වෙනුවෙන් දිලිප්ව මල් කුමාරයකු ලෙස හැඳින්වුවෙත් ඒ චීන ජාතිකයන්මයි. මලකින් ජීවිතය සොයන ඒ දිරිමත් තරුණයා ගැන එයාලගේ ආදරය එයාලා පළ කරලා තිබුණේ මෙහෙමයි...
එයා හරිම කෙට්ටුයි. නමුත් ජීවිතයට ආදරය කරන, ගොඩක් වෙහෙස මහන්සි වෙන ඔහු ඇත්තටම කඩවසම්.. මම දවසක ලංකාවට ගියොත් මමයි මගේ යාළුවොයි එයාගේ මල්වලට කැමති වේවි... එයාව හඳුනා ගන්න ආසයි..
එයා වෙනුවෙන් ශ්‍රී ලංකාවට යන්න ආසා හිතුණෙ වෙන දෙයක් නිසා නෙවෙයි.. එයාගේ දිලිසෙන ඇස් නිසා.
දැන් මගේ වයස 36ක්. මගේ මේ මුළු ජීවිතේම ලංකාවට යන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැතිවෙයි. ඒ නිසා මේ වීඩියෝව තුන් සැරයක්ම බැලුවා.. වීඩියෝවෙදි එයා මට 15 සැරයක් මල් දුන්නා..
ඒ මල් ඇත්තටම මගේ අතට ආවේ නෑ.
නමුත් ඒ මල් මගේ වියළුණු හදවතේ පිපිලා.
ඒ ඔවුන්ගේ ආදරයයි...
ආදරය කවදා කොතැනකදි කෙසේ හමුවේදැයි නොදනිමි. එහෙත් ආදරය ආදරය වෙසින්ම හමුවන තැන් තරම් සොඳුරු නවාතැන් කිසි දිනෙක හමු නොවන වග දනිමි...
මල් තරම් සුන්දර නොවුණු එහෙත් සුසුවඳවත් වුණු ඒ ජීවිත කතාන්දරයේ හැම දවසකම හැම පිටුවකම තව තවත් සුවඳට පාටට මල් පිපුණාවේ ඉතින්...
ඒ යොදුන් ගණන් දුර පසුකර ආ මඟ මල් නොපිපුණත් මලින් නූපන් එහෙත් මල් හා හුස්ම හොයන ජීවිත සාර සුබාවට දළු දාපුදෙන්... ඒ දළු කොළ පිරුණු අතු අග නටු මත තව තවත් මල් හිනැහුණාදෙන්.
I සංජීවිකා සමරතුංග