2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

කවි නෙමෙයි යකෝ වස් කවි ලියවෙනවා

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 164

- සඳ සඳ වගේ... තරැ තරැ වගේ... අපි අපි වගේ... මම මම වගේ....
ඔල්මාදෙන් වගේ ජොන්ටියා එනවා ලස්සනට කසුනා කියපු සින්දුවකුත් සෝස් නැතුවම කකා.
- යකෝ මූසලයෝ
- ඇයි?
- සින්දුවක් කියන්න බැරිනම් සින්දුව කොලේක ලියලා අපිට දියන්. අපි ඒක කියපු මනුස්සයගේ හඬින් අහගන්නම්. සින්දු කන්න එපා අමු අමුවේ.
- නෑ මචං මේ දවස්වල මට කියවෙන හැම සින්දුවකම මූලික වචනය ඇවිල්ලා සඳ
- සඳ
- ඔව් මචං හඳ
- ඇයි මොකද?
- මොකද අහන්නෙ දන්නෙ නැද්ද?
- මොකද්ද?
- මොකද්ද කියන්නෙ... හඳ ලොකු වෙලා
- කිරි අප්පට දැන්ද බං හඳ ලොකු වෙලා තියෙන්නෙ?
- ඒකනේ කියන්නෙ....
- නැකත් බලලද?
- මොකටද?
- ඇයි බං ලොකු වුණාම නැකත් බලන්න එපැයි.
- ඒ කියන්නේ?
- අනේ උඹ කොහෙද ඉන්නෙ. උඹට කොමන් සෙන්ස් කියලා නාමයක් නෑ. ගෑනු ළමයෙක් වුණත් ලොකු වුණාම නැකත් බලනවා. කළුවර කාමරේ දාලා තියෙනවා. ඊට පස්සේ නාවලා කිරි ගහකට කැත්තෙන් කොටලා තමයි ගෙට ගන්නෙ.
- අප්පට ඔව්නේ.
- ඒකනේ
- ඇත්තටම මොකද්ද බං ඔය හඳේ ලොකු වෙච්ච ඇත්ත කතාව. 
ඔන්න කියද්දීම ආවා කියපල්ලකෝ පාලයා. උගේ අතේ ඕන වෙලාවක ටැබ් එකනේ.
- පාලයා...
- ඇයි?
- කියපන් මල්ලියේ හොයලා මොකද්ද මේ හඳ නටන්න යන නාඩගම කියලා
- හොයන්නේ කොහොමද?
- ඇයි?
- ඇයි කියන්නේ යකෝ ඉන්ටර්නෙට් ගාස්තු ඉහළ ගිහින්. ඩේටා නෑ.
- කෙලා
- ඔව් ඔබට සතුටුයිද දැන්. ඕක තමයි උඹලට කියන්නෙ. ඉන්ටර්නෙට් එක නිසා බලය අතට අරන් ඉන්ටර්නෙට් එකටම කෙලින රටක් ඕයි මේක...
පාලයා කිව්වෙ පුදුම හිතේ අමාරැවකින්. ඔව්නේ ඉතින් ලවක් දෙවක් දවාලක් රුයක් නැතුව ඉන්ටර්නෙට්වලට වෙලා ෆේස් බුක් එකේ මූෂල විදිහට කාලේ කන උන්ට ඉතින් මළ තමයි. 
මම එහෙම කිව්වම ඔන්න පාලයට නැග්ගා අසූහාරදාහට.
- අඩෝ... සිගරට් එක සීයට නැග්ගත් කාලකන්නි ඒවා බොනවා. ඒ වගේ ඉන්ටනෙට් එක ලක්ෂෙට නැග්ගත් කාලකන්නි අපි ෆේස් බුක් යනවා. ඇයි අවුල්ද...?
එහෙම කියපු පාලයා ගැහුවා ඉන්ටර්නෙට් එකේ හඳ ලොකු වෙන්නෙ ඇයි කියලා.
- මුලින්ම ආවේ හඳ ලොකු වෙන්නෙ ඉදිමුනාමලු. 
- ඒක හරි යන්නෙ නෑ. බලපන් වෙන එකක්
- හරි මේන් තියෙනවා. හඳ ලොකු වෙනවා සියේට 15 ගුණයකින්. දීප්තිය වැඩි වෙනවා සියේට 30 ගුණයකින්.
- එතනම ගාණ වැරදියිනේ බං. බලපන් ගාණ හදලා තියෙන්නේ අර උඩ දෙකට යට දෙක කැපුනම බින්දුවයි කියලා ගණන් හදාපු එකාමද කියලා.
- නෑ නෑ මේ සුද්දෙක්.
- සුවර් එකට ඔය සුද්දා මුගේ නෑයෙක්. එක්කෝ විජාතිය බලවේගයක්.....
- ආයි මෙහෙම හඳ බලන්න වෙන්නෙ අපිට තව අවුරැදු 65කින්ලු
- අම්මා ගහයි බැට් එකෙන්
- ඇයි?
- යකෝ තව හැටපහක් යද්දී අපිට ඔච්චර දුර තියෙන හඳ තියා ඇහේ වදින දත් සෙට් එකවත් හොයාගන්න බැරි වෙයි.
- ඕක තමයි මේක බලන්නම ඕන කියන්නෙ.
- ඒ පාර අපි පට්ට ගේමක් දෙන්න ගත්තා අද හඳ බලන්න. 
- කට්ටිය එකතු වුණා. කඩල තැම්බුවා. රටකජු බැද්දා. රෝල්ස් හැදුවා. තව බීම වර්ග ගෙනාව. ඒවයේ නම් අහන්න එපා. නම් ලියලා වැඩක් නෑ බලධාරියා එවා කපලා දානවා. ඒ නිසා ඒවගේ නම් බීම විතරයි. 
- අප්පද බොල නන්දන වින්දන බලන කාලේ වගේ. මොකද්ද බං අද තියෙන්නෙ
සීයා ඇවිල්ලා අහපි. සීයලාගේ කාලේ නන්දන වින්දන බලන්නෙ එහෙමලු. ඇයි ඉතින් ගමටම එක ටීවී එකයිනේ තිබුණෙ.
- නෑ සීයේ අද හඳ ලොකු වෙලාලු.
- මොන? 
- හඳ හඳ
- උඹලට පිස්සුද බං..
- ඇයි?
- ඔය හඳ ලොකු වෙලා නෙමෙයි හඳ දැන් මැරෙන්නත් ළග ඇති. යකෝ අපි පොඩි කාලෙත් තිබුණ හඳ.
සීයා කිව්වෙ හඳත් එක්ක අවුලෙන් වගේ. 
- මම ඔය හඳත් එක්ක වැඩිය නෑනේ
- ඒක තමයි අපිට තේරැණා. ඇයි සීයේ ඒ...
- නෑ උඹලෑ ආච්චි හඳ වගේ කියලා මම කවි ලිව්වා ඉස්සර
- ඉතින්?
- හඳ ඈතින් තියෙද්දී ලස්සනයි තමයි රජෝ
- ඉතින්?
- කොච්චර හැඩ වුණත් හඳත් එක්ක අවුරැදු 60ක් පවුල් කාලා බලන්න ඕන. කවි නෙමෙයි යකෝ වස් කවි ලියවෙනවා.
කයිය කියවා කියව හිටියට මොකද හඳ පේන මානෙක. නෑ, වටේටම කළුවර. 
- කොයි අතකින් වත් සැනසීමක් නෑනේ යකෝ
අම්මා දුකින් කිව්වා. 
- අපි හඳ බලන්න හිටියොත් එදාට හඳත් නෑ.
- කෝ බොල මේ හඳ කඩන් වැටුණද?
- නෑ නෑ නෑ මං කිව්වෙ. මම කිව්ව දේ තමයි වෙලා ඇත්තෙ?
- මොකද්ද?
- හඳ ලොකු වෙලා නේද?
- ඔව්...
- ලොකු වුණාම ගෙට වෙනවනේ.
- ඉතින්?
- ඉතින් හඳ ලොකු වෙලා නිසා ගෙට වෙලා කාමරේ දොර වහගෙන ඇත්තෙ. ඒකයි අහස කළුවර. 
ජොන්ටියා කියද්දී තමයි පෝය දවසෙත් හඳ ආවේ නැත්තේ ඇයි කියලා තේරැණේ.

ලබන සතියට..
♦ එදිරි