2024 මැයි 25 වන සෙනසුරාදා

ලොවක් සරසන වෙසක්

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

වෛශාක්‍ය මංගල්‍යය හෙවත් වෙසක් උත්සවය ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ ප්‍රධානතම සැමරුම විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පරිනිර්වාණය වෙසඟයේදී බෞද්ධයන් සැදැහැ සිතින් අනුස්මරණය කරනවා. ශ්‍රී ලංකාවට අමතරව තවත් බෞද්ධ රටවල්වල බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පරිනිර්වාණය අනුස්මරණය කරන උත්සව සංවිධානය වෙනවා. මේ වෙසක් සතිය තුළදී ලොව වෙනත් රටවල එවන් උත්සව කිහිපයක් පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න අපි කල්පනා කළා. කොහොම වුණත් පළමුවෙන්ම අපේ රටේ වෙසක් සැමරුම් පිළිබඳව කෙටි සටහනක් තැබිය යුතුයි. 1950 දී ලංකාවේ පැවැත්වුණු ලෝක බෞද්ධ මහා සම්මේලනයේදී තමා වෙසක් දින ලොවම සමරන නිවාඩු දිනයක් කිරීමේ යෝජනාව සම්මත වුණේ. 

කොහොම නමුත් අතීත ශ්‍රී ලංකාවේ වෙසක් පෝය සැමරීමේදී මූලිකත්වය ලබා දීලා තිබුණේ ප්‍රතිපත්ති පූජාවට. ඒත් යටත් විජිත සමයේ බුදු දහමට එල්ල වුණු අභියෝග එක්ක සැරසිලි සංදර්ශන සමඟ ආකර්ෂණීය උත්සවයක් බවට වෙසක් උත්සවය පරිවර්තනය කරන්න බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ හිටපු පිරිස් කටයුතු කළා. කොහොම වුණත් මේ වනවිට වෙසක් සැමරුමේදී ප්‍රතිපත්ති පූජාව ඉක්මවා ගිහිල්ලා ආමිස පූජාවන්ට මුල්තැන ලැබිලා තියෙන බව නම් බොහොම පැහැදිලි කාරණාවක්.

නේපාලය - බුද්ධ ජයන්තිය

බුදුන් උපන් දේශය වන නේපාලයේ අද වන විට බහුතරය හින්දු. ඒත් නේපාල ජාතිකයන්ට බුදුන් තමන්ගේ රටේ ඉපදීම පිළිබඳ යම් අභිමානයක් තියෙනවා. ඒ නිසාම ඔවුන් තමන්ගේ අනෙක් උත්සව වගේම වෙසක් උත්සවයත් සමරන්න අමතක කරන්නේ නෑ. නේපාලයේ වෙසක් උත්සවය හැඳින්වෙන්නේ බුද්ධ ජයන්තිය යන නමින්.

නේපාලයත් වෙසක් පුර පසළොස්වක දිනය ජාතික නිවාඩු දිනයක් විදිහට හඳුන්වනවා. නේපාල බෞද්ධයන් කර්මය පිළිබඳ සිහි කිරීමට, මරණය පිළිබඳ සිහි කිරීමට වගේම බෞද්ධ ඇතැම් ගාථා කට පාඩම් කරමින් සජ්ඣායනා කරන්න මේ කාලය යොදාගන්නා බව කියැවෙනවා. 

බුද්ධ චරිතයට අදාළ සුවිශේෂී සිදුවීම් සිදුවූ සිද්ධස්ථාන රාශියක් නේපාලයේ පවතින නිසා එම ස්ථාන ආශ්‍රිතව තමා බුද්ධ ජයන්තිය සමරනු ලබන්නේ. කොඩි වැල් වගේම තවත් සැරසිලිවලින් එම සිද්ධස්ථාන සරසන්න බෞද්ධයන් කටයුතු කරනවා. ඒ වගේම මේ කාලෙට නේපාලයට ඉහළ සංචාරක ආකර්ෂණයකුත් ලැබෙනවා.

ඉන්දියාව - බුද්ධ පූර්ණිමා

බුදු දහමේ නිජබිම වුණු අපේ අසල්වැසි ඉන්දියාවේ වෙසක් උත්සවය සමරනවද කියන එක ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරන කාරණාවක්. සමස්තයක් විදිහට ලොකු අවධානයක් නැතත් හින්දුන් පුර හඳ දිනය පිළිබඳ අවධානය යොමු කරන නිසාත්, බුදු හිමියන් පිළිබඳ හින්දු විශ්වාස පවතින නිසාත් යම් අවධානයක් ඉන්දියාවේ වෙසක් පොහෝ දිනයට ලැබෙනවා. 

කොහොමත් තාමත් ඉන්දියාවේ කාශ්මීර ලදාක්, ඊසාන දිග ඇසෑමය, සිකිම් දේශය ඇතුළු කලාප ගණනාවක සැලකිය යුතු බෞද්ධයන් පිරිසක් වාසය කරනවා. ඔවුන් නෑකම් කියන්නේ ථෙරවාදයට වඩා මහායානයට. ඇදහිලි විශ්වාසවල වෙනස්කම් තිබුණත් බුද්ධ පූර්ණිමා ලෙසින් වෙසක් දිනය සමරන්න පිරිස් කටයුතු කරනවා. ඒ නිසාම ඉන්දියානු රජය විසින් බෞද්ධයන් වැඩි පළාත්වලට බුද්ධ පූර්ණිමා දවස නිවාඩු දවසක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

අපි වගේම වෙසක් දවසට ඉන්දියාවේ බෞද්ධයොත් වෙහෙර විහාරවලට ගිහිල්ලා පින්කම් කරනවා. ධර්ම දේශනා, දානමාන පින්කම්, සතුන් නිදහස් කිරීම් ආදිය මේ මාසෙ පුරාවටම ඔවුන් සිදු කරන බව තමා දැනගන්න ලැබෙන්නේ.

තායිලන්තය - විසාක බූචා

ලෝකෙ විශාලම ප්‍රතිශතයකින් බෞද්ධයෝ ඉන්න රට තායිලන්තය. ඒ වගේම තායිලන්ත බෞද්ධයන් හරිම ශ්‍රද්ධාවන්තයන්. ඒ නිසාම වෙසක් සමයේදී බුද්ධ චරිතය සහ ආගමික සිද්ධි නැවත මතක් කර දීමට පුවරු ප්‍රදර්ශනය සහ මාර්ග සැරසීම් ආදිය තායිලන්තයේදී වෙසක් මාසය පුරා දැකගන්න පුළුවන්.

තායි රටේ වෙසක් උත්සවය හඳුන්වන්නේ විසාක බූචා (Visakha Bucha) කියලා. ඇතැම් අවස්ථාවලදී ලංකාවේ වෙසක් උත්සවය සැමරෙන දිනට වඩා මේ දිනය වෙනස් වන අවස්ථා තිබෙනවා. කොහොම වුණත් වෙසක් උත්සවයට සතියකට කලින් විතර ගෙවල් ඉදිරිපිට කොඩි දාලා තායිලන්ත බෞද්ධයන් තමන්ගේ කටයුතුවලට සූදානම් වෙනවා. වෙසක් දවසට තායිලන්තයේ වෙහෙර විහාර බෞද්ධයන්ගෙන් පිරී යන බව තමා කියැවෙන්නේ.

සුවිශේෂ ආලෝක පූජා, ඉටිපන්දම් පෙරහරවල් වගේ ගොඩක් දේවල් තායිලන්තයේ සංවිධානය වෙනවා. ඒ වගේමයි ධර්ම දේශනා, දානමය පින්කම්වලටත් ලොකු ඉඩකඩක් තියෙනවා. තායිලන්තයේ වැඩිපුරම පරිත්‍යාග සිදුවන කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. මේ කාලයේදී සමහරක් වෙහෙර විහාරස්ථාන සංචාරකයන් වෙනුවෙන් විශේෂයෙන්ම විවෘත වන බවත් කියැවෙනවා. ඒ නිසාම තායිලන්තයේ විසාක බූචා දවස සංචාරක ආකර්ෂණයක් තිබෙන දවසක්.

මියන්මාරය - පුරපස කසොන් දවස

පුරපස කසොන් විදිහට මියන්මාරයේ වෙසක් උත්සවය හඳුන්වනවා. තායිලන්තය වගේම මියන්මාරයත් ඔවුන්ගේ සාම්ප්‍රදායික චන්ද්‍ර මාස ක්‍රමය අනුව යමින් තමයි වෙසක් සමරන්නේ. කසොන් කියන්නේ ඔවුන්ගේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව දෙවැනි මාසයට. බුරුම බෞද්ධයනුත් හරිම සද්ධාවන්ත පිරිසක් නිසා ඔවුන් මෙම උත්සවය විවිධාකාර වූ චාරිත්‍ර වාරිත්‍ර සමඟ සමරනු ලබනවා.

ජලය හා සම්බන්ධ කසෝන් මාසයේදී බෝධින් වහන්සේලා නැහැවීම, බෝධින් වහන්සේලා ඉදිරිපිට තමන්ගේ ප්‍රාර්ථනාවන් සිදුකිරීම ආදියට බුරුම බෞද්ධයන් ලබාදෙන්නේ ප්‍රමුඛතාවක්. උණුසුම් මාසවල බෝධින් වහන්සේ නොනැසී පවත්වාගෙන යාමට වුවමනා බව ඔවුන් විශ්වාස කරනවා.

ජලය මූලික කරගත් කසොන් උත්සවයේදී පිරිත් පැන් ඉසීම ආදී චාරිත්‍ර රුසක් දැකගන්න පුළුවන්. පිළිම වහන්සේලා පවා ශුද්ධ වූ ජලයෙන් පිරිසිදු කිරීමට ඔවුන් මේ කාලය යොදා ගන්නවා. මීට අමතරව දාන ශීලාදී පුණ්‍යකර්මවලත් මෙම කාලය තුළදී බුරුම බෞද්ධයන් නියැලෙනවා. ඔවුන්ටත් මෙය විචිත්‍රවත් මාසයක්.

ටිබෙටය - සගා දාවා

ඈත කඳු අතර තියෙන ටිබෙට් දේශයේ වෙසක් හඳුන්වන්නේ  සකා දාවා නැතිනම් සගා දාවා ලෙස. ටිබෙටයේ ප්‍රධාන වශයෙන්ම පැතිරී තිබෙන්නේ මහායාන බුදු දහම. එනිසාම ඔවුන්ටම අනන්‍ය වුණු චාරිත්‍ර වාරිත්‍ර රුසක් වෙසක් උත්සවය නිමිති කරගෙන ඔවුන් සිදු කරනු ලබනවා.

වෙහෙස මහන්සිය නොතකා ටිබෙට් බෞද්ධයෝද එදිනට ගිරි ශිඛරවල ඇති ඔවුන්ගේ සිද්ධස්ථාන, පූජනීය භූමි වන්දනාමාන කරන්න චාරිකාවේ යෙදෙනවා. සාමාන්‍ය සිද්ධස්ථානම විතරක් නෙවෙයි මහා විල්, හිම කඳු ආදිය ඇතැම්විට පූජනීය ස්ථාන සේ සලකලා ටිබෙට් බෞද්ධයන් වන්දනාමාන කරනවා. 

කඳු අතර ජීවත්වෙන මේ ටිබෙට් ජාතිකයන්ට ශබ්ද පූජාව සම්බන්ධව තිබෙන්නේ ලොකු ඇල්මක්. එනිසාම ටිබෙට් බෞද්ධයෝ සගා දාවා දවසට ශබ්ද පූජා පවත්වනවා. ඒ වගේම ඔවුන් පෙරහරත් සංවිධානය කරනවා. ටිබෙටයේ කොහොමත් කොඩි වැල් කොඩි කොඩි කණු නිතර දකින්න ලැබෙන දෙයක්. වසරකට වරක් ඒ කොඩි කණු, කොඩි වැල් ස්ථාපිත කිරීමත් මේ දවසේ සිදුවෙන බව තමා කියැවෙන්නේ. මීට අමතරව ආධ්‍යාත්මික කටයුතුවලටත් ටිබෙට් බෞද්ධයන් මෙදිනට සහභාගි වෙනවා.

I නිසල්