2024 ජුනි 01 වන සෙනසුරාදා

ලෝකයේ පොහොසත්ම ගැහැනිය ඇයයි...

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 84

 ෆෝබ්ස් සඟරාව ඇය ගැන එහෙම කීවේ ඇයි? 

ලොව පුරා සිටින ධනවතුන් පිළිබඳ සොයා බැලීම කුතුහලය දනවන කටයුත්තක්. එනිසා ධනවතුන්ගේ වත්කම් සහ ඔවුන්ගේ හැසිරීම් පිළිබඳව ගොඩක් දෙනෙක් ලොකු උනන්දුවක් දක්වනවා. ඒත් ලොව සිටින ධනවත්ම කාන්තාව කවුද කියන පැනයට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න බොහෝ දෙනෙක් අසමත්.

ලොව පුරා ධනවතුන්ගේ විස්තර පිළිබඳ නිතර සොයා බලන ෆෝබ්ස් සඟරාව විසින් පසුගියදාක ප්‍රකාශයට පත් කරලා තිබුණා මැයි මාසය වන විට ලොව සිටින ධනවත්ම කාන්තාවන් 10 දෙනා පිළිබඳ තොරතුරු රැසක්. එහිදී ෆෝබ්ස් සඟරාව ලෝකයේ ධනවත්ම කාන්තාවන්ගේ ධනෝපායන මාර්ග මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවත් අවධානය යොමු කරලා තිබුණා.

මේ අනාවරණයට අනුව  පසුගිය අප්‍රේල් මස 9 වැනිදා වන විට ලොව ධනවත්ම කාන්තාව ලෙසට සැලකෙන්නේ ලොරෙආල් රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමේ හිමිකාරිණිය වන ෆ්‍රුන්කොයිස් බෙට්න්කෝට් මේයර්ස්  (Francoise Bettencourt Meyers). ඇයගේ වත්කම ලෙසට ෆෝර්බ්ස් සඟරාව ඇමෙරිකානු ඩොලර් බිලියන 92.2 ක මුදලක් දක්වා තිබෙනවා. 

ඒ නිසාම අපි ඇය ගැන විස්තර ටිකක් ඔබ සමඟ බෙදා ගන්න හිතුවා. ෆ්‍රුන්කොයිස් බෙට්න්කෝට් වයස අවුරුදු හැත්තෑව හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාවක්. ඇය ඉපදිලා තියෙන්නෙ 1954 ජූලි 10 වැනිදා. ෆ්‍රුන්කොයිස් බෙට්න්කෝට් ව්‍යාපාරික කාන්තාවක්, දානපතිනියක් සහ ලේඛිකාවක් විදියට ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටිනවා. කොහොම නමුත් ඇය හුදෙකලා චරිතයක් නෙවෙයි, ලෝක කීර්තිමත් ධනවත් පවුලක උරුමකාරියක්.

ෆ්‍රුන්කොයිස් බෙට්න්කෝට් ඇතුළු පවුල හිමිකම් කියන L’Oreal සමාගම ලොව පුරා බොහොම ජනප්‍රියයි. ප්‍රංශයේ පැරණි රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන L’Oreal ලොව විශාලතම රූපලාවණ්‍ය සමාගම විදිහටත් සලකනවා. මේ සමාගම ආරම්භ කරලා තියෙන්නේ 1909 දී Eugene Paul Louis Schueller විසින්. මේ සමාගමේ ආරම්භය පිළිබඳ කතා පුවතත් බොහොම අපූරු එකක්. 1904 දී රසායන විද්‍යාව උපාධිය හදාරපු Eugene Paul Louis රසායනාගාර සහායකයකු ලෙස කටයුතු කරමින් ඉඳලා තියෙනවා. මෙහිදී කොණ්ඩා සැකසුම් ශිල්පියකුගෙන් කොණ්ඩ වර්ණ ගන්වන අලුත් රසායනයක් නිපදවීමට ලැබුණු ආරාධනයෙන් තමයි ඔහු මෙම ව්‍යාපාරයට අත්පොත් තියලා තියෙන්නේ. 

පසුව මේ සමාගමේ හිමිකාරිය බවට පත්වෙලා තියෙන්නේ නිර්මාතෘවරයාගේ දියණිය වන Liliane Bettencourt ක්. ඇය වයස අවුරුදු 94 ක් ජීවත් වුණා. ඇය පිළිබඳවත් ලෝකය ඉහළ අවධානයක් යොමු කළා. ධනවත් කාන්තාවක් ලෙසින් ප්‍රංශයේ ඈ කළ කී බොහෝ දෑ පුවත් මැවූ බව කියැවෙනවා. ඇගේ විවාහය, දේශපාලන සබඳතා පිළිබඳ කතා රැසක් පවතිනවා. කෙසේ නමුත් 2017 දී ඇය මිය යන විට සැලකුණෙත් ලොව ධනවත්ම කාන්තාව ලෙසයි.

ඇගේ එකම දියණිය එහෙම නැත්නම් නිර්මාතෘවරයාගේ මිණිපිරිය තමයි ෆ්‍රුන්කොයිස් බෙට්න්කෝට් කියලා කියන්නෙ. මවගේ මරණයෙන් පසුව ඇය මෙම සමාගමේ සභාපතිවරිය බවට පත්වුණා. තවදුරටත් මේ සමාගමේ තුනෙන් එකක කොටස් ඇය ඇතුළු පවුල සතු වෙනවා. ඒ නිසාම  ෆ්‍රුන්කොයිස් බෙට්න්කෝට් 1997 සිට L’Oreal හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කර තියෙනවා.  

එම ජීවිත කතාව පිළිබඳවත් විවිධාකාර තොරතුරු තියෙනවා. කතෝලික ලෙස හැදී වැඩුණු ඇය බයිබල් විවරණ කිහිපයක් ලියා තිබීම සුවිශේෂී කරුණක්. ඝාතනයට පත්වූ යුදෙව් ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු වූ ජීන්-පියර් මේයර්ස් සමඟ තමා ඇය විවාහ වුණේ. අනතුරුව ඇය යුදෙව් ආගමට හැරුණු අතර ඔවුන් ඔවුන්ගේ දරුවන් වන ජීන්-වික්ටර් සහ නිකොලස් යුදෙව්වන් ලෙස ඇතිදැඩි කර තිබෙනවා.

කොහොම නමුත් පෙර යුදෙව් පවුලක් සමඟ වූ ඇගේ විවාහය මතභේදයට තුඩු දුන්නේ ඇගේ සීයා වන ඉයුජින් ෂුල්ලර්ගේ නාසි රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධ වූ චෝදනාව නිසා. ඔහුව ඒ සම්බන්ධයෙන් අවස්ථාවකදී අත්අඩංගුවට ගත් බව පවා ඉතිහාසයේ කියැවෙනවා. ඒ වගේම ඇගේ මවගේත් මෙවන්ම දැඩි දේශපාලන අදහස් තිබූ බව ඉතිහාසයේ ලියැවී තිබෙනවා. ඇතැම් තැනක ඇය සමාජවාදී කාන්තාවක් ලෙසත් හඳුන්වනු ලබනවා.

මේ අතර ඇගේ මව සමඟ සබඳතා පැවැත්වූ ප්‍රකට ප්‍රංශ කලාකරුවකු සහ ඡායාරූප ශිල්පියකු සමඟ 2008 ෆ්‍රුන්කොයිස් බෙට්න්කෝට් පැටළුණු නඩුවත් ලෝකේ ඉහළ අවධානයක් දිනාගත්ත එකක්. කෙසේ වෙතත් 2010 දී මව සහ එම පුද්ගලයා සමඟ උසාවියෙන් පිටදී ඇය සමථයකට පත්ව තිබුණා.

මව මිය යන විට ෆ්‍රුන්කොයිස් බෙට්න්කෝට්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 39.5 ක් වුණත් මවගේ මරණයෙන් පසුව එය තුන් ගුණයකින් විතර වැඩි වී තිබෙනවා. බොහෝ වාර්තා දක්වා ඇති ආකාරයට ලොව ධනවත්ම පුද්ගලයන් විසි දෙනාගේ නම් ඇතුළට ඇගේ නමත් ඇතුළත්. ඩොලර් බිලියන සීයක ශුද්ධ වටිනාකමක් ඇති ලොව ප්‍රථම කාන්තාව ලෙසත් ෆ්‍රුන්කොයිස් බෙට්න්කෝට්, ෆෝබ්ස් සඟරාව විසින් එක් අවස්ථාවක හඳුන්වා දී තිබෙනවා.

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ Notre-Dame de Paris හි හටගත් ගින්නකින් පසුව, Bettencourt Meyers සහ L’Oreal විසින් ආසන දෙව්මැඳුර අලුත්වැඩියා කිරීමට ඩොලර් මිලියන 226ක් පොරොන්දු වූ බව කියැවුණා. මෙය ඇය සහ පවුලේ දානපති කටයුතු පිළිබඳව ලොවට ප්‍රකට කළ ප්‍රබලතම අවස්ථාවක්. මේ වන විට බෙට්න්කෝට් ඇගේ පවුලේ දානපති පදනමේ සභාපති ලෙස ද කටයුතු කරනවා. එම පදනම හරහා විද්‍යා සහ කලා ක්ෂේත්‍රවල ප්‍රංශ ප්‍රගතිය දිරිමත් කරන්න විවිධ පරිත්‍යාග සිදු කරනවා.

I චමිඳු