2024 ජුනි 01 වන සෙනසුරාදා

ඉන්දියාවත් ලෝකයත් පුරා සැරිසැරූ ශ්‍රී ගණ දෙවි විඳින්න එන්න

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 209

පාද පාමුල සෙනසුනේ පහන් ප්‍රදීප දල්වා සුවඳැති පිච්ච මල් අතුරාලූ සඳ ගනේෂ් දෙවිඳුන්ට නමස්කාර කරන්නට එක්වන අතැඟිලි ඒ දේව පා මත නිරායාසයෙන් රැඳෙන්නේම දෙවිඳුන් කෙරෙහි නිෂ්පන්න අපමණක් භක්ත්‍යාදරය නිසාමය. ගනේෂ් යන නාමයෙහි අර්ථයෙන්ම ජනතාවගේ ස්වාමියා යන ප්‍රේමයෙහි මුනිවරත්වය ඒ දෙවිඳුන් වෙත රැඳුණු අයුරකි. මහා ගනේෂ්, වීර ගනේෂ්, වේරම්භන ගනේෂ්, ධරණී, ශක්ති, බුද්ධි, වල්ලභ ගනේෂ් ආදී ගනේෂ් මූර්ති දහ අටක් තුළ ගනේෂ් දෙවිඳුන්ගේ හුස්ම සරණ වග දේව කතා පුරාණය කියයි. වල්ලභ ගනේෂ් මූර්තියෙන් සංකේතවත් වන්නේ ආදරය සහ ප්‍රේමයයි. ආදරය සහ ප්‍රේමය සේම විශ්වය සුවපත් කරන, සුවඳවත් කරන, සනසන මනෝභාව සමුදායක් ගනේෂ් මූර්ති ඔස්සේ ගනේෂ් දෙවියන් මුදා හරියි. දේව මණ්ඩලයේ මහා පුදසුනක වැඩ හිඳිමින් චතුර්තිථියේදී ගනේෂ් දෙවිඳුන්ටම වෙන්වූ පූජාවන්ගෙන් පුද ලබන ගනේෂ් දෙවියන්ගේ ජීවිත අන්දරයේ රස තැන්, පුදුම තැන්, අපූරු තැන් සොයා ගොස් ගෙත්තම් කරන ලද සාහිත්‍යමය වියමන් අතර ශ්‍රී ගණ දෙවි නම් කොටස් 1026 කින් සුසැඳි ටෙලිනාට්‍ය කතා මාලාව සම්භාවනාවට පාත්‍ර වන්නේ Sony Entertainment නාලිකාවේ විකාශනය වීමේදී ලද අසමාන ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ හරසරත් ඉන්දියාවෙන් එපිට එය ලොව පුරා රටවල් 18 ක විකාශය වීමත් හේතු කරගෙනය. වල්ලි සහ ස්කන්ධ කුමරුගේ මංගල උත්සවයේදී පූජනීය කතරගම ද ශ්‍රී ගණ දෙවිඳුන්ගේ පාද ස්පර්ශය ලද්දේ යැයි ඉතිහාසය දෙස් දෙන අතර ශ්‍රී ගණ දෙවි වන්දනය උදෙසා එදා මෙදා තුර ශ්‍රී ලාංකික බැතිමතුන් පෙළගැසී ඇත්තේද අප්‍රමාණ භක්ත්‍යාදරයකිනි. තවද ගණ දෙවි වන්දනය ඈත ඉතිහාසයේ සිටම පැවති බවට ප්‍රබල සාක්ෂියක් වන්නේ මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ නැගෙනහිර දොරටුවේ වාහල්කඩයි. ක්‍රි.පූ 119 දී ලජ්ජතිස්ස රජු විසින් කරවන ලද ගල් කැටයමක් එහි තැන්පත් කර තිබේ. තවද පසුකාලීනව ලාංකික පිරිවෙන් අධ්‍යාපනය තුළ ගණ දෙවි හෑල්ල සහ වදන් කවි පොත භාවිත කර ඇත.

ඉන්දියාවේත්, ඉන් එහා ලෝකයේ රටවල් 18 කත් තිරය සරසමින් ශ්‍රී ගණ දෙවි දීර්ඝතම සහ ජනප්‍රියතම කතා මාලාවක් ලෙස ජනාදරය දිනූ නිර්මාණයකි. එය ජූනි 05 වැනි බදාදා සිට සතියේ දින පහම රූ 9.00 ට ඔබේ හදවත සනසන්නට සූදානම් වන්නේ Supreme සහ TNL Supreme නාලිකා ද්විත්වයය ඔස්සේය. තවද ලොව පුරා විසිරී ඇති ගණ දෙවි භක්තිකයන් වෙනුවෙන් You Tube ඉතිහාසයේ මුල්වරට හඬ කවන ලද ටෙලි සිතුවමක් ලොව පුරා මුදාහැරෙනු ඇත.

වක්‍ර තුණ්ඩ මහා කාය
සූර්යකෝටි සමහ් ප්‍රභා
නිර්ග් විත්තම් ගුරුවේ දේවා
සර්ව කායේෂු සර්වදා 

ඒ ගණ දෙවියන් උදෙසා නමස්කාර වන්දනීය ගාථාවයි. ගුරු දින එනම් බ්‍රහස්පතින්දා දිනය ගණ දෙවිඳුන්ට වෙන්වූ සුභ දිනය වන අතර බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේදී ගනේෂ් දෙවියන් උදෙසා ගුරු පූජාව පවත්වනු ලැබේ. නුවණට, බුද්ධියට අධිපති යැයි සැලකෙන ගණ දෙවිඳුන් උදෙසා නිර්මාංශ වී පේවී හිඳ ගුරු පූජාව පවත්වනු ලබන අතර මල් වට්ටියක් පූජා කර ගිතෙල් පහනක් දල්වනුයේ බුදුන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වා මල් සුවඳ දුම් පූජා කිරීමෙන් ඉනික්බිතිවය. පොට්ටු කඩල, කොණ්ඩ කඩල, කචංකුඩ යන නම්වලින් හඳුන්වනු ලබන කඩලවලින් මාලයක් අමුණා එම මාලය ගණ දෙවිඳුන්ට පළඳවනු ලබන්නේ මෙම පූජාවේදීය. බ්‍රහස්පතින්දාට පෙර දින කඩල පෙඟෙන්නට දමා පසුවදා සවස අමුණා එම මාලය සකසද්දී එම කඩල ඇට මාලය අමුණන්නේ කඩල ඇටවල ඵෙක්‍යය නවයේ ඉලක්කමක් ලැබෙන පරිදිය. උදාහරණයක් ලෙස කඩල ඇට 36 කින් එම කඩල ඇට මාලය නිමා කළ හැකිය. කඩල ඇට ඓක්‍යය නවයක් විය යුතු සේම එම නවයේ ඓක්‍යය පටන් ගන්නා මුල් ඉලක්කම ඔත්තේ ඉලක්කමක් විය යුතුය. කඩල ඇට 36ක් ගත්විට 3 යන මුල් ඉලක්කම ඔත්තේ ඉලක්කමකි. ඒ ආකාරයෙන් මුල් ඉලක්කම ඔත්තේ අංකයක් විය යුතුය. ඒ පූජාවන් තබා වක්‍ර තුණ්ඩ මහා කාය ගාථාවෙන් ගණ දෙවිඳුන් වඳින්නේ නම් ඒ ගාථාව එක්වරක් කිව යුතු වුවත් ඕම් ගාමි ගණ පතයේ නමහඃ යන ගාථාවෙන් ගණ දෙවියන් වන්දනා කරනු ලබන්නේ නම් එය දහසය වතාවක් කිව යුතුය.

ගණ දෙවි වන්දනය මෙන්ම ගණ දෙවි පුරාවත ද රස අන්දරයකි. බොහෝ කතන්දර ඒ දේවා පුරාණය කේන්ද්‍රීයව සිත්තම් වී තිබේ. එක් හින්දු පුරාවතකට අනුව ශංකයක්, ත්‍රිශූලයක්, වක්‍රායුධයක් සහ මහනෙල් මලක් දරාගෙන කර වට ගුණ නූලක් පැළඳ සිටින සෞභාග්‍යයේත් බුද්ධියේත් මහේශාක්‍ය සලකුණක් සේ වැඩ හිඳින ගණ දෙවිඳුන්, ශිව දෙවිඳුන්ගේ සහ පාර්වතී දෙවියන්ගේ බාල පුතුය. ගණ දෙවියන්ගේ මව් පාර්ශ්වයේ ආච්චි සහ සීයා වන්නේ හිමාවන් රජු සහ මේයාවති දේවියයි. විෂ්ණු දෙවිඳුන් සහ ලක්ෂ්මි දේවිය මව් පාර්ශ්වයේ ගණ දෙවිඳුන්ගේ මාමා සහ නැන්දාය. ශිව දෙවිඳුන්ගේ සහෝදරිය සරස්වතී දේවිය වන අතර බ්‍රහ්ම දෙවියන් ඇගේ ස්වාමියාය. ස්කන්ධ කුමරු හෙවත් කතරගම දෙවියන්ද අශෝක් සුන්දරීද ගණ දෙවියන්ගේ සොයුරා සහ සොයුරියයි. වල්ලි සහ දේවසේනා කතරගම දෙවියන්ගේ පාද පරිචාරිකාවෝ වූහ. බුද්ධි හා සිද්ධි නමින් ගණ දෙවියන්ට පාද පරිචාරිකාවන් දෙදෙනෙක් සහ ශුභ සහ ලාභ නමින් පුතණුවරුන්ද සන්තුෂි නමින් දියණියක්ද සිටින බව ඇතැම් දේව පුරාවෘත්තයක් දෙස් දෙයි. තවත් තැනක ගණ දෙවියන් බ්‍රහ්මචාරීව දේවත්වය ගෙවන බවද සඳහන්ය. එක් අවස්ථාවක ගණ දෙවිඳුන් කෙරෙහි කෝප වූ ශිව දෙවිඳුන් ගණ දෙවියන්ගේ හිස සිරුරෙන් වෙන් කළ බවත් පාර්වතී දේවියට ඒ වියෝව දරාගත නොහැකිව ලෝකය විනාශ කරන කරන බවට සපථ කරද්දී බ්‍රහ්මයා මැදිහත්ව එසේ නොකරන ලෙස ඉල්ලූ විට පාර්වතිය ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත. එනම් ගනේෂ් දෙවියන්ට යළි ජීවනය දෙන ලෙසත්, සියලු දෙවියන්ට ප්‍රථමව ගණ දෙවියන්ව නමස්කාර කළ යුතු බවත්ය. ශිව දෙවිඳුන් ඊට එකඟව පළමුව හමුවෙන දරුවාගේ හිසක් රැගෙන එන ලෙස එම අවස්ථාවේදී දූතයන් දෙදෙනෙකු යැවූ අතර ඔවුන්ට මුලින් හමුවී ඇත්තේ ඇත් පැටවෙකි. ඒ නිසා ගණ දෙවිඳුන්ගේ සිරුරට ඒ ඇත් හිස සවි කළ ඉක්බිති ඇත් හිසක් සහිත ගණ දෙවි රුව නිමැවුණි. තවත් පුරාවෘත්තයකින් කියැවෙන්නේ කතරගමට පැමිණි ස්කන්ධ කුමරු වල්ලියගේ ප්‍රේමය දිනාගන්නට දැරූ ප්‍රයත්නයේදී ගණ දෙවියන් අලියකුගේ වෙස්ගෙන ස්කන්ධ කුමරුගේ උදව්වට පැමිණ ඇත. ඒ වල්ලිය අලින්ට දැක්වූ අසීමිත බිය නිසා ඒ මොහොත ස්කන්ධ කුමරුට ප්‍රේමය දිනාගනු වස් උපයෝගී කරගත හැකි නිසා අලියකුගේ රූපයක් මවා ගනිමිනි. ඊට ප්‍රථම ගණ දෙවිඳුන් තම අයියණ්ඩියට පවසා ඇත්තේ කාර්යය නිමවූ වහාම තමන් කියා දුන් මන්ත්‍රයක් කියා මැතිරූ පැන් ඉසින ලෙසය. අලි වේෂයෙන් ගණ දෙවිඳුන්ට මිදිය හැකි වන්නේ එවිටය. එහෙත් ප්‍රේමයෙන් උමතු වී සිටි ස්කන්ධ කුමරුට එම කාර්යය පූර්ණ ලෙස ඉටු කිරීමට නොහැකි වූයෙන් සිරුර මිනිස් සිරුරක් බවට පත්වූවත් අලි මුහුණ ඒ සිරුරෙන් මුදවන්නට නොහැකි විය. මේ අයුරින් හින්දු පුරාවෘත ගණ දෙවිඳුන් පසුබිම්ව ගෙතී ඇතුවා සේම ඒ සොඳුරු දේව පුරාවෘත පසුබිම් කරගෙන අලංකෘත නිර්මාණයන්ද කොතෙකුත් දායාද වී ඇත. ශ්‍රී ගණ දෙවි යනු ඒ නිර්මාණ සමුදාය අතර අපූර්වතම දිගු වෘතාන්තයකි. 

බුද්ධිය කේන්ද්‍ර කරගනිමින් බාධක බිඳ දමා ජීවිතයේ යා යුතු යොදුන් මල් විසුල පරාමාදර්ශී මාවත් දිගේ යාමට ඇවැසි ආත්ම විශ්වාසයත් ශක්තියත් හදවත්හි ජනනය වන අයුරින් ශ්‍රී ගණ දෙවි කතා මාලාව හින්දු පුරාවෘත ඇසුරින් සංයුක්තය.
ආදරය, ප්‍රේමය සහ ජීවිතය තරම් සොඳුරු අන් යමක් වෙද?

නැත...

ශ්‍රී ගණ දෙවි කියන්නේ ඒ සියල්ල චමත්කාරයත් ප්‍රඥාවත් සුසංයෝගීත්වයෙන් සුමට ලෙස විඳිය යුතු වගමය.

I සංජීවිකා සමරතුංග