2024 ජුනි 08 වන සෙනසුරාදා

සිංහල චිත්‍රපටයක දිගම තේමා ගීය නිමැවූ ගාන්ධර්වයාණෝ සමුගනිති

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 66

සිංහල සංගීතයට අපිරිමිත මෙහවරක් ඉටු කළ ගාන්ධර්වයෙක් පසුගිය සතියේ තමන් දැයට කළ මෙහෙවර නිමා කළේය. ඒ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය. වසර කිහිපයක සිට ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවූ ප්‍රේමරත්නයන් දිවියෙන් සමුගන්නා විට 94 වැනි වියේ පසුවිය.

ජෝතිරත්නගේ ෂෙල්ටන් ප්‍රේමරත්න 1931 අප්‍රේල් 29 වැනිදා කොළඹ කොටහේනේදී උපත ලැබීය. කොටහේනේ සෙක්කු විදියේ කිතුනු ළදරු පාසලින් අයනු ආයනු කියූ ඔහු පසුව කොටහේනේ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය.

ඔහුගේ පියා ටවර් හෝල් යුගයේ දක්‍ෂ ගායකයකු, සංගීතඥ‍ෙයකු මෙන්ම නළුවකු ලෙස ප්‍රකටව සිටි ජෝතිරත්නගේ සාදිරිස් සිල්වා නොහොත් සාදිරිස් මාස්ටර්ය. 1910 වැනි කාලයේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ සංගීත සාජ්ජවල ප්‍රමුඛ සංගීත මාස්ටර්ලා ලෙසින් ප්‍රකටව සිටි රෑපසිංහ මාස්ටර්, එඩී මාස්ටර්, ගවුස් මාස්ටර්, යූ.ඩී. පෙරේරා මාස්ටර් යන සංගීතඥයන් අතර සාදිරිස් මාස්ටර්ද ප්‍රධාන චරිතයක් විය.

සාදිරිස් මාස්ටර්ට අවශ්‍ය වූයේ තම පුත්‍රයා තම පියා මෙන් වෙද මහත්මයකු කිරීමටය. එහෙත් කුඩා ෂෙල්ටන්ගේ සිත ඇදී ගියේ සංගීතයටය. ඔහුගේ බාප්පා කෙනකු විසින් තිළිණ කළ කුඩා වයලීනය වෙදකමින් මිනිසුන් සුවපත් කරනු වෙනුවට සංගීතයෙන් මිනිස් සිත සුවපත් කරන්නට කුඩා ෂෙල්ටන් පෙළඹවීය. 

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ප්‍රථම වරට චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කරන විට ඔහුගේ වයස අවුරුදු 17කි. ඒ.පී.එම්. නූර් නම් ව්‍යාපාරිකයා "ජීවිතයේ ප්‍රීතිය" නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අතර එහි සංගීත අධ්‍යක්‍ෂණය බාර දුන්නේ යොවුන් ෂෙල්ටන්ටය. ඔහු එම චිත්‍රපටය සඳහා "කදිරනේ ධීර වීරා" නමින් ගීතයක් නිර්මාණය කළේය. එහෙත් එම චිත්‍රපටයේ වැඩ කටයුතු අතරමඟ නතර වූ හෙයින් ඔහුගේ පළමු නිර්මාණය චිත්‍රපටයත් සමඟ මියැදිණි. 

1952 වසරේ ‘හීන කුලය’ නමැති වේදිකා නාට්‍යයෙන් සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසි ඔහු සසර දුක, සුරා සූදු අන්තුවා, සමදරා, මන්ත්‍රී හාමුදුරුවෝ, ගුත්තිල මූසිල, සාරභූමි තිත්ත බත, පරෙවිය ආදී නාට්‍යවලද පසුකාලීනව තවත් උදෑසනක්, මනරංජන වැඩවර්ජන, හොටබරි යුද්දෙ, හුණුවටයේ කතාව, ඩුංඩුං බෙරේ, කෝන්තරේ, තහංචි, ගමන, සෛලාසනය, චුලෝදර මහෝදර, නරියා සහ කේජු, ශ්‍රී වික්‍රම, සිරිසඟබෝ වැනි නාට්‍යවලද සංගීතය අධ්‍යක්ෂණය කළේය. “සමුද්‍රදේවි” නාට්‍යයේ එන “ගෝවේ ගෑනු පරාදයි” හා හුණුවටයේ කතාව නාට්‍යයේ "යුද්දෙට මම ගියා - ගෑනි ගෙදර තියා" "පුත නොබලන් හෙල ගැඹුරුයි" වැනි නාට්‍ය ගීත ඔහුගේ නාට්‍ය සංගීතයේ අග්‍රඵල ලෙස හැඳින්විය හැකිය. 

තම පළමු චිත්‍රපට ගීතය කළලයක් ලෙසින් මිය ගියද 1957 වසරේ සිරිසේන විමලවීර අධ්‍යක්‍ෂණය කළ “එකමත් එක රටක” චිත්‍රපටය තුළින් ඔහුට චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නට මඟ සැලසිණි. ඉන්පසු මා ආලය කළ තරුණිය, ගැහැනු ගැට, දස්කොන්, සිහින හතක්, තිසාහාමි, හැංගි හොරා, බඩුත් එක්ක හොරු, කලණ මිතුරෝ, රොමියෝ ජුලියට් කතාවක්, හිතක පිපුණ මල්, මාහේනේ රීරි යකා, යළි ඉපිදේ, වීදුරු ගෙවල්, තිලක හා තිලකා, සිරිපාල හා රන්මැණිකා, එක් දවසක් රූ වැනි  චිත්‍රපට රුසක සංගීතය අධ්‍යක්‍ෂණය කළ අතර එම චිත්‍රපටවලට නිර්මාණය කළ “ආලේ මිහිර පෙන්නා”, “සුපුන් සඳක් නැගීලා”, “පුෂ්ප මකරන්දය මාගේ”, “හංස රාණි ආදරේ”, “අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ”, “කළණ මිතුරු දහමයි”, “උපන් කාට වුණත්” වැනි ගීත වර්තමානයේද ජනප්‍රියය.

සිංහල චිත්‍රපටයක් සඳහා දිගම තේමා ගීතය නිර්මාණය කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය. ඒ මහාචාර්ය තිස්ස කාරියවසම් රචනා කළ නිහාල් ජයවර්ධන ගායනා කළ "හාරසිය වසරකට පෙර හිරු නොබසින රට යැයි නම් ලත්" නමැති ගීතයයි. එය ජී.ඩී.එල්. පෙරේරා අධ්‍යක්ෂණය කළ රොමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටයේ තේමා ගීතයයි.

එමෙන්ම සිංහල චිත්‍රපටයකට නිර්මාණය වූ පළමු ඉංග්‍රීසි ගීතය වූයේද රොමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටයට මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචනා කළ "මයි ඩ්‍රීම්ස්  ආ රෝසස් ෆො මයි ලව්" ("My dreams are roses for my love”) නමැති ගීතයයි. එහි නිර්මාතෘවරයා වූයේද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය. එය ගැයුවේ සුනිල් සාන්තයන්ය.  වෙනත් සංගීතඥයකු නිර්මාණය කළ ගීයක් සුනිල් සාන්තයන් විසින් ගායනා කළ ප්‍රථම හා එකම අවස්ථාව එය විය. 

ඔහුගේ තනුවකට ඩැල්රින් ආනෝල්ඩා හා නන්දා මාලිනිය ගායනා කළ "නෝ ඊස්ට් නෝ වෙස්ට් සහ රුඟුම් ගැයුම් වැයුම්" ඉංග්‍රීසි සහ සිංහල තනි ගීතයක් ලෙස චිත්‍රපටයකට එක්වූ පළමු ගීතය විය. "හිතක පිපුණු මල්" චිත්‍රපටය සඳහා නිර්මාණය වූ එම ගීතයද රචනා කළේ මර්සලින් ජයකොඩි පියතුමාය.

ෂෙල්ටන් ප්‍රෙමරත්නයන් විසින් නිර්මාණය කළ ඔහුගේ සොහොයුරු විමල් ජේ. සාගර ගායනා කළ "මා මිනි මා මිනි මා දෙයියා" ගීතය අදටත් ජනප්‍රිය ගීතයකි. එය තිසාහාමි චිත්‍රපටය සඳහා නිර්මාණය වුවද එම චිත්‍රපටය තිරගත වූයේ නැත.

ප්‍රේමරත්නයන් විසින් නිර්මාණය කළ ගුවන්විදුලි ගීත රුසක් වෙයි. ඒ අතරින් විජේරත්න වරකාගොඩ ගැයූ “හිරු පායනවා”, මොරිස් දහනායක ගැයූ “ඔන්න ඕලු මලක්”, මාලනී බුලත්සිංහල ගැයූ “සඳමඩලේ සිට”, අමරදේව හා චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ “කැන්දන් එන්නේ කවදද මා” ගුණදාස කපුගේ ගැයූ “නාඹර ගොයමට” වැනි ගීත සුවිශේෂ වේ.

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සැමවිටම උත්සාහ කළේ ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කිරීමටය. සංගීත ක්‍ෂේත්‍රයට කළ මෙහෙය උදෙසා ඔහුට කලාශූරී සම්මාන ඇතුළු විවිධ සම්මාන රුසක් හිමිවිය. 2009 වසරේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඔහුට සාහිත්‍ය ශූරී (D.Lit) උපාධිය හා ආචාර්ය (Ph.D) උපාධිය පිරිනමන ලදී.

ගාන්ධර්වයාණනී,  ඔබට සුබ ගමන්!
(මෙම ලිපිය සකස් කිරීමේදී ඒ.ඩී. රන්ජිත් කුමාර මහතා විසින් කලකට ඉහත ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පිළිබඳ රචිත ලිපියකින් ඇතැම්  කරුණු උපුටා ගැනිණි.)

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
• සේයාරුව -  දයාන් විතාරණ