2024 ජුනි 08 වන සෙනසුරාදා

අමුතු අමුතු වැඩත් එක්ක සොන්ඩ්‍රෙ ගියා රට වටේම...

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

ලංකාව සොයාගෙන එන එක එක ජාතියේ සංචාරකයෝ ගැන අපි ඔබත් එක්ක කතා කරනවා. ඔන්න මෙයා නම් ටිකක් අමුතු ජාතියේ කෙනෙක්. රුමේනියාව පැත්තේ ඉඳලා තමයි ලංකාවට ආවේ. නම Sondre J K Berg.

සොන්ඩ්‍රෙ ව්‍යායාම සම්බන්ධව විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක්. තවත් මිත්‍රයෙක් එක්ක තමයි ලංකාවට ඇවිල්ලා තිබුණෙ. සොන්ඩ්‍රෙ කාලෙකට කලින් ලොකු අධ්‍යයනයක් ව්‍යායාම සම්බන්ධව කරලා තියෙනවා වගේම පුහුණුකරුවෙක් විදියටත් වැඩ කරනවා. ජිම් එකකට නොයා කරන ව්‍යායාම වර්ග ගැනත් ඔහුට විශේෂඥ දැනුමක් තියෙනවා. අත් දෙක භාවිත කරලා කරන ව්‍යායාම පුෂප් ඇතුළු ජිම්නාස්ටික් සම්බන්ධව ඔහු දක්වන්නෙ විශේෂ හැකියාවක්. ඔහුගේ මිත්‍රයත් ඒ වගේම කෙනෙක්.

මේ අය ලංකාවට එන්නෙත් ලංකාව ඇතුළේ මේ දේවල් කරන අදහසින් වගේම තවත් විශේෂ කාරණාවක් හිතේ තියාගෙන.

“මෙන්න අපි ඇවිල්ලා ඉන්නවා කොළඹට. අපි අද නිදාගෙන හෙට උදේම යනවා ශ්‍රී ලංකාවේ කඳුකරයට, රබර් වතු හොයාගෙන."

ලංකාවට ආව ගමන් මෙයා නිකම් හිටියේ නෑ. එක එක ගස්වල වගේම කාමරයේ පවා අත් දෙකින් හිටගන්න ව්‍යායාම පුෂප් ගහන ඒවා ඇතුළු වැඩ කෑලි ගොඩක් දැම්මා. මෙයාගේ ලොකුම වැඩේ නිතරම ව්‍යායාම කිරීම තමා.

“මේ වගේ දේවල් බලන්න එච්චර සංචාරකයෝ එන්නේ නැති හින්දා මේ අය අපිව ඉතාම සාදරයෙන් විවෘත හදවතින් පිළිගත්තා."

මේ රබර් වතුවල හිටපු අය දමිළ සම්ප්‍රදායන්ට අනුව සොන්ඩ්‍රෙ ඇතුළු පිරිසව පිළිගත්තා. මේ උණුසුම් පිළිගැනීම පිළිබඳව ඇත්තටම මෙයාලා සතුටු වුණා.

“අපි දැන් ඉන්නේ ශ්‍රී ලංකාවේ රබර් වත්තක. අපේ ව්‍යායාම සඳහා අවශ්‍ය වන රබර් බෑන්ඩ්වලට ස්වභාවික රබර් අපි මෙහෙන් ගත්තා."

ඊට පස්සේ අපේ මිත්‍රයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේ ලංකාවේ රබර් නිෂ්පාදනය සිදුවෙන ආකාරය පිළිබඳව. අපිට පැහැදිලි වුණු විදිහට ඔහුගේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය රබර් ලංකාවෙන් ලබාගන්න ඔහු උනන්දු වන බව පෙනුණා. රබර් කිරි කපන තැන ඉඳලා ඒවා නිෂ්පාදනය කරන තැන දක්වා ගිහිල්ලා නරඹලා ඒ දේවල් ලෝකෙට පැහැදිලි කරන්න මෙයා කටයුතු කළා.

“මේ වතුවල වැඩ කරන්නේ බොහොම මහන්සි වී වැඩ කරන කම්කරුවන්."

අපේ මිත්‍රයා කම්කරුවන්ගේ නිවාස වගේම පෙර පාසල් ඇතුළු ස්ථාන බලන්නත් ගියා. ඒ වගේම රබර් වත්තේ හිමිකරුවා ඇතුළු පිරිසත් එක්ක ආහාර අරගෙන මේගොල්ලෝ ළඟම තිබුණු දුම්රිය නැවතුමට ගියේ ඇල්ලට යන බලාපොරොත්තුවෙන්.

කොහොම හරි මේගොල්ලෝ දුම්රියේ ගියේ හරිම අපූරු විදිහට. කට්ටියත් එක්ක කකා බිබී විනෝදෙන් ගියා විතරක් නෙවෙයි, දුම්රිය මැදිරිවල හිටගෙන යන අය අල්ලගෙන ඉන්න ඉහළ පොලු දෙකේ වැඩ කෑලි දැම්මා. 

ඊට පස්සේ මේගොල්ලෝ ඇල්ලට ගිහිල්ලා නතරවුණු තැන ව්‍යායාම කරන පටි ගැටගහලා එක එක ජාතියේ ව්‍යායාම ගැන කට්ටියට කියලා දුන්නා. විශේෂයෙන්ම ලංකාවෙන් ගත්ත රබර් බෑන්ඩ්වලින් කරන කියන දේවල් ගැනත් මෙතැනදී පැහැදිලි කළා.

ඊට පස්සේ ඇල්ල ප්‍රදේශයේ සංචාරය කරන්න කට්ටිය පිටත් වුණා. නැගපු කඳු උඩ අත් දෙකෙන් හිටගෙන අමුතු අමුතු වැඩ කෑලි දැම්මා. ඇල්ල දුම්රිය ස්ථානයේ වේදිකාව මතත් මේ දෙන්නත් එක්ක එක එක ජාතියේ වැඩ දැම්මා. ඇත්තටම මෙයාලා දිහා බලාගෙන හිටපු මිනිස්සුන්ට නම් පුදුමත් හිතෙන්න ඇති.

“අපි ඇල්ලෙන් සර්ෆ් කරන්න ලංකාවේ දකුණු පැත්තෙ මුහුදු තීරයට යනවා."

දකුණු පැත්තේ වෙරළට ආපු මෙයාලා සර්ෆ් කරන්න වගේම වෙරළේ ව්‍යායාම කරන්නත් දැක්වුවේ ලොකු උනන්දුවක්. කොහොම හරි සර්ෆ් කරන්න ගිය ගමනේදී ලංකාවේ තරුණයෙක්වත් මෙයාලට හම්බවුණා. අපේ ලංකාවේ කොල්ලටත් බල්ටියක් එහෙම ගහගන්න, චූටි චූටි වැඩ කෑල්ලක් දාගන්න පුළුවන්. එදාම මෙයාලා එකට සෙට්වුණා.

“මේ තමයි ලංකාවේදී මම කියලා දෙන අන්තිම පාඩම."

එහෙම කියලා නැවතිලා හිටපු ගෙදර අඹ ගහකට පටියක් දාලා ව්‍යායාම කරන්න පටන් ගත්තා. යාළුවො දෙන්නම තරගෙට ව්‍යායාම කළා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ තරුණයත් මේ අයට එකතු වුණා. කොහොම හරි මෙයාලා මේ අපූරු චාරිකාව හරිම විනෝදයෙන් ගත කරපු බව නම් පේන්න තිබුණා.

“ඊළඟට අපි යන්නේ ඉන්දියාවට."

නිසල්

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00