2024 ජුනි 15 වන සෙනසුරාදා

දස වසරක ඒ නිහඬ බව බිඳින්න කසුන් - කුෂාණි අමුතුම විදිහක් - K.K KONCERT

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01 193

සරා ස‍‍ඳේ සිරියාවී සඳ රේඛාවී...
විසල් දිලිසෙන සොඳුරු දෑසින් සරන්නී සඳ රේඛාවී
කැරලි කෙහෙරුලි විදාහල සඳ සුරඟනක සිරි මවන්නී...
සඳ රේඛාවී...
ඈ මුවින් ගැයුණු සඳ...
"හීන දහසක
සොයමි ඔබ යළි
ළතෙත් උර මඬලක් හිමි
අහෝ කොහි නුඹ
හමුවේද සකි
තවත් දිනකට ඇහැරෙමි"
මා ඇසූ සඳ... මා මනමත්ය...
එදා මෙදා තුර ඈ ගී සියක් දහසක් නොගැයූ බව මම ඉඳුරාම දනිමි... එහෙත් මා ඇතුල් හද දවාලූ... ප්‍රකම්පමනය කරලූ... ඉසියුම්ම සුසංවේදී ස්වරයකින් ඈ ගැයූ හැම ගීයක්ම ගැයූ වගද මම නිසැකවම දනිමි...
"දිය බිඳුව පතමින්
වැලි කතරෙ සරමී
කඳුළින් බිඳක් මා හෙලූ...
මිදුණු විශ්වය මතට වැටුණා 
කඳුළින් බිඳක් මා හෙලූ..." 
ඈ ගැයූ ගී මංජරියේ මා පෙම් කළ ගී බොහොමයක් අතර දිය බිඳුව පතමින් ගීය මා නැවත නැවතත් විඳි ප්‍රේමණීයත්වයට හේතුව මගේ පපුවේ ගැඹුරුම ඉසව් කොනිත්තන්නට මා කැමතිම ප්‍රකම්පනීය රිද්මයක් සම්මිශ්‍රණය වූ ගැඹුරු ස්වරයකින් ඇය එය ගැයූ නිසාමය. ඒ මට හිතෙන හැටිය. ඒ මට දැනෙන හැටිය. ඉඳින් ඒ මනරම් භාවපූර්ණ හඬෙහි අයිතිකාරිය යළිත් වෙනස්ම තාලයක අමුතුම තාලයක වර්ණයකින් ගයන්නට සැරසෙන මොහොතක් දැන් ඔබත් මමත් අබිමුවය. 
අහන්න...
දිනය - 2024 - ජූනි - 29 - සෙනසුරාදා
වෙලාව - රාත්‍රී 7.00
තැන - නෙළුම් පොකුණ රඟහල
එනවද විඳින්න... K.K. Koncert
SARASAVI BOOK SHOP – NUGEGODA
HEBREWS CAFE – RAJAGIRIYA 
ONLINE  – MYTICKETS.LK
සහ INQUIRIES 0765970707
ඒ ඔබට ඔබේ ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න හැකි තැන් සහ ආකාරයන්ය.

කියන්න කුෂාණි... K.K.K... නැත්නම් K.K KONCERT ජූනි මස 29 සෙනසුරාදා රාත්‍රී 7.00 ට කොළඹ නෙළුම් පොකුණ ප්‍රධාන වේදිකාව මත සිත්තම් කරන්නට ඔබ දැන් සැරසෙනවා. පේවෙනවා. ඉතින් කොහොමද මේ දවස්...

මටත් කසුන්ටත් ආදරය කරන හැම කෙනෙක්ගෙම ආදරය ආශිර්වාදය විඳිමින්, ඒ වගේම මම කසුන්ගේ උපරිම සහයෝගය විඳිමින් ලබමින් මම සහ කසුන් ජූනි 29 සෙනසුරාදා රූ 7.00 ට නෙළුම් පොකුණ රඟහල මතට K.K.K නැත්නම් K.K. KONCERT ගෙන එන්න කැපවීමෙන් ආදරයෙන් ලෑස්ති වෙනවා මේ දවස්වල.
කුෂාණි සහ කසුන් එක්ක K.K. KONCERT සරසන්න කවුද තවත් එකතු වෙන්නේ... K.K. KONCERT සංකල්පනාවේ, සිතුවිල්ලේ අයිතිකාරියගෙන් මට අසන්නට සිත්වෙන්නේ Black Red White ප්‍රසංගයෙන් දස වසරකට පසු දැනෙන්නට දැනවූ ඒ නිහඬතාවය බිඳින්නට සැරසෙන තත්ත්පරයේ ඒ සැමට ස්තූතියි කියන්නට කුෂාණිට කසුන්ට සේම මටද සිතෙන නිසාමය.
නර්තන වින්‍යාසයෙන් මමත් කපිල පලිහවඩනත් ලසන්ත ප්‍රමුදිත සහ මුද්‍රිකා ස්වර්ණතිලකත් එක් වෙනවා. ඔව් ඔබ කියූ පරිදිම මේ ප්‍රසංගමය සංකල්පය සහ පිටපතේ අයිතිකාරිය මම විත්තිය හරි සතුටින් හරි නිහතමානීව මම කියන්නෙ. මේ ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම හරි විශේෂයි. පහන් සන්දීප සහ සචින්ත ප්‍රනාන්දු තමයි එහි වගකීම දෙවුර දරන්නේ. ඒ වගේම ''Choir" විදිහට Soundarei David ගේ Soul Sound Academy එක සහ මන්ත්‍ර කියන ''Choir Team" එක සහභාගී වෙනවා.

කුෂාණි K.K. KONCERT, දස වසරක කුෂාණි - කසුන් නිහඬ නොවූ නිහඬතාව බිඳිමින් ඇහැරෙන මොහොතක රසිකාගාරය බලා හිඳින්නෙම දැනෙන වෙනසක් අපේක්ෂිතව බව මට හිතෙනවා. ඒ රසික බලාපොරොත්තුව වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය කොහොමද?

මගේත් කසුන්ගේන් ආදරණීය රසිකාගාරය වෙනුවෙන් දෙන ලස්සනම සුවිශේෂීම විශේෂත්වය තමයි. කසුන් සහ කුෂාණි විතරක්ම ගී ගයන පළවෙනි ප්‍රසංගය මේ විදිහට තිළිණ කිරීම. මම මේ ප්‍රසංගයේදි %Dancing, Singing, Playing^ යන අංග ත්‍රිත්වයෙන්ම ප්‍රසංගය හා එක්වෙනවා. අලුත් රෑප රචනා වගේම නිර්මාණාත්මක, විශේෂ වූ විවිධත්වයන් සහිත ඉසව් එදාට ඔබට හමුවේවි. ඇත්තටම මට ඕනෑ නිතර දකින ප්‍රසංගවලට වඩා වෙනස් රිද්මයන් දනවන්න. මට හිතෙනවා අපි යම් ස්වරෑපයකින් නිහඬව හිටියත් අපි මේ විදිහට අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් රසිකයන් හමුවෙන්න එනකම් ඔවුන් බලාගෙන ඉන්න ඇති.

ඇයි එහෙම හිතෙන්නෙ?

මට දැනුණා ඒ ආදරය අල්පමාත්‍රයක්වත් අඩු වී නැති විත්තිය.

කොහොමද දැනුණෙ?

ලොකු ප්‍රචාරයක් ලබා නොදිත් ප්‍රවේශ පත්‍ර විකිණෙනවා. කතා කරනවා, අහනවා, සුබ පතනවා, ආශිර්වාද කරනවා. ආදරය අඩු වුණා නම් එහෙම වෙන්නෙ කොහොමද ඉතින්. 

ඇයි කුෂාණි නිර්මාණත් එක්ක කලබල නොවී නිහඬත්වය අත්විඳිමින් නිර්මාණ දායාද කරන්නෙ? මම අහන්නෙ ඔබ සහ කසුන් දෙදෙනාගේම ඒ නිහඬ බවට හේතුව?

මම ආසයි එහෙම කාලය ගන්න. මිනිස්සුන්ට ඒ රහ විඳින්න කාලයක් දෙන්න ඕනෑ. නිර්මාණ ඒකාකාරී නොවෙන්න මම හිතන්නෙ ඒක හේතුවක්. පුරුදු පුහුණු වෙන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න, ඇවිදලා රස්තියාදු වෙලා නිර්මාණ ප්‍රස්තුත හොයාගන්න මම හිතන්නෙ කාලය ගන්න අවශ්‍යයි. ඒ වගේම ජීවිතේ හැලහැප්පීම් එක්කත් නිහඬව කාලය ගන්න වෙන තැන් හමුවෙනවා. මගේ නිර්මාණ ජීවිතය පුරාම ඒ නිහඬ බව කියන්නෙ රුඳී තියෙන දෙයක්. 

කසුන් කල්හාර කියන චරිතය කුෂාණි සඳරේඛා නිර්වචනය කරන්නෙ කොහොමද?

කසුන් කියන්නෙ හරිම ප්‍රතිපත්තිගරුක කෙනෙක්. කිසිම කෙනෙක් හමුවේ එයාගේ ප්‍රතිපත්ති වෙනස් නොකරන කෙනෙක්. ගව් ගණනක් ඈතට දේවල් දකින්න දැක්මක් තියෙන කෙනෙක්. කලාවෙ වටිනාකම් රුකගෙන මාර්ගය පෙන්වන්නෙක්. කසුන්ගෙ මම මූලිකව ගරු කරන වටිනාකම් තමයි ඒ.  එදත් අදත් කසුන්ට මම ආදරය කරන ගෞරවය දක්වන මූලිකම හේතුවත් අන්න ඒ වටිනාකම. කසුන් තුළ හරිම හොඳ මනුස්සයෙක් ඉන්නවා. 

අද ජීවමානව අප අතර නැතිවූ එච්.එම්. ජයවර්ධන සහ මාලනී බුලත්සිංහල කියන්නෙ කසුන්ට කසුන්ගෙ අම්මයි තාත්තයි වගේම සංගීතයට ආදරය කරන ශ්‍රාවකයන්ට අදටත් ජීවමාන වස්තූන්. ඒ වටිනාකම් වගේම ඔබගේ මව සහ පියා (කුෂාණිගේ
පියා මේ වන විට ජිවතුන් අතර නැත)  ඔබ වෙත තිළිණ කළ වටිනාකම් ඔබට මහා සම්පතක් විදිහට දැනෙනවා ඇති. ඒ ආදරය සහ ගෞරවය ඔබ කොහොමද වචනවලට පරිවර්තනය කරන්නෙ?

කසුන්ගෙ අම්මා තාත්තා අද ජීවතුන් අතර නැතත් අදටත් මිනිස්සුන්ගෙ හදවත්වල ඒ දෙදෙනා ජීවමාන වෙන්නෙ සංගීත ක්ෂේත්‍රයට දායාද කරපු අප්‍රමාණ වටිනාකම් නිසා කියලා මම විශ්වාස කරනවා. අනාගත පරපුරට අගයන්න පුළුවන් දේවල් ඉතුරු කර දායාද කරපු දෙදෙනෙක් ඒ. මගේ අම්මා මායා දමයන්ති සහ තාත්තා වික්ටර් විජයන්ත කියන්නෙත් ඒ වගේම ශාස්ත්‍රීය පසුබිමක් තුළ සංගීතයට ආව දෙදෙනෙක්. ඒ ආලෝකය මගෙත් කසුන්ගෙත් ජීවිතවල තැවරිලා ඇති. ඒත් ඒ ආභාෂය ලැබ එහෙත් ඡායා පිටපත් වෙනුවට අපේම අනන්‍යතාවයක් සමඟ අපේම ගමනක් යන්න අපි දෙන්නට හැකි වුණෙත් ඒ අය පෙන්වූ පාර නිසාම වෙන්න ඇති. 

මම විශ්වාස කරනවා සංගීතය සහ කලාව කියන්නෙ දෙවියන් දුන්න තෑග්ගක් බව. අපූරුම තෑග්ගක් බව. එසේම එය සාංසාරික වාසනාවක්. ඔබ ඒ වාසනාව නොඅඩුව ලද තැනැත්තියක් විදිහටයි මම දකින්නෙ. ඒ සතුට ඔබ විඳින්නෙ කොහොමද?

ඇත්තටම නිහතමානී ආදරයක් ආසාවක් තියෙනවා මමත් ආදරය කරන දේවල් සංගීතය සමඟම සම්මිශ්‍රණය වී මේ විදිහට මගේ වටපිටාවෙ තියෙද්දි. මගේ පවුල කියන්නෙ මේ රටේ ලොකුම කලා පවුල. කෝකිල දේවියගේ පටන් මගේ පවුල් පසුබිම සංගීතය සහ කලාව එක්ක යා වෙනවා. ඒ පසුබිමට කසුන්ගෙ පවුල් පසුබිමත් එකතු වුණාම ඇත්තටම ලොකු සතුටක් මට දැනෙනවා.

ඒ උරුමය දේවීන්ද්‍රි කල්හාරා ජයවර්ධන ආදරණීය දියණිය තුළින් ඔබ දකින්නෙ කොහොමද?

මගෙත් කසුන්ගෙත් ආදරණීය දියණිය දේවීන්ද්‍රි කල්හාරා ජයවර්ධන කියන්නෙ අපි දෙන්නටම වඩා දියුණු අමුතුම හැකියාවක් තියෙන හරි අපූරු විදිහට හැමදේම දකින, හිතන අමුතුම චරිතයක්. 

කුෂාණි විදේශීය ප්‍රසංගවලට යන අවස්ථාවලදි ප්‍රේක්ෂක සහ රසික ආදරය ඔයා විඳලා තියෙන්නේ කොහොමද?

මම නිතරම ගී නොගැයුවත් මගේ ගීතවලට හුඟාක් ආදරය කරන අය මට හමුවෙලා තියෙනවා. මගේ රෑපෙටත් වඩා මගේ හඬට බැඳුණු අය මට හමුවෙලා තියෙනවා. මගේ ගීත ඇල්බමවලට සමහර ගීතවලට හුඟාක් ආදරය කරන අය මට හමුවෙලා තියෙනවා. මම සහ කසුන් ගැයූ සරා සඳේ ගීය හුඟක් ජනප්‍රියයි කියන එක මට දැනුණෙ එහෙම හමුවුණු අයගෙන්, සමහර අය මට තියෙන ආදරය නිසා එයාලගෙ දුවලට කුෂාණි සඳරේඛා කියන නම තියලා. ඒක හරි ලස්සන සහ අව්‍යාජ විදිහට මට තියෙන ආදරය ප්‍රකාශ කිරීමක්. ඇත්තටම මිනිස්සුන්ගෙන් ආදරය ලැබීම මොන තරම් වාසනාවක් සහ පිනක්ද කියලා දැනෙනවා. මගේ සහ කසුන්ගෙ ගීත අනික් අය ගායනා කරනවා දකිද්දිත් අපි හරි සතුටක් විඳිනවා.

කසුන් ගැයූ ගීවලින් හිතට හුඟක් දැනුණු ගීත තියෙනවද?

මේ දවස්වල මටත් කවියක් ලියන්න ගීතයට මම හරි ආසයි. එයා ගැයූ ගීවලින් 75෴ ක් විතර ගීතවලට ඇත්තටම මම හරි ආසයි. 

කුෂාණිගෙ කටහඬට වගේම ලස්සන කැරලි කොණ්ඩයට සහ ලස්සන දිලිසෙන ඇස් දෙකට ආදරය කරන අයත් හුඟක් හමුවෙලා තියෙනවද?

පුංචි කාලෙ ඉඳන්ම හුඟක් අය මට කියන දෙයක් තමා මගේ කොණ්ඩෙට, ඇස් දෙකට, හිනාවට ආසයි කියලා. තරුණ කාලෙදි මගෙන් ආදරය ඉල්ලගෙන ආව හුඟක් අය කියපු කතාවත් ඒක. ඒ දවස්වල සමහරු මට ඒ ගැන කියලා කවි ලියලා එව්වා. අදටත් එහෙම කවි ලියලා එවන අය ඉන්නවා. මගේ කැරලි කොණ්ඩය, ඇස් දෙක, හිනාව ලස්සනයි කියලා අගය කරලා. හොඳයි සතුටුයි කියලා හිතෙනවා ඉතින්. 

ඔබ සහ කසුන් සම්මානනීය වූ මතකයන් බොහොමයක් ඇති?

ඔව්.. 2016 හොඳම ගායිකාව වශයෙන් මා ලද සරසවි සම්මානය ඇතුළු සම්මාන රුසක් මම ගායනය වෙනුවෙන් හිමි කරගෙන තියෙනවා. ඒ වගේම නර්තනය වෙනුවෙනුත් මම සම්මාන ලබා තියෙනවා. ගායනය වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර අවස්ථා මට ලැබිලා තියෙනවා. මටත් වඩා කසුන් සම්මාන ලබා තියෙනවා. ජනාධිපති, සුමති, සරසවි, OCIC වැනි සම්මානවලින් කසුන් සම්මානනීය වූ ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. 

වේදිකාව තුළ වගේම ඕනෑම ගායන අවස්ථාවක් තුළ කසුන්ගෙ තියෙන්නෙ හරි නිහඬ භාව ප්‍රකාශනයක් සහිත ඉරියව්. මට දැනෙන්නෙ කසුන් කල්හාර කියන්නෙ එයාගෙම ලෝකෙක ඉඳගෙන ගී ගයන ගායකයෙක්. ඔබ ඊට ඉඳුරාම වෙනස්. මේ සංයෝජනය හරි සුන්දරයි කියලත් හිතෙනවා. ඔබට දැනෙන්නෙ කොහොමද?

ඇත්තටම කසුන් සින්දු කියද්දි. ව්‍යාජ ආටෝප නෑ එයාගෙ. ප්‍රේක්ෂකාගාරය දිහා බලන්නෙත් නැති තරම්. එයා ගයන්නෙ එයාගෙම ලෝකෙක ඉඳන්. අපි දෙන්නා එහෙම බැලුවම වර්ග දෙකක දෙන්නෙක්. අපි දෙන්නා ඉන්නෙ පැති දෙකක. ඒ වෙනස ජූනි 29 වැනිදට ප්‍රේක්ෂකයන්ටත් අත්විඳින්න හම්බවෙයි. ඒ වෙනස තුළත් වර්ණවත් ප්‍රසංගයක් නිමවේවි. කවදාවත් වෙනස් නොවුණු නිහඬ ප්‍රකාශන සහිත කසුන්ගේ ගී ගයන ස්වභාවයට මම හුඟක් ආදරෙයි කියන එකත් ඉතින් මම කියන්නම්.

• සංජීවිකා සමරතුංග
• සුමුදු හේවාපතිරණ සහ FB