2024 ජුලි 06 වන සෙනසුරාදා

ඇය - ශ්‍රියානි

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

ඉතා තාත්වික - ස්වභාවික රංගන ශෛලියක් ඇයට තියෙනවා
රවින්ද්‍ර රන්දෙණිය
අපේ සිනමා ඉතිහාසයේ ඉහළින්ම බැබළෙන රංගන ශිල්පිනියක් හැටියට මම ශ්‍රියානිව හඳුන්වනවා. ක්ෂේත්‍රයේ ඉහළින්ම තමන්ගෙ නම රුක ගනිමින් අවුරුදු 60ක්, එහෙමත් නැත්නම් දශක හයක් සම්පූර්ණ කරනවා කියන්නේ ඇත්තටම ආශ්චර්යක්. ශ්‍රියානි ඉතා දක්ෂ, ඒ වගේම මේ රටේ ජනප්‍රියත්වය දිනාගත් රංගන ශිල්පිනියක්. ශ්‍රියානිට ඇත්තේ ඉතාම තාත්වික, ස්වභාවික රංගන ශෛලියක්. ඇය රඟපානවා නෙවෙයි, එදිනෙදා ජීවිතයේ ඒ චරිතවලට පෙනී සිටින තරමටම ස්වභාවික විදිහටම රංගනය ඉදිරිපත් කරනවා. ඇයව තිරයේ අහිංසකාවිය විදිහටත් හඳුන්වනවා. ශ්‍රියානිගේ රංග කලාව තුළ ඇය මේ තරම් ජන ප්‍රසාදයට පත් වූයේ ඇගේ රංගනයේ තිබුණු අපිට සමීප ස්වභාවික, ළෙන්ගතු රංගන ශෛලිය නිසයි. ඒ වගේ රංගන ශිල්පිනියක් අපේ සිනමාවට උරුම වීම අපිට ලොකු භාග්‍යයක් වගේම අපේ සිනමාවට ලොකු ගෞරවයක් විදිහටයි මම හිතන්නේ. දශක හයක් කලාතුරකින් නිර්මාණවේදියකුට සමරන්නට ලැබෙන අවස්ථාවක්. ඉතින් එහෙම අවස්ථාවක් ඇය ඉතා ගෞරවාන්විතව සමරනවා. ඒ තරමටම ඇය වාසනාවන්තයි. ශ්‍රියානි අදත් එදා වගේම ජනප්‍රියයි. ඒ වගේම ඉතාම සුහදව හැමෝම එක්ක කටයුතු කරන නිහතමානී සහ අදටත් තාරුණ්‍යය ඒ මුහුණේ රඳවාගෙන සිටින රංගන ශිල්පිනියක්. මම ශ්‍රියානිට ඉත සිතින් සුබ පතනවා. අපි බොහෝ දුර ගමනක් එකට ආවා. මගේ දෙවැනි චිත්‍රපටය වුණු "දෑස නිසා" චිත්‍රපටයේ ඉඳන් අපි එකට ආ ආපු ගමනක් තියෙනවා. ඒ ගමනෙදී සැමරුම් බොහෝයි. ඒ සියල්ල සිහිපත් කරමින් මම ශ්‍රියානිට මගේ මුළු හදවතින්ම සුබ පතනවා.

ඕනෑම චරිතයකට ඇතුළු වෙන්න ශ්‍රියානිට පුළුවන්
මාලිනී ෆොන්සේකා
ශ්‍රියානි වේදිකාවෙන් කලාවට අවතීර්ණ වුණු කෙනෙක්. ශ්‍රියානි මුල් කාලයේදී රඟපෑ, “නරි බෑනා" වේදිකා නාට්‍ය මම බලලා තියෙනවා. ඒ වේදිකාවට හුරුවෙලා පැමිණි පුහුණුව තමන්ගේ රංගනයට ලොකු අවස්ථාවක්. ශ්‍රියානිට ඒ අවස්ථාව ලැබුණා. වේදිකාවේ පුහුණුව හරි වටිනවා. තමන්ගේ වෘත්තිය වගේම තමන්ගේ ගෞරවයත් ආරක්ෂා කරමින් ශ්‍රියානි දශක හයක් මේ ගමන ඇවිත් තියෙනවා. ඇගේ අඩිතාලම හරි ශක්තිමත්. ඇය දක්ෂ වගේම හරිම ජනප්‍රියයි. ඕනෑම චරිතයකට ශ්‍රියානිට ඇතුළු වෙන්න පුළුවන්. ඇයට හොඳ කියැවීමක් තියෙනවා. සිනමාව, නාට්‍ය, පොත්පත් ගැන ඇය කියවපු, ඇසුරු කරපු කෙනෙක්. ඉතින් ඇයගේ දශක හයක මේ ආගමනයට මම මුළු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.

නවකයන්ට කවදාවත් වෙනසක් නොකළ කඩිසර සුන්දර කලාකාරියක්
අනෝජා වීරසිංහ
මම මුලින්ම "මැණික් මාලිගා" චිත්‍රපටයේ ශ්‍රියානි අක්කා එක්ක රඟපෑවා. ඒ මගේ මුල්ම කලා අවධියයි. ඒ වෙද්දිත් ශ්‍රියානි අක්කා ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබපු කලාකාරියක්. ජනප්‍රිය කලාකාරියක්. හැබැයි අක්කා බොහොම නිහතමානීව මට රංගනයේ දී ලොකු සහයෝගයක් වගේම බොහෝ නොදන්නා දේවල් කියලා දුන්නා. නවකයෙක් කියලා කිසිම වෙනසක් හෝ අක්කා මට පෙන්නුවේ නැහැ. සමහර නවකයන්ව ප්‍රවීණයන් ගණන් නොගෙන ඉඳිද්දි අක්කා කිසිම වෙලාවක ඒ වෙනස පෙන්නුවේ නැහැ. ඇය නවකයන්ට ගොඩක් උදව් කළා. පසු කාලයේදී මම ශ්‍රියානි අක්කා නිෂ්පාදනය කළ "ඔබට දිවුරා කියන්නම්" චිත්‍රපටයේ එකට රඟපෑවා. ඒ චිත්‍රපටයේ නිෂ්පාදක හැටියට අක්කා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. කලාවේ අවුරුදු හැටක් ගත කරන ශ්‍රියානි අක්කා අපට ඉන්න ප්‍රවීණතම නිළියක්. තවමත් ඇය කඩිසර, සුන්දර, කලාකාරියක්. ඉතින් ශ්‍රියානි අක්කාට නිදුක් නිරෝගී සුවය ලබමින් තව බොහෝ කාලයක් රසික රසිකාවියන් වෙනුවෙන් වැඩ කරන්න හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

ඇය හැම විදිහෙන්ම සාර්ථක ගැහැනියක්
ක්ලීටස් මෙන්ඩිස්
ශ්‍රියානිට ලබලා දෙන මේ උපහාරය ශ්‍රියානිට විතරක් නෙවෙයි මේ කලාවේ නියැලී සිටින ප්‍රවීණ සහ නවක සියලු දෙනාටම ලොකු ගෞරවයක් ලෙසයි මම දකින්නේ. ශ්‍රියානිගෙ පවුලේ අය එක්කත් මම හරි සම්බන්ධ කෙනෙක්. ඇයව මට මුලින්ම මුණගැහුණේ "පාරමිතා" චිත්‍රපටයේ දි. එදා මට ඇය රංගනයේදී දුන්න ශක්තිය හරි වටිනවා. ඇයගේ තියෙන නිහතමානීකම අදටත් මම ඒ විදිහටම දකිනවා. ඇය කොච්චර ලොකු තැනකට ගියත් ඒ නිහතමානිකම බිංදුවක්වත් අඩුවෙලා නැහැ. කලා ජීවිතය වගේම ඇගේ පෞද්ගලික ජීවිතයත් සාර්ථක සහ සම්පූර්ණයි කියලයි මට හිතෙන්නේ. අදටත් ශ්‍රියානි රෑගත කිරීමකට ආවත් එයාගේ සැමියා වන අමරෙ අයියා ගැන බලලා හැම යුතුකමක්ම කරලා තමයි එන්නේ. ඒ ආදරේ එදා වගේම අද වනතුරු තියෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන් එක්ක තියෙන බැඳීම හරි අපූරුයි. ඒ තරමට ඒ සම්පූර්ණ පවුලක්. එයා හරිම සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඇගේ මේ ගමනට මම මුළු හදවතින්ම සුබ ප්‍රාර්ථනා එකතු කරනවා.

නිවිච්චි සන්සුන් සුන්දර ඇය හැමදාම තරුණයි
සංගීතා වීරරත්න
ශ්‍රියානි අක්කව මම මුලින්ම දැක්කෙ මගේ තාත්තා අධ්‍යක්ෂණය කරපු "වීරා" චිත්‍රපටයේ දී. එතකොට මම පාසල් යන සිසුවියක්. ශ්‍රියානි අක්කා අපේ ගෙදර රෑගත කිරීම්වලට ආවා. හරිම නිවිච්ච, සන්සුන්, සුන්දර, කලබලයක් නැති හැමෝම එක්කම හරිම මිත්‍රශීලි ශ්‍රියානි අක්කට අපි හරි ආදරෙයි. ටික කාලෙකින් ශ්‍රියානි අක්කා එක්ක මට "දුවක මවක මිස" චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. මගේ අම්මා විදිහට ඇය රඟපෑවා. ඇත්තටම ඇය මාව හරිම ආදරණීය මවක් විදියට බලා ගත්තා. ශ්‍රියානි අක්කා එක්ක රඟපාපු ඒ මතකය හරි සුන්දරයි. "රිදී රුයක්" මුල සිටම අපි එකට වැඩ කළා. රඟපාන්න විතරක් නෙවෙයි, සංවිධාන කටයුතුවලදිත් ශ්‍රියානි අක්කා ගොඩක් අපිට උදව් කළා. අක්කා කාත් එක්කත් හොඳින් ඉන්න, හොඳින් ඇසුරු කරන කෙනෙක්. ඒ හිතේ තියෙන මනුස්සකම නිසාම ඇය කවදාවත් මුහුණෙන් වයසට නොයන කෙනෙක්. මීට අවුරුදු තිස් ගණනකට උඩදී මම දැක්ක  ශ්‍රියානි අක්කමයි අදටත් මම දකින්නේ. ඒ මුහුණේ, ඒ හැඩයේ, ඒ හිනාවෙ කිසිම වෙනසක් වෙලා නෑ. ඇය වයසට නොයන ආදරණීය කලාකාරියක්.

මාව කලාවට අරගෙන ආව ඇය කවදාවත් මට අමතක කරන්න බෑ
සේමිණී ඉද්දමල්ගොඩ
සේමිණී ඉද්දමල්ගොඩ ගැන කතා කළොත් ඒ කලා ජීවිතය තුළ ඉදිරියෙන්ම සිටින නම තමයි ශ්‍රියානි අමරසේන කියන්නේ. ශ්‍රියානි අමරසේන මහත්මියගේ ළෙන්ගතු අත නැත්නම් අද සේමිණී ඉද්දමල්ගොඩ කියන කලා ශිල්පිනියක් බිහිවන්නේ නැහැ. ඒ නිසා මම මගේ ජීවිතේ කවදාවත් ඇයව අමතක කරන්නේ නැහැ. ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඇයගේ විවාහයෙන් පසුවයි. මමත් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මගේ විවාහයෙන් පසුවයි. ඇය කලා ක්ෂේත්‍රයට මාව හඳුන්වලා දීපු ඒ ගෞරවය මගේ හිතේ හැමදාමත් තියෙනවා. මම මුලින්ම රඟපෑවේ "ඉරබටු තරුව" ටෙලිනාට්‍යයි. ශ්‍රියානි අක්කගේ තරුණ කාලයේදී තමයි මම රඟපෑවේ. ඒකෙ පළවෙනි දර්ශනයේ සිට අක්කා මම දිහා බලාගෙන හිටියා. අක්කාගේ ගුරුහරුකම් අද වනතුරු මට ලැබෙනවා. අක්කාගේ හරි ලස්සන පෙනුමක් තියෙනවා. අදටත් ඒ පෙනුමේ වෙනසක් නැහැ. හදවත වගේම ඇයගේ මුහුණත් හරි ලස්සනයි. ඒ පින්කාර, සුන්දර ශ්‍රියානි අක්කට මම මුළු හදවතින්ම සුබ  පතනවා.

• දිශානි ජයමාලි 

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01