සතුට රැඳී ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපස වග දැනෙන අරුමය
යටගියාවක මතක අතර සැරිසරද්දී අද දවසේ ඔබ විඳින සතුට, ප්‍රීතිය සහ තෘප්තිය කොතෙක් දැයි මට කියන්න?
ඇත්තටම නිළියක් වීමෙන් ලැබුණු ආදරය කියන්නෙ මගේ හදවතටම දැනෙන ආදරයක්. ලොකූ සතුටක්, තෘප්තියක්, ප්‍රීතියක් ඒ යටගියාවේ මතක අතර සැරිසරමින් මම විඳිනවා. මට හිතෙන්නෙ මම නිළියක් වීම මා ලද වාසනාවක් කියලා. මේ මොහොෙත් මට හිතට දැනෙන්නෙ සතුට සමඟ ගැටගැසුණු උණුසුම් හැඟුම් සමුදායක්. කලාව කියන්නෙ උදේ ගිහින් හවසට එන රුකියාවක් නෙවෙයි. කලාව තුළ විවිධ අදහස්, මතිමතාන්තර, නව චින්තන, නව මානයන්, අලුත් මිහිරක් උපද්දවන බොහෝ දේවල් ගැබ් වී තියෙනවා. 'ෂූටින්' ගියාම වුණත් කැපවීමෙන් වෙලාවට වැඩ කරලා ලබාගන්න දේ බොහෝමයි. වරෙක පොඩි දුකක්, සැප අඩුකම් නොවින්දා නෙවෙයි. රඟපෑමෙදි නිදි මරන්න, අව්වෙ ඉන්න, අසීරු තැන්වල ගමන් කරන්න වෙනවා. උදාහරණයක් මුහුදු වෙරළක රඟපාද්දි, මුහුද මැද්දට ඇවිදගෙන යන්න කියද්දි රුල්ල හයියෙන් ආවොත් ගහගෙන යනවා. එවැනි අවදානම් අභියෝග දරාගන්න පුළුවන් ශක්තියක් එක්ක තමයි අපි රඟපාන්නෙ. ඇත්තටම එක අතකින් රඟපෑම කියන්නෙ අභියෝගයක් තමයි. එහෙත් ඒ අභියෝගය ඔස්සේ ලබන සතුට, තෘප්තිය කොයිතරම්ද කියලා වචනවලින් කියන්න බැරි තරම්. මම දන්නෑ එවැනි සතුටක් හා තෘප්තියක් ලබන්න පුළුවන් රුකියාවක් තවත් තියෙනවද කියලා.
සැබැවින්ම කලාව කියන්නෙ න්‍යායන් ඔස්සේ පමණක් ඉගෙන ගත හැකි විෂයක් නෙවෙයි. ඔබ විශ්වාස කරනවද එය සාංසාරික කුසලයක් සහ වාසනාවක් බව?
ඇත්තටම කලාව හැමෝටම පිහිටන හැකියාවක් නෙවෙයි. කලාව හා සම්බන්ධ ඇතැම් සිද්ධාන්ත න්‍යායන් ඔස්සේ ඉගෙන ගත හැකි වුවත් රඟපෑම කියන්නෙ න්‍යායන් ඔස්සේ ප්‍රගුණ කළ හැකි දෙයක් නෙවෙයි. එය හරි ප්‍රායෝගික විෂයක් වගේම මම විශ්වාස කරනවා එය ඇත්තටම සාංසාරික කුසලයක් සහ වාසනාවක් බව. කලාව තුළ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. කලාව අභ්‍යන්තරයේ තියෙන සිතුවිලි තේරුම් ගැනීම හරි වැදගත්. සැබැවින්ම කලාව කියන්නෙ බොම්බයි මොටයි වැනි දෙයක් නෙවෙයි. එය වගකීමක්.
දශක හයක් මුළුල්ලේ ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය සහ ජනප්‍රියත්වය රඳවා තබා ගැනීම කියන්නෙම එක්තරා ආශ්චර්යයක් කියලයි මට හිතෙන්නෙ. මොකක්ද ඔබ මට දෙන උත්තරය?
ජනප්‍රියත්වය, ආදරය සහ ආකර්ෂණය කියන්නෙ රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ලබන්න පුළුවන් පුදුමාකාර සතුටක් සහ වාසනාවක්. ඇත්තටම එය වෙනස් නොවී ලැබීම පුදුම දෙයක් නේද? අදටත් මම දැක්කම ඇවිල්ලා කතා කරන ප්‍රේක්ෂකයන් හුඟක් මට ඉන්නවා. ඒ ආදරය, මට දෙන සතුට හරි ප්‍රබලයි. නළුවෙක් හෝ නිළියක් විදිහට කෙනෙක් ගොඩනගා ගන්න ප්‍රතිරෑපය ප්‍රබල වූ තරමට, ශක්තිමත් වූ තරමට මට හිතෙන්නෙ ආදරය සහ ගෞරවය නොසිඳෙන උල්පතක් වගේ. ඇතැම් අයගේ ජනප්‍රියත්වය කාලයත් සමඟ හීන වී යනවා. එහෙත් දීර්ඝ කාලීනව එය රඳවාගෙන තබාගන්න පිරිසක් ඉන්නවා. මට හරි ආඩම්බරයක්, සතුටක් දැනෙනවා මමත් එහෙම දීර්ඝ කාලීනව ආදරය, ජනප්‍රියත්වය සහ ආකර්ෂණය රුකගත් නිළියක් කියන හැඟීමෙන්. හරිම නිහතමානීව මම අදටත් මේ මොහොතෙත් ඒ ආදරණීය ආදරයේ සතුට විඳිනවා.
වයස අවුරුදු අසූවක් කියන්නෙ ඉලක්කම්වලින් ගත්තොත් ලොකු වයසක්. ඒත් මට හිතෙන්නෙ වයස කියන්නෙ අපේ සිතුවිලි. සිතුවිලි තරුණ නම් අපි හැමදාමත් තරුණයි. මට හිතෙනවා ශ්‍රියානි අමරසේන කියන්නෙ ඊට හොඳම නිදර්ශනයක් කියලා. මම කියන දේට ඔබ එකතු කරන්නෙ කොහොම අදහසක්ද?
ඔව් හිත තමයි ප්‍රබලම දේ. හිත හැමදාම සතුටින් නම්, හිත අපිරිසිදු නැත්නම්, ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය හිතෙන් ඈත් කර තියන්න පුළුවන් නම් ඒ තුළින් උපදින සතුට, මනස වගේම ශරීරයත් සුවපත් කරනවා. ඒ සුවපත්භාවය තුළින් අපි හැමදාම තරුණයි. ඒ වගේම කලාව කියන්නෙ හරි සුන්දර දෙයක්. ඒ සුන්දරත්වය එක්ක ගමන් කරද්දි හිත පිරිසිදු වෙනවා. ඉතින් හදවතින්ම කලාවත් එක්ක සැරිසරද්දි මට හිතෙන්නෙ අපි වයසට යන්නෙ නැහැ කියලයි. මම රෑපය ගැන වගේම මගේ කෑම බීම, ව්‍යායාම, හැමදේම ගැනම හරි සැලකිලිමත් වෙන කෙනෙක්. මොකද රංගන ක්ෂේත්‍රයට රෑපය කියන්නෙ වැදගත්ම දෙයක්. මම කවදාවත් මගේ වයස ඉලක්කම්වලින් හිතන්නෙ නැහැ. සිතුවිලි තමයි අපේ තරුණ බව තීරණය කරන ප්‍රධාන සාධකය.
එදා මෙදා තුර ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවල විදිහ ගැන හිතද්දි මම ආසයි ලියුම්වලින් ප්‍රේක්ෂක ආදරය, ගෞරවය දනවපු අතීතයට ඔබත් එක්ක ඇවිදින්න?
මම රඟපෑමට ඇවිල්ලා මුල්ම කාලෙ මට ලියුම් එකක්වත් ආවෙ නෑ. ඉතින් මට හරිම දුකයි. ඒත් ටික කාලයක් යද්දි ලියුම් මිටි ගණන් එන්න පටන් ගත්තා. නවත්තගන්න බෑ දවස ගාණෙ ලියුම් එනවා. තැපැල් සේවකයා කියනවා, මගේ ලියුම් මිටිය පොඩියි, මිස්ගෙ ලියුම් මිටිය හරි ලොකුයි කියලා. මුල් කාලෙ මම ඒ ලියුම් ඔක්කොටම උත්තර ලිව්වා. ඒ ලියුම් ඔක්කොම මම කියවනවා. ඒත් කාර්යබහුල වෙන්න වෙන්න එහෙම ලියුම් ලියන්න බැරි වුණා. හැබැයි මම ඒ හැම ලියුමක්ම කියවලා ලොකු පෙට්ටියකට දාලා එකතු කළා. අද වගේ දුරකථන පහසුකම් නොතිබුණු නිසා දුරකතනයෙන්වත් ස්තූතියි කියන්න විදිහක් තිබුණෙ නෑ. කාලයක් තිස්සෙ එකතු කරපු ලියුම් පෙට්ටිය කාලයත් එක්කම නැතිවෙලා ගියා. ඒත් මට අද හිතෙනවා අනේ ඒ ලියුම් පෙට්ටිය තිබුණා නම් කොච්චර වටිනවද කියලා.
එහෙත් ජීවිතේ භෞතිකව අත්හැරෙන සමහර දේවල් හදවතින් අත්හැරෙන්නෙ නෑ නේද?
ඒක ඇත්ත. භෞතිකව අහිමිවෙලා ගියාට ඒ ලියුම්වල තිබුණු ආදරය ගැන හැඟීම, ගෞරවය එදා වගේම අදත් මට දැනෙනවා.
ඒ කාලෙ ප්‍රේක්ෂකයො මොන විදිහටද එයාලගෙ හැඟීම්, ආදරය වචනවලට එකතු කරලා තිබුණෙ?
ආදරය තුළම මාව විවේචනය කරපු තැනුත් තිබුණා. මගෙන් ඉල්ලීම් කරපු තැනුත් තිබුණා. අක්කෙ ඔයා තමයි සිනමාවෙ අහිංසකාවිය, ඔයා හැමදාම අහිංසකාවිය වෙලා ඉන්න, නපුරු චරිත ඇත්තටම ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා කියපු ප්‍රේක්ෂකයන් බොහෝ අය හිටියා. මගේ චිත්‍රපටයක් ආවම ඒක බලලා ප්‍රතිචාර දක්වපු ගොඩක් අය හිටියා. මම ඉතින් හරි ආසාවෙන් මඟ තොටේ හම්බවෙලා ප්‍රේක්ෂකයෙක් යමක් කිව්වත් හොඳට අහගෙන ඉන්නවා. හැබැයි මම නිළියක් වුණේ විවාහයෙන් පස්සෙ නිසා මට මට ආදර ආරාධනා නම් ලියුම්වලින් ආවෙ නෑ.
ලාංකික සිනමාවේ විශිෂ්ට සිනමා පෞරුෂයක් ලෙසින් නම් ලද රංගධරයන් සමඟ රංගනයේ යෙදෙන්න තරම් ඔබ වාසනාවන්ත වුණා. ඒ සුන්දරම මතක ඔබ සිහිපත් කරනවා නම් අපි ආසයි අහගෙන ඉන්න?
මුල්ම කාලෙ මම රඟපාපු ඔස්වල්ඩ් ජයසිංහ, සේනාධීර රෑපසිංහ වගේ නළුවන් ගැන මතක හරි ආශ්චර්යයක් වගේ. ඇත්තටම ඔවුන් දැවැන්ත රංග පෞරුෂයන් තිබුණු නළුවන්. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, මේ වගේ බොහෝ දෙනෙක් පසුකාලීනව මගේ රංගන ජීවිතේදි මම රඟපාපු සිනමාවේ දැවැන්ත රංග පෞරුෂයන් අතර හිටියා. ටෝනි රණසිංහ කියන්නෙ මා එක්ක හුඟාක් රඟපාපු නළුවෙක්. මේ හැම කෙනෙක්ගෙන්ම රඟපෑමේදී පුදුම සහයෝගයක් මට ලැබුණෙ.
කඩවසම් ටෝනි රණසිංහ කියන්නෙ කොයි වගේ කෙනෙක්ද?
ටෝනිව සිනමාවට ගෙනාව ඒ කාලෙ විසිතුර පුවත්පතේ කතුවරයා වෙච්ච ප්‍රවීණ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන කියන මෙග් මහත්තයා, ඇලෙක්ස් රණසිංහ කියන ඡායාරෑප ශිල්පියා ටෝනිගෙ අයියා. ඔහු විසිතුර පත්තරයට ඡායාරෑප සැපයුවා. මගේ මහත්තයා ටෝනිව අඳුනා ගත්තට පස්සෙ ටෝනිගෙ ලස්සන දැකලා ටෝනිව නළුවෙක් කරන්න එක්ක ගිය ගමනෙදි තමයි පරසතු මල් චිත්‍රපටය ඔස්සේ ටෝනි රඟපෑමට ආවෙ. ටෝනි ඉක්මනින් සිනමාව තුළ ජනප්‍රිය චරිතයක් වුණා. ටෝනි කියන්නෙ දැවැන්ත පෙනුමක් තිබුණු අමුතුම කඩවසම් නළුවෙක්.
විජය ගැන ඔබේ මතකය කොහොම එකක්ද?
විජය මිය ගිහින් අවුරුදු තිස් ගණනකට වැඩිය ගත වුණත් අදටත් විජය ගැන මතකයටත් මිනිස්සු ආදරෙයි. විජයට තියෙන ආකර්ෂණය අදටත් ගොඩක් හදවත්වල එහෙමමයි. විජය කියන්නෙ හරිම සුහදශීලී, නිහතමානී, ලස්සන හිනාවක් තිබුණු කඩවසම් නළුවෙක්. එයාගෙ හදවතේ මනුෂ්‍යයත්වයට ලොකු ඉඩක් වෙන්වෙලා තිබුණා. ඒ කාලෙ රඟපෑමේදී විජයට ලොකු මූල්‍යමය වටිනාකමක් හිමිවෙලා තිබුණා. ඒත් විජයට තිබුණු පරිත්‍යාගශීලී හදවත තුළ එයා හැමදේම සල්ලිවලට ගණන් හදපු නළුවෙක් නෙවෙයි. හිතවත්කම් වෙනුවෙන් සල්ලි අමතක කරපු තැන් තිබුණා. ඒ වගේම ඔහු විශිෂ්ට ගායන ශිල්පියෙක්. අනේ ඇත්තටම ඒ මතක හරි සුන්දර විදිහට දැනෙනවා.
පොත් කියවන්න, ලියන්න තිබුණු කැමැත්ත සහ ආසාව අදටත් එහෙමමද?
ඔව්. පුංචි කාලෙ ඉඳන් මම හරියට නවකතා, කෙටිකතා, කවි පොත් කියවනවා. සිංහල සාහිත්‍යයට සහ බෞද්ධ දර්ශනයට මගේ ලොකු ඇල්මක් තිබුණා. කලාවටත් ඒ අතර හිත යොමු වුණා. මම හරියට චරිත කතා කියවපු කෙනෙක්. රොබින්සන් ක_සෝ මම කිහිප වතාවක් කියෙව්වා. ප්‍රශ්න හමුවේ ගරා නොවැටී සියදිවි නසා නොගෙන ජීවිතේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පොතකට කොච්චර දේවල් කියා දෙන්න පුළුවන්ද? ඇත්තටම මිනිස්සුන්ට පොතක් ඔස්සේ ජීවිතය හරි ගැඹුරින් කියවන්න පුළුවන් කියන එක මම අත්දැකීමෙන්ම ඉගෙන ගත්ත කෙනෙක්.
ඔබ තුළින් විද්‍යමාන වන ප්‍රියශීලී, සුන්දර පෙනුම තුළ හමු නොවෙතැයි සිතන ගැඹුරු ශක්තිවන්ත ගැහැනියක් ආත්මීය වශයෙන් ඔබ හා බැඳී ඉන්න බව මට දැනෙන දෙයක්. ඔබට ඔබව දකින්න පුළුවන් කොහොමද?
ඔබට එහෙම මාව කියවන්න පුළුවන් නම් මාව කියවන්න පුළුවන් තවත් අයටත් මාව එහෙම දකින්න පුළුවන් ඇති. ඔව් මම එහෙම හුඟක් ශක්තිවන්ත ගැහැනියක්.
දශක හයක සිනමා ජීවිතය ජූලි මස 09 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 6:30ට මේ අයුරින් අගයන්න සැරසෙන මොහොතක ඒ සතුට ඔබ විඳින්නෙ කොහොමද?
ඇත්තටම මට තියෙන්නෙ පුදුමාකාර සතුටක්. අවුරුදු තුන හතරක සිට හුඟක් අය මෙහෙම දෙයක් කරන්න යෝජනා කළත් ඒක කාලයත් එක්කම මඟහැරී ගියා. දැන් එයට අවස්ථාව ඇවිත්. මගේ සිනමා ජීවිතය, මගේ ගමන් මඟ ගැන, ඒ ගමනේදී දුක සතුට හමුවූ තැන් ගැන, අභියෝගයන්ට මුහුණ දුන් තැන් ගැන තව කෙනෙකුට මේ තුළින් හෝ යම් ආදර්ශයක් ලැබෙනවා නම් එය මට හරි සතුටක්. මම සියල්ල උපයා ගත්තෙ මගේ මහන්සියෙන්, මගේ හැකියාවෙන්. මට මතකයි නරි බෑනා නාටකය වේදිකාගත වුණාට පස්සෙ මට ලියුම් කවරෙක දාලා මුලින්ම ලැබුණා රුපියල් පහළොවක්. ඒ කාලෙ හැටියට රුපියල් පහළොව ලොකු මුදලක්. මුලින්ම චිත්‍රපටවල රඟපෑවෙ රුපියල් පන්දාහක් වැනි මුදලකට. හැටේ දශකයේ අග භාගෙදි වගේ රුපියල් පන්දාහක් කියන්නෙ ලොකු ගාණක්. මට මතකයි මුලින්ම ලැබුණු රුපියල් පහළොව මම තැපැල් කන්තෝරුවෙ පාස් පොතේ දාලා ඉතුරු කළා. කලා ශිල්පීන්ගේ මම දකින එක දුර්වලතාවක් තමයි ජනප්‍රිය වෙද්දි අතට ලැබෙන මුදල් පරිහරණයේදී ඔවුන්ගෙ තියෙන දුර්වලකම. මම හැමදාම හැම රුපියලක්ම අරපරිස්සමෙන් වියදම් කරපු හැමදේම නිසි පරිදි කළමනාකරණය කරගෙන මගේ මහත්තයත් එක්ක එකතුවෙලා ගෙවල් දොරවල් හදාගෙන දියුණුවට පත්වෙච්ච කෙනෙක්. තමුන්ගේ කලාව, තමුන්ගෙ ජීවත්වීමේ කලාව අවබෝධ කර ගැනීම තමන්ගෙ යුතුකමක්. මම එහෙම හිතපු නිසා තමා අද මම ස්ථාවරව මානසික සතුටින් ඉන්නෙ. ඉතින් එවැනි ජීවිතයක් තුළින් මගේ ගමන මම හිතනවා ඇත්තටම කෙනෙක්ට සුබවාදී මඟපෙන්වීමක් කියලා.
ආතර් යූ අමරසේන කියන ප්‍රවීණ මාධ්‍යවේදියාට... ඔබව සිනමාවට ගෙනා ඔබේ ආදරවන්තයාට... ඔබේ සැමියාට අද දවසේ ඔබ ගැන දැනෙන සතුට ඔබ දකින්නෙ කොහොමද?
එයා පුදුම සතුටකින් ඉන්නෙ. මම ලියූ මගේ මතක සිත්තම් කියන පොත මම ප්‍රදානය කරන්නෙ මාව නිළියක් කරපු මගේ ආදරණීය මහත්තයට. මගේ මුළු ජීවිතේම ඒ පොතේ අකුරු අතර පිටු අතර තියෙනවා. එයා එදාට හරිම සතුටින් පුදුමයක් විදිහට ඒ පිදුම බාරගනීවි.
අවසන් වශයෙන් මට කියන්න ඔබ ස්තූතියි කියන්නෙ කාටද?
මෙතෙක් ආ දුර සරසන්න ආදරයෙන් ආදරෙයි කියූ මා ගැන ආදරෙන් විවේචනයක් හෝ ප්‍රකාශ කළ මාව සෙනෙහසින් දරාගත් ප්‍රේක්ෂකයන් ඇතුළු සියලු දෙනාට, මගේ මව්පියන්ට ශිල්පය දුන් ගුරුවරුන්ට මගේ ආදරණීය මහත්තයට දරුවන්ට හිතවතුන්ට මගේ ක්ෂේත්‍රයේ හැම දෙනාටම වගේම මා ඇගයීමේ උත්සවය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දරන යුනිලිවර් සමාගමට, ලක්ස් අනුග්‍රාහකත්වයට වගේම මගේ ළඟවත් නොතිබුණු මගේ සිනමා ජීවිතේ පින්තූර සමුදායක් කාලයක් තිස්සෙ එකතු කරලා මා වෙනුවෙන් මාධ්‍යයටත් මටත් තිළිණ කරපු ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී අපේ ආදරණීය හිතවතා නිල්හාන් සෙනෙවිරත්නට මගේ හදවතින්ම ගෞරවයෙන් මම ස්තූතියි කියනවා.
සංජීවිකා සමරතුංග
සුමුදු හේවාපතිරණ
ඇඳුම් නිර්මාණය - නිල්හාන් සෙනෙවිරත්න
හැඩගැන්වීම - තුෂාර සොයිසා
(පැරණි සේයාරූ සැපයුම - නිල්හාන් සෙනෙවිරත්න)