නොබෝ දිනකින් රූගත කිරීම් ආරම්භ කරන "මුල්ලේරියා හටන" සනත්ගේ හයවැනි සිනමා අධ්‍යක්ෂණයයි. සනත් වැඩි වශයෙන් අධ්‍යක්ෂණය කළේ ඉතිහාස බෞද්ධ කතායි. එයට හේතුවක් තියෙනවද?
සිනමාවට ඒමට පෙර මම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසුණු කෙනෙක්. මේ වෙද්දි මම ටෙලිනාට්‍ය හතළිස් ගණනක් කරලා තියෙනවා. ඒ අතරේ මම මේ සමාජයේ බෞද්ධ සිනමා සංස්කෘතියක අඩුවක් දැක්කා. ලංකාව කියන්නේ බෞද්ධ රටක්. ඒ බෞද්ධ රටේ බෞද්ධ සිනමා සංස්කෘතිය ඇති කරන්න මට ඕනෑ වුණා. ඒ අනුව මම මුලින්ම "මහින්දාගමනය" චිත්‍රපටය නිර්මාණය කළා. එතැනින් පසුව මම සිරි දළදාගමනය, මහරජ අජාසත්, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ, ගුත්තිල වැනි සිනමාපට නිර්මාණය කළා. "මුල්ලේරියා හටන" කියන්නේ අධිරාජ්‍යවාදීන් දණ ගැසූ ප්‍රථම සටනයි. මෙහිදී බුදුහාමුදුරුවො වම් පැත්තේ වැඩ සිටිද්දී දකුණු පැත්තේ උතුම් දළදා වහන්සේ වැඩ සිටිනවා. ඒ නිසා මේක ඉතිහාස කතාවක් වුණත් බුදු දහමින් තොර කතාවක් නෙවෙයි. මෙයත් බුදු දහමත් එක්ක නිර්මාණය වුණු දෙයක්.
සිනමාපටයක් නිර්මාණය කරද්දී විශාල පිරිවැයක් දැරීමට සිදුවෙනවා. මෙවැනි දැවැන්ත නිර්මාණයක් මෙවැනි කාලයකදී කිරීමට අත ගැසුවේ කොහොමද?
මගේ පුතයි දුවයි ඔස්ට්‍රේලියාවෙ ඉන්නේ. ඒ නිසා පහුගිය කාලයේදී මම හිටියෙත් ඒ අයත් එක්කයි. එහිදී මම චිත්‍රපටයක් කරන්න අලුත් කතාවක් ලිව්වා. ඒක කරන්න මම ලංකාවට ආවා. ඒ අතරේ මම නිෂ්පාදකවරයෙක් සොයමින් හිටියේ. ඔය අතරෙදි තමයි මට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධන මහතා මුණගැසුණේ. ඔහු මට මෙම කතා සංකල්පය ගැන පවසා ඒ ආශ්‍රිතව චිත්‍රපටයක් හදමුදැයි යෝජනා කළා. ඊට පස්සේ මම සෑහෙන පොත්පත් කියෙව්වා. මේ සඳහා මට පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ, කැලණියේ රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හාමුදුරුවෝ වගේම කෝට්ටේ නාග විහාරයේ පොඩි හාමුදුරුවෝ ගොඩක් උදව් කළා. උන්වහන්සේලා මට අවශ්‍ය පොත්පත් සහ තොරතුරු ලබා දුන්නා. ඒ අනුව මම මේ ඉතිහාස කතාව ලිව්වා. මුල්ලේරියාව කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා මේ සඳහා නිෂ්පාදන අනුග්‍රහය ලබා දෙන්න ඉදිරිපත් වුණා.
“මුල්ලේරියා හටන" චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන නළු නිළියන් තෝරා ගත්තේ කොහොමද?
මෙහිදී විශේෂයෙන් පෞරුෂයකින් හෙබි නළුවන් පිරිසක් මට ඕනෑ වුණා. ඒ නිසාම හයවැනි වීර පරාක්‍රමබාහුගේ චරිතය සඳහා ශ්‍රීමාල් වෙඩිසිංහ, බුද්ධවංශ සංඝරාජ හිමි වශයෙන් සනත් ගුණතිලක, වීදියේ බණ්ඩාර කුමරු ලෙස රංජන් රාමනායක, හයවැනි විජයබාහු සඳහා ලකී ඩයස්, මායාදුන්න සඳහා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, රයිගම්බණ්ඩාර සඳහා දිනෙත් ද සිල්වා, ටිකිරි කුමාරයා සඳහා දෙනෙත් ආකර්ෂවත් තෝරා ගත්තා. ඊට අමතරව උදාරි වර්ණකුලසූරිය, චුලක්ෂි රණතුංග, පබෝදා සංදීපනී වැනි නළු නිළියන් බොහෝ පිරිසක් මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නවා.
මෙහි රූගත කිරීම් ආරම්භ කරලද තියෙන්නේ?
නැහැ.. තවම නැහැ. බොහෝ විට මෙහි රූගත කිරීම් සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වමින් ඉන්නේ. මෙහි බොහෝ රූගත කිරීම් රන්මිහිතැන්නේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අපි සිදු කරමින් පවතිනවා. ඊට අමතරව අපි නුවරඑළිය බණ්ඩාරවෙල ප්‍රදේශවලත් රූගත කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා.
මුල්ලේරියා හටන චිත්‍රපටයේ වැඩි වශයෙන් දිවෙන්නේ අංගම්පොර ආශ්‍රිත සටන් නේද?
ඔව්... පෘතුගීසින් ලංකාව අල්ලා ගත්තට පසුව ඔවුන්ගේ කාලතුවක්කුවලින් අපිට වෙඩි තියනවා. නමුත් එකල අපේ මිනිසුන්ට තිබුණේ අලවංගුව, උදැල්ල, කෙටෙරිය, කැත්ත, වැනි ආයුධයි. ඒවායින් අපේ සිංහලයන් පෘතුගීසින් එක්ක සටන් කළා. මායාදුන්නෙ එක්ක ඒ අය යුද්ධයට ගියාට පස්සේ ඒ සටන් අසාර්ථක වුණා. ටිකිරි කුමාරයා මේ සියල්ල දෙස බලාගෙන හිඳ "තාත්තේ ඔයාට දිනන්න බැහැ, අපිට දිනන්න ඕනෑ නම් සුද්දා අපිට වෙඩි තියලා ඊළඟ වෙඩිල්ල තුවක්කුවට කොටන්න ඉස්සෙල්ලා අපි සුද්දව මරන්න ඕනෑ" කියලා කිව්වා. ඒ අනුව තමයි ටිකිරි කුමාරයා අංගම්පොර සටන් ක්‍රමය අනුගමනය කළේ. ඉතින් අංගම්පොර සටන අනුව තමයි අපි චිත්‍රපටය කරන්නේ. මෙහි සටන් අධ්‍යක්ෂණය සඳහා සුමුදු අමල්ක සහ සඳුන් පෙරේරා අපිට සම්බන්ධ වෙනවා.
රංගන ශිල්පීන්ට අමතරව ඔබට "මුල්ලේරියා හටන"ට සහයෝගය දක්වන්නේ කවුද?
මෙහි කැමරා අධ්‍යක්ෂණය සුජිත් නිශාන්ත, සංස්කරණය අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත, අංග රචනය මනනුවන් රූපසිංහ, කොණ්ඩා නිර්මාණය හරූන් ෂෙයිඩීන් සහ ඇඳුම් නිර්මාණය රමේශා ඩිශිනි. සංගීතය දිනේෂ් සුබසිංහ. මොවුන් ඇතුළු බොහෝ දක්ෂ පිරිසක් මෙයට සම්බන්ධ වෙනවා.
සනත්ගේ හත්වැනි සිනමා නිර්මාණය බෞද්ධ සිනමා සංස්කෘතියෙන් බැහැර වුණු නිර්මාණයක් වේවිද?
මේ වෙද්දිත් ඊළඟ චිත්‍රපට දෙකකම තිර පිටපත් ලියලයි තියෙන්නේ. ඒ චිත්‍රපට පිටපත් දෙකම මම ඕස්ට්‍රේලියාවේ ඉඳිද්දි ලියපු දෙකක්. මේ වෙද්දි ඒ නිර්මාණවලටත් නිෂ්පාදකවරුන් දෙදෙනෙක් මුණගැහිලා සාකච්ඡා මට්ටමේ පසුවෙනවා. ඒ දෙකම බෞද්ධ ඉතිහාස කතා දෙකක්.
• දිශානි