2024 ජුලි 20 වන සෙනසුරාදා

තැඹිලි-අලි අස්සේ කටුස්සො හූනෝ වුණාලු....

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

මාස දොළහක් ඇතුළේ රටවල් විසි දෙකකට යන ගමන් ලංකාවට ආපු තවත් අපූරු Traveler කෙනෙක් ගැන කතාවක් අපිට දැනගන්න ලැබුණා. Wilko Wander කියන එතරම්ම ජනප්‍රිය නැති පොඩි YouTube නාලිකාවකුත් අටවගෙන ලෝකෙ වටේ යන මේ අපූරු මිත්‍රයා ලංකාවට ආවේ ඔහුගේ තවත් යාළුවෙක් එක්ක.

ඇත්තටම ලංකාව ගැන ලොකු කුතුහලයකින් පුදුමකින් තමයි මේගොල්ලෝ ලංකාවට ගොඩබැස්සෙ. 
“අපි ලංකාවට එන්න කලින්ම වචන කිහිපයක් පුරුදු වුණා. ලංකාවේ කෙනෙක් හම්බවුණාම මුලින්ම කියන්න ඕනෑ ආයුබෝවන් කියලා"
ගොඩබැස්ස ගමන්ම මේගොල්ලන්ව එක්කගෙන යන්න ආපු රියැදුරු මහත්තයට ආයුබෝවන් කියලා තමයි මෙයාලා ගමන පටන් ගත්තේ. 
මේගොල්ලෝ ගමනාන්තයට යන ගමන් ඔන්න මඟ නතර වුණා.

“ආ... මේ මොනවද?”

පාරෙ අයිනෙ තිබුණු තැඹිලි කඩයක් ළඟ නතරවෙලා ඔහොම අහගෙන තමයි මෙයාලා බිමට බැස්සෙ. ගමන් මහන්සිය නිවාගන්නත් එක්ක තැඹිලි ගෙඩියක් බොන්න මිත්‍රයෝ දෙන්නා කල්පනා කළා. 
“මේවාට සිංහලෙන් කියන්නේ තැඹිලි කියලා"

මෙයාලට තැඹිලි ගෙඩියක් කපලා කරලා දීලා කාරිය අපේ කඩේ අයියා පැහැදිලි කළා.
“තැඹිලී.. තැඹිලී"


ටිකක් අමාරුවෙන් නමුත් කොහොම හරි වචනේ අල්ලගත්ත අපේ යාළුවෝ තැඹිලි කියන්නෙ ඔරේන්ජ් පාටට බවත් දැනගත්තා.
තැඹිලි කෝම්බ පොඩි පොඩි කෑලිවලට කපලා තැනක ගොඩගහලා තියෙනවා දැකලා ඒ මොනවද? ඒක මොකටද පාවිච්චි කරන්නෙ කියලා දැනගන්නත් මේගොල්ලන්ට ඕනෑ වුණා. කොහොම හරි රියැදුරු මහත්තයා ඒ ගැන මෙයාලට කියලා දුන්නා. බීලා විතරක් මක් කරන්නද? ඇතුළෙ තියෙන ඒවත් කන්න ඕනෑ.. ඔන්න ඔහොම හිතලා දෙන්නත් එක්ක තැඹිලි කෝම්බය පලන්න කඩේ අයියට දුන්නා.
“මෙන්න මෙයා තැඹිලි ඇතුළේ තියෙන දේවල් කන්න යන්නේ පළවෙනි වතාවට. ඔන්න බලන්න එයා කාලා මොකක්ද කියන්නෙ කියලා"
“මේක නිකම් මෙලන් වගේ"

ඇත්තටද විහිළුවටද දන්නේ නෑ, පළවෙනි වතාවට කුරුම්බා කාපු එක මිත්‍රයෙක් කිව්වා. අනිත් මිත්‍රයයි අපේ කට්ටියයි ඔක්කොම මේ කතාවට නම් හොඳටම හිනා වුණා.
ඊටපස්සේ මේගොල්ලො ගියේ හබරණ ත්‍රී හවුස් එකකට. ගහක් උඩ හදපු ගෙදරක අපූරු අත්දැකීම මේ අය විඳගත්තා. ලොකුවටම මේ දෙන්නා ඒකෙ තිබුණු අපූර්වත්වය කතා කළා. ඔන්න ඒ අස්සෙ ඒ ගෙදර හිටපු කටුස්සෙක්ට හූනෙක් කියලත් මේගොල්ලෝ කිව්වා. ඒ වගේම මේගොල්ලෝ ආපු දවසේ රාත්‍රියේ වැහැපු ලොකු වැස්සෙදි, එළිමහනේ තියෙන නාන කාමරයට ගිහිල්ලා වැස්සේ නාන ගමන්, ෂවර් එකෙන් උණුවතුර නාපු ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ගැනත් මෙයාලා මතක් කළා.

ඔන්න පහුවැනිදා පටන් ගත්තා හබරණ අලි බලන්න යන සවාරිය. ලංකාවට ගොඩබැස්සම මේ පැත්තට ආවෙ අලි බලන්නම හිතාගෙන තමා මේ දෙන්නා. ඒ නිසාම ලොකු ආසාවකින් තමා වැඩේට එකතු වුණේ. ජීප් එකේ ආපු මේගොල්ලෝ වැව ළඟින් නතරවෙලා ඔරුවකට ගොඩවුණා. 
“වාව්.. මේක නම් ඇත්තටම පුදුමයක්"

මේ ඔරුවට නැග්ගම දෙන්නෙක් කබල් ගගහා මේගොල්ලන්ව වැව මැද්දට අරගෙන ගියා. පුංචි දූපතක් වගේ එකක් වටෙත් මේගොල්ලෝ යාත්‍රා කළා. ඇත්තටම ඒක මනරම් දර්ශනයක්.
ඔන්න අපේ ඔරුවේ ගියපු අපේ අය අතරින් එක්කෙනෙක් නෙළුම් කොළයක් අරගෙන ඒකෙන් ලස්සන තොප්පියක් හදලා අපේ මිත්‍රයෙක්ට දුන්නා. ඒ තමයි මේ චැනල් එක කරගෙන යන ජේම්ස්. එයා ඒ තොප්පිය දාගත්තා.
“ඔයා සරදියෙල් වගේ"

අනික් මිත්‍රයා එහෙම කතාවක් කිව්වම අපිත් ටිකක් පුදුම වුණා.
“සරදියෙල් ශ්‍රී ලංකන් රොබින්හුඩ්. ඔයා දැන් ඒ වගේ"

ඇත්තටම මේ මිත්‍රයා ලංකාව ගැන මොන මොනවා හරි වැඩිපුර දන්න බව නම් බොහොම පැහැදිලිව පෙනුණා. මේ අර නිකම්ම සංචාරකයෝ නෙවෙයි, දේවල් හොයලා දැනගෙන ආපු අය වගේ. කොහොම හරි අනෙක් මිත්‍රයා අර තොප්පිය බොහොම ලස්සනට ඔළුවට දාගත්තා. පස්සෙ අනික් මිත්‍රයාටත් ඒ ජාතියෙ තොප්පියක් හම්බවුණා.

කොහොම හරි දෙන්නටම තොප්පි හම්බවුණු එක හොඳට ගියා කියලා තේරුණේ වැව මැද්දෙදි වැස්සක් කඩන් වැටෙන්න පටන් ගත්තම. කොහොම හරි වැස්සෙම මේ අය සූදානම් කරලා තිබුණු ඉවුරට ගොඩවුණා. කොහොම හරි මෙතැන තිබුණේ ගැමි ගෙදරක්. සංචාරකයන් වෙනුවෙන්ම ගැමි ගෙදරක අත්දැකීම් පැහැදිලි කරලා දෙන්න හදපු තැනක්.

කාන්තාවක් ඉදිරියට ඇවිල්ලා මෙයාලට පොල් ගෙඩියක් බිඳලා පොල් වතුර ටිකක් බොන්න දුන්නා. ඒ කාන්තාව පොල් ගාන විදියත් මේ දෙන්නට කියලා දුන්නා. කොහොම හරි මේ දෙන්නා පොල් ගෑවා නෙවෙයි පොල් ඉගිල්ලුවා. කෑම උයන එක ගැනත් කතා කළා.

“මම ගොඩක් ශ්‍රී ලංකාවේ කෑම උයනවා එංගලන්තෙ දී" 
ඔන්න තවත් රහසක් එළිවුණා.
ඊට පස්සේ ගැමි ගෙදර හිටපු කාන්තාව මේගොල්ලන්ට කෑම බීම උයන විදිය කියලා දුන්නා. මැටි ළිප, වංගෙඩිය වගේ දේවල්වලින් වැඩ කරන හැටි දැකබලා ගන්න මේ දෙන්නා ඇත්තටම ආසා කළා. අපේ වැඩේ කරන මිත්‍රයාගේ යාළුවා තමයි හැමදෙයක්ම හරියට ඉගෙන ගත්තේ. වංගෙඩියෙන් වී කොටලා, කුල්ලෙන් හාල් පොලලා, කුරක්කන් ගලේ කුරක්කන් අඹරලා, පොල් අතු වියලා මේගොල්ලො ගත්තෙ හරිම අපූරු අත්දැකීමක්.

පස්සෙ දෙන්නත් එක්ක ලංකාවේ විදිහට නෙළුම් කොළේ දිවා ආහාරය ගත්තා මේ ගැමි ගෙදරදි. කෑම ජාති නම් සෑහෙන්න තිබුණා. 

“මෙතැන රස ගොඩක් තියෙනවා. මේක ඇත්තටම හරිම අපූරුයි"

කෑම කාලා ඉවරවෙලා කන්න කැවිලි පිඟානකුත් මේගොල්ලන්ට ලැබුණා. හැමදෙයක් ගැනම ලොකු සතුටකින් තමයි කාලා බීලා මේගොල්ලෝ එළියට බැස්සේ. එතකොට අර වැස්ස පායලා තිබුණා. ඊටපස්සේ ත්‍රීවිල් එකකින් ගියා ආයි ජීප් එක තියෙන තැනට. ඔන්න ඊට පස්සේ තමයි අලි බලන්න යන සෆාරිය ඇත්තටම පටන් ගත්තේ. 

• චමිඳු නිසල්