2024 ජුලි 27 වන සෙනසුරාදා

Cover Song නීතිය දන්නවද?

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

ගී රස විඳින්නට අපි කවුරුත් බොහොම කැමතියි. එහෙත් ඇතැම්විට රසවත් ගීත පිටුපස අමිහිරි කතන්දරත් අපිට අසන්න ලැබෙනවා. ඔබට මතක ඇතිනම් පසුගිය දිනවල එවන් කතා කිහිපයක්ම අපිට අසන්න ලැබුණා. ඒ අතර ගීතවල අයිතිය පිළිබඳ නඩු හබ වගේම ගීත විකෘති කොට ගායනා කිරීම් පිළිබඳ මතුවුණු ගැටලුත් තිබුණු බව ඔබට මතක ඇති. ඉතින් රසිකයන් විදිහට ගීතයක අයිතිය සහ ගීත විකෘති කිරීම ආදී කාරණා පිළිබඳ නෛතික දැනගැනීමට ඔබ කැමැත්තෙන් ඇති. එනිසාම මේ කාලෝචිත මාතෘකාව අද අපි සංවාදයට තීරණය කළා.

මෙහිදී අපි පළමුව සංවාදයට ගත්තේ ලංකාවේ ගීතයක අයිතිය නෛතිකව තහවුරු වන ආකාරය. මේ සඳහා අපි සමඟ එක්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ඒ. මේනක හරන්කහ මහත්මයා.
"ගීතයක අයිතිය මූලික වශයෙන් සාකච්ඡා වන්නේ බුද්ධිමය දේපළ නීතියේ ප්‍රකාශන හිමිකම් නීතිය (Copy Rights) යටතේ. ප්‍රකාශන හිමිකම් නීතියේ දී සාකච්ඡා වෙන්නේ සාහිත්‍යමය, කලාත්මක හෝ විද්‍යාත්මක ආදී නිර්මාණවල (උදා : පොත්, ගීත, නාට්‍යය චිත්‍රපට)  අයිතිය හිමිවන්නේ කාටද කියන කාරණාව මත. එහෙත් අනික් නිර්මාණවලට සාපේක්ෂව ගීතයක තිබෙනවා යම් විශේෂත්වයක්. ගීතය කියන්නේ තනි පුද්ගල නිර්මාණයක් නොවෙයි, සාමූහික නිර්මාණයක්. ප්‍රධාන වශයෙන් ගීතයක් නිර්මාණය වෙන්නේ තිදෙනකුගේ දායකත්වයෙන්."

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන්ගේ පැහැදිලි කිරීම අනුව ගීත රචකයා, සංගීතඥයා සහ ඉදිරිපත් කරන්නා හෙවත් ගායකයා තමා ගීත නිර්මාණයකට දායකත්වය ලබාදෙන ප්‍රධාන චරිත ත්‍රිත්වය. ඒත් ප්‍රකාශන නීතිය යටතේ ගීතය සාමූහික නිර්මාණයක් වුවත්, මේ අය වෙත අයිතිවාසිකම් හිමිවන්නේ වෙන වෙනම. ඇත්තටම රසිකයන් විදියට අපි මේක හෙමිහිට තේරුම් ගන්න ඕනෑ කාරණාවක්.

"ගීතයක් සම්බන්ධ කාරණාවේදී පවතින්නේ පොදු අයිතියක්, සාමූහික අයිතියක් හෝ හවුල් අයිතියක් නෙවෙයි. මේ තිදෙනාට ප්‍රකාශන නීතිය යටතේ මේ හිමිකම් හිමිවෙන්නේ වෙන වෙනම. ගී පද රචකයාට මේ සම්බන්ධව වෙනම බුද්ධිමය දේපළ හිමිකම පවතිනවා. ගීතය සම්පූර්ණයෙන්ම ස්වාධීන නිර්මාණයක් නම් ඔහුට ඒ හිමිකම ලැබෙනවා. ඒ වගේම ගීතය සඳහා සංගීතය එකතු කළ සංගීතඥයාටත් ඒ සංගීතය සම්බන්ධව වෙනම බුද්ධිමය දේපළ හිමිකමක් පවතිනවා. එහිදීත් එය ඔහු විසින්ම නිර්මාණය කරන ලද සංගීතය ස්වාධීන නිර්මාණයක් විය යුතුයි."

අපිට දැනගන්න ලැබුණු විදිහට බුද්ධිමය දේපළ නීතිය යටතේ ආරක්ෂා වන්නේ මුල්වරට පුද්ගලයෙක් තමන්ගේ බුද්ධිමය දායකත්වයෙන් සිදු කරනු ලැබූ නිර්මාණ. ඒ නිසාම ගීතය සම්බන්ධ කාරණාවේදී මේ හිමිකම ඍජුවම ලැබෙන්නේ ගී පද රචකයාට සහ සංගීතඥයාට. ඒ අනුව ගීතයක් මෙම හිමිකම් සහිත අයගේ අවසරයෙන් තොරව භාවිත කිරීම, පටිගත කිරීම, තැටිගත කිරීම සහ විකාශනය කිරීම වගේ කටයුතුවල නිරත වන්නට කිසිවෙකුට පුළුවන්කමක් නැහැ.
කොහොම නමුත් රසිකයන් විදිහට අපි වැඩිපුරම ආදරේ කරන්නේ ගායක ගායිකාවන්ට.

ඒත් ඇත්තටම ගීත ඉදිරිපත් කරන ගායක ගායිකාවන්ට ගීතයක් සම්බන්ධව තියෙන හිමිකම ටිකක් වෙනස්.

"ගායන ශිල්පියාට මෙතැනදී තියෙන්නේ වෙනම අයිතියක්. ප්‍රකාශන හිමිකම් නීතිය යටතේ ගායන ශිල්පියාගේ අයිතිය පළමු අයිතිවාසිකමක් ලෙස සලකන්නේ නැහැ. ප්‍රකාශන හිමිකම් නීති යටතේ අයිතිය ලැබෙන්නේ යම් නිර්මාණයක් නිර්මාණය කරලා පළමුවරට ඉදිරිපත් කරන කෙනාට. නීතියට අනුව පද රචකයා සහ සංගීතඥයා නිර්මාණය කරන ගීතය ඉදිරිපත් කිරීමයි ගායන ශිල්පියා සිදු කරනු ලබන්නේ. ඒ නිසාම ප්‍රකාශන හිමිකම් ගායකයාට ලැබෙන්නේ නැහැ. ඒත් ඉන් අදහස් වන්නේ නෑ ගීතයක කිසිදු හිමිකමක් ගායකයාට නැහැ කියලා."

අපි හැමෝම දන්නවා ගීතයක් පරිපූර්ණ කෘතියක් බවට පත්වීම සඳහා ගායකයාගේ දායකත්වය හරිම වැදගත්. නීතියත් ඒ කාරණාව පිළිගන්නවා. මේනක හරන්කහ කථිකාචාර්යතුමා පෙන්වා දෙන ආකාරයට, ඒ සඳහා යොදාගැනෙන්නේ නීතියේ තිබෙන "ආසන්න අයිතිවාසිකම්" කියන සංකල්පය. 

"ගායකයන්ට වාදකයන්ට නර්තන ශිල්පීන්ට වගේ අයට තමා මේ ආසන්න අයිතිවාසිකම හිමිවෙන්නෙ. මේ හිමිකම අනුව ගායකයෙකුට තමන් පළමුවරට ගීතය සංගීත සංදර්ශනයක හෝ යම් ස්ථානයක ගායනා කරන අවස්ථාව, කවුරු හරි අනවසරයෙන් පටිගත කරනවනම්, තැටිගත කරනවනම්, විකාශනය කරනවනම් ඊට විරුද්ධ වීමේ හැකියාව ඔහුට හෝ ඇයට පවතිනවා. නමුත් ඒ හිමිකම ඔහුට ලැබෙන්නේ පළමු අවස්ථාවේදී පමණයි. දෙවැනි තුන්වැනි අවස්ථාවේදී ගීතය නැවත පටිගත කිරීම හෝ තැටිගත කිරීම් විකාශනය කිරීම් සම්බන්ධව විරුද්ධ වීමේ හැකියාවක් ගායකයාට නෑ. ඒ අනුව ගායකයාට ලැබී ඇති හිමිකම ශ්‍රී ලංකා නීතිය අනුව සීමාසහිත එකක් බව පැහැදිලියි." 

ගීතයක හිමිකම් පිළිබඳ කතා කරන විට ප්‍රධාන වශයෙන්ම සදාචාරාත්මක හිමිකම් සහ ආර්ථික හිමිකම් යනුවෙන් එහි ස්වරූපයන් දෙකක් දකින්න ලැබෙන බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන් අපිට පෙන්වා දුන්නා. සදාචාරාත්මක හිමිකම කියන්නේ ඒ නිර්මාණ සිදු කරපු කෙනා තමා බව ප්‍රකාශයට පත් කිරීමට ඇති අයිතියට. නිර්මාණයක් ලෝකෙ කොතැනක කොහොම පළ වුණත් එය කළේ කවුද කියන කාරණාව පැහැදිලි කළ යුත්තේ මෙම අයිතිවාසිකම නිසා. ඒ වගේම සදාචාරාත්මක අයිතිය යටතේ යමෙකු තමන්ගේ නිර්මාණය විකෘති කරනවනම් විනාශ කරනවනම් ඊට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් නිර්මාපකයාට පවතිනවා.

"නිර්මාණකරුවන්ට ගීතය විකෘති වීම කියන කාරණාව මත මැදිහත්වීමේ අයිතියක් තියෙනවා. නැවත විකාශනය වීම වළක්වා ගැනීම, ගායනා කිරීම වළක්වා ගැනීම සඳහා වාරණ නියෝගයක් ලබා ගැනීමේ හැකියාව නිර්මාණකරුවන් සතුයි. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී ඒ සඳහා වන්දි හෝ දඩ පනවා ගැනීමේ අයිතියත් ඔවුන් සතු වෙනවා."

ඔබට මතක ඇතිනම් පසුගිය දිනවල ගීත විකෘති කිරීම සම්බන්ධව නිර්මාණකරුවන් කිහිප දෙනෙකුම නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම විකෘති කරපු අයට අදාළ නිර්මාණ ඉවත් කරගන්න කියලා බලපෑම් කළා. ඒකට හේතු වුණේ අපි ඉහත සඳහන් කරපු සදාචාරාත්මක අයිතිය.

මීළඟට අපි අවධානය යොමු කළේ ගීත නිෂ්පාදකයන් සම්බන්ධව (Producers) වර්තමානයේ සාකච්ඡා වන කරුණු පිළිබඳව. මෙහිදී සංවාදයට ලක් කරන්නේ සදාචාරාත්මක හිමිකම් පිළිබඳව නොවෙයි, ආර්ථික හිමිකම් පිළිබඳව. සදාචාරාත්මක හිමිකම් කිසිවිටෙක බෙදී නොගියත්, ගීතයක් සඳහා වන ආර්ථික හිමිකම් බෙදා ගැනීමේ හැකියාව පවතිනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ මහත්මයා ඒ පිළිබඳව මේ විදිහට පැහැදිලි කළා.

"වර්තමාන සන්දර්භය තුළදී පද රචකයා, සංගීතඥයා සහාය ඉදිරිපත් කරන්නාට අමතරව නිෂ්පාදකයා කියලා චරිතයක් ඉන්නවා.  ඔහු තමයි දැන් ගීතයක් නිර්මාණය කිරීමේදී ප්‍රමුඛ කාර්යයක් සිදු කරන්නේ. ගීතයක් සඳහා දායකත්වය ලබාදෙන පද රචකයා, සංගීතඥයා සහ ගායන ශිල්පියා කියන තුන්දෙනාටම මුදල් ගෙවලා ඔහු නිර්මාණය සිදු කර ගන්නවා. මේ නිසා වර්තමානයේ දී නිෂ්පාදකයා කියන කෙනාටත් ගීතයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අයිතියක් ලැබිලා තියෙනවා. මෙතැනදී ඔහු සිදු කරන්නේ අනිත් අයව මුදල් ගෙවා යම් කාර්යයක් සඳහා යෙදවීම. මෙතැනදී නීතිමය වශයෙනුත් නිෂ්පාදකයා 'සේවා යෝජකයෙකු' වශයෙන් කටයුතු කරන්නේය යන කරුණ මත ඔහුට අයිතියක් හිමි වෙනවා." 

මේ මොහොතේ ලෝකයේ වැඩිපුරම ගීත නිර්මාණය වෙන්නේ නිෂ්පාදකයන් හරහා. ලංකාවේත් ඒ තත්ත්වය දැකගන්න පුළුවන්. මෙහිදී මුදල් ගෙවා ලබාගන්නා සේවාව සමඟ පූර්ණ කර්තෘ අයිතිවාසිකම් ලැබෙන්නේ නිෂ්පාදකයාට. ඔහුගේ අවසරයකින් තොරව නැවත නිෂ්පාදනය පටිගත කිරීම, විකාශනය ආදිය සිදු කළ නොහැකියි. කොහොම නමුත් මෙහිදී ආර්ථික හිමිකම් බෙදී යන ආකාරය පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා හොඳම විසඳුම නිෂ්පාදකයන් සමඟ ගිවිසුම් සඳහා එළැඹීම. 

"මෙතැනදී ගිවිසුම් ගතවීමේ අවශ්‍යතාවය පැහැදිලිවම තියෙනවා. ගී පද රචකයාට, සංගීතඥයාට සහ ගායකයාට පවා ගිවිසුම් ගතවෙන්නට පුළුවන්, කොයි විදිහේ ආර්ථික අයිතිවාසිකමක් ද ගීතය සම්බන්ධව තමන්ට තියෙන්නේ කියන කාරණාව පිළිබඳව.එක සැරේ මුදල් ගෙවනවද, කර්තෘ භාගයක් ගෙවනවද,  විකාශනය වීමේ සාර්ථකත්වය මත ගෙවීම් සිදු කරනවද කියන කාරණාව පිළිබඳව මෙහිදී එකඟතා ඇති කරගන්න පුළුවන්. එතකොට ගිවිසුමේ කොන්දේසි අනුව තමා අයිතිවාසිකම් බෙදී යන්නෙ.

මේ අතර වෙනත් අය විසින් නැවත ගීත ගායනා කිරීම හෙවත් Cover Song නිර්මාණය කිරීම සම්බන්ධව පවතින නීතිමය ප්‍රතිපාදනයන්ද පැහැදිලි කරගත යුතුය.

"මෙතැනදී ඉදිරිපත් වන නීතිමය සංකල්පය 'සාධාරණ භාවිතාව'. මෙතැන උදාහරණයකින් පැහැදිලි කරනවනම් කෙනෙකුට පොතක් පුස්තකාලයෙන් අරගෙන තමන්ගේ විභාගයට අවශ්‍ය කොටසක් පිටපත් කර ගැනීමට සාධාරණ අයිතියක් තියෙනවා. ඒ වගේම ගීතයකුත් තමන්ගේ පෞද්ගලික රසවින්දනය සඳහා එහෙම භාවිත කරන්න පුළුවන්. ඒ හරහා ආර්ථික වාසියක් හෝ විකෘති කිරීමක් නොවෙනවනම් ඒක "සාධාරණ භාවිතාවක්" විදිහට හඳුන්වන්න පුළුවන්. ගීතයක් නැවත ගායනා කිරීමකදී (Cover song) ආර්ථික වාසියක් අපේක්ෂා නොකර සම්පූර්ණ ගීතයෙන් ඉතා සුළු කොටසක් හෝ පද කිහිපයක් ගායනා කිරීමේ හැකියාවක් පවතිනවා."

කෙසේ නමුත් මෙම පැහැදිලි කිරීම අනුව සම්පූර්ණ ගීත නැවත ගායනා කිරීම් හෝ නැවත ගායනා කර ගීත රූපවාහිනී හෝ ගුවන්විදුලියේ විකාශනය කිරීම සාධාරණ නැහැ. එවන් අවස්ථාවලදී නිර්මාණකරුවන්ට හැකියාව තියෙනවා ඉදිරියට පැමිණලා තමන්ගේ හිමිකම් ඉල්ලා සිටින්න. එහිදී ඔවුන්ට තමන්ගේ කර්තෘ භාග ලබා ගැනීමේ හැකියාවත් පවතිනවා.

මේ නීතිමය කාරණාවන් තවත් පුළුල් පරාසයක පැතිරිලා යනවා. හිමිකම් ආරක්ෂා කර ගැනීම නූතන ඩිජිටල් ලෝකයේ ගීතයක හිමිකම් බෙදී යන ආකාරය පිළිබඳව වගේම වර්තමානයේ කලාකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න සූදානම්.

• චමිඳු නිසල් ද සිල්වා