2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

නිහඬ වූ ඇගේ හඬ - සුමනා නෙල්ලම්පිටිය

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

ශ්‍රී ලාංකික ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන්ම දශක පහකට අධික කාලයක් කීර්තිමත් වෘත්තීය ජීවිතයකට හිමිකම් කියූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමනා නෙල්ලම්පිටිය මහත්මිය දැයෙන් සමුගෙන ගොසිනි. ශ්‍රව්‍ය මෙන්ම දෘශ්‍ය මාධ්‍ය තුළ ද තම විශිෂ්ට හැකියාවන් ප්‍රකට කළ ඇය මෙරට ප්‍රථම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස සම්භාවනාවට පාත්‍ර වූවාය. මෙරට ඇසි දිසි මාධ්‍ය කලාවේ නොමැකෙන නාමයක් සටහන් කර තැබූ සුමනා නෙල්ලම්පිටිය තම දිවි ගමනේ 80 වැනි මංසලේ දී දිවියට නැවතුම තැබුවාය.

1944 මැයි මස 23 දා කොහුවලදී ගුණදාස නෙල්ලම්පිටිය හා ඒව්ජින් කල්දේරා යුවලගේ දියණියක ලෙස  උපන් සුමනා නෙල්ලම්පිටිය නුගේගොඩ ශාන්ත ජෝන් මිශ්‍ර පාසලේ මූලික අධ්‍යාපනය ලැබුවාය. පසුව සුජාතා විද්‍යාලයෙන් හා ගෝතමී විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද ඇය පාසල් සමයේ නිවේදනයට, ක්‍රීඩාවලට, කවියට, කථනයට, විවාද කණ්ඩායමේ සාමාජිකාවක ලෙස හා, ගීත ගායනයට ද සමත්කම් පෑවාය. ගෝතමී බාලිකා විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායිකා වූයේ ඇයයි. ඇයට නිවේදන කලාවට පන්නරය ලැබුණේ එතැනිනි. පාසල් සමයේ සිටම ගුවන්විදුලියට නැඹුරුවක් දැක්වූ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත්ව සිටි ඇය ගුවන්විදුලියේ සම්මුඛ පරීක්ෂණයකට අයැදුම් කළාය. 1967දී සහන නිවේදිකාවක ලෙස ගුවන්විදුලියට එක්වන විට ඇගේ වයස විසි තුනකි. සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් යුතු පවුලක දෙවැනියා වූ තම දියණිය නිවේදිකාවක වනවාට ව්‍යාපාරිකයකු වූ ඇගේ පියා අකමැති විය. පසුව ඇගේ හැකියාවන්  වැඩසටහන් තුළින් හඳුනාගත් ඔහු ඇයට ආශිර්වාද කළේය.

ඇයගේ මාධ්‍ය ජීවිතය වසර ගණනාවක් පුරා ගලා ගියේ, නිවේදිකාවක, පිටපත් රචිකාවක හා නිෂ්පාදකවරියක ලෙසය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”, “ෆොරන්ස් වාසනා හත”, “ඕවල්ටීන් පැනපොඩි”, “රේඩියෝ සඟරාව” වැනි වැඩසටහන් මෙන්ම බණ්ඩාර කේ. විජේතුංග සමඟ ඉදිරිපත් කළ චිත්‍රපට ප්‍රචාරක වැඩසටහන් ද මහත් ජනාදරයට පත් විය. මැදිරි වැඩසටහන් මෙන්ම නරඹන්නන් ඉදිරියේ ද විවිධ වැඩසටහන් ඇය ඉදිරිපත් කළාය. මෙරට රූපවාහිනී ඉතිහාසයේ පළමු ස්ථීර වැඩසටහන් නිෂ්පාදිකාව වූයේ ද ඇයයි. පසුකාලීනව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම සිංහල ගුවන්විදුලි නාලිකාව වූ මැදපෙරදිග රටවල් 8ක විකාශය වූ මැදපෙරදිග සේවයේ ශ්‍රී ලාංකීය නිවේදිකාව ලෙසින් ද පුරා වසර පහක් සේවය කළාය.

රජයට පවරාගත් ස්වාධීන රූපවාහිනියේත්, ජාතික රූපවාහිනියේත් පළමු ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ඇය වාර්තා අතරට එක්වූවාය. ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ඇය ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භ කළේ මේ රජයට පවරාගත් ස්වාධීන රූපවාහිනී සේවයයි යනුවෙනි. එහි ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ඇය තෝරාගත්තේ තේවිස් ගුරුගේ, සරත් අමුණුගම සහ එච්.එම්. ගුණසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් මගිනි. ආරම්භයේදී ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති පටිගත කළේ ගුවන්විදුලි සංස්ථාවේ කිසිදු පහසුකමක් නොමැති කුඩා මැදිරියක වූ අතර ප්‍රවෘත්ති ප්‍රකාශය කටපාඩමින් කළ යුතු විය. එවක රූපවාහිනී ප්‍රචාර සිදුවූයේ පාදුක්කේ සිටය. කොළඹ මැදිරියේ කොටසින් කොටස පටිගත කෙරෙන ප්‍රවෘත්ති පාදුක්කේ පිහිටි රූපවාහිනී මැදිරියට යවා එහි සිට ප්‍රකාශයට පත් කෙරිණි.

1982 ජාතික රූපවාහිනියට එක්වූ ඇය ජාතික රූපවාහිනියේ ප්‍රථම සාමාජික සාමාජිකාවන්ගෙන් අයකු වූවාය. එහි ද මුල්ම සිංහල ප්‍රවෘත්ති නිවේදිකාව වූයේ ඇයයි. ඇය ඉදිරිපත් කළ පළමු වැඩසටහන වූයේ පැනෝරාමා නමැති වැඩසටහනය. එය සඟරාමය ප්‍රවෘත්ති වැඩසටහනක් විය. ජූලි කලබල සමයේ විවිධ කණ්ඩායම්වලින් ප්‍රවෘත්ති ප්‍රකාශය නතර කරන ලෙසට පවසමින් ඇයට රතු නිවේදන ලැබුණු අතර, නිවසටද බෝම්බ ප්‍රහාර ද එල්ල විය. එහෙත් ඇය ප්‍රවෘත්ති ප්‍රකාශය නැවැත්වූයේ නැත.  

“ප්‍රවෘත්තිවලට අමතරව මම රූපවාහිනියේ විවිධ වැඩසටහන් කර තිබෙනවා. මගේ රාජකාරිය ඉටු කිරීමේදී අභියෝග රැසකට මුහුණ දුන්නා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ සමයේ ඇතැම් විරෝධතාකරුවන් අපේ කණ්ඩායමට පහර දුන්නා හූ කිව්වා. ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් මාධ්‍ය ආවරණයට ගිය අවස්ථාවන්හි මට ගල් ගැහුවා. ඒත් අපි නොසැලී වෘත්තියේ නියැළුණා. ප්‍රභා රණතුංග, රත්නා ලංකා අබේවික්‍රම, දයා ද අල්විස්, චන්ද්‍රා වයමන් වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියන්ගෙන්  අපි ආභාෂය ලැබුවා. දැන් මාධ්‍ය නිවේදකයන් කිසිම ගැඹුරක් හෝ අරමුණක් නැතිව තේරුමක් නැතිව හිනාවෙමින් සරල ලෙස වැඩසටහන් ඉදිරිපත් කරන බව පෙනෙනවා. ඒ අතර තමන්ගේ වෘත්තීන් තුළ දස්කම් දක්වන සුවිශේෂී පුද්ගලයන් අතළොස්සකුත් ඉන්නවා.” යනුවෙන් ඇය පවසා තිබිණි.

1982 පැවැති මෙරට ප්‍රථම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල රූපවාහිනියෙන් විකාශය කෙරුණු අතර ජනාධිපතිවරණ නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ වගකීම පැවරුණේ ද සුමනා නෙල්ලම්පිටිය මහත්මිය වෙතය. ළමා වැඩසටහන්, අධාපන වැඩසටහන් මෙන්ම ප්‍රවෘත්ති හා ප්‍රවෘත්ති ආවරණ කටයුතු ඇතුළු රූපවාහිනී නිෂ්පාදන කටයුතුවලට අදාළ සියලු කටයුතුවල ඇය නිරත වූවාය.
ඇය විවාහ වූයේ පාසල් සමයේ ඇරඹි ප්‍රේමයකිනි. දියණියකගේ හා පුත්‍රයකුගේ ආදරණීය මවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ඇය පැතූ ලොවක දැන් සුව සේ වෙසෙනු ඇත. ඇයට සුබ ගමන්.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
• දයාන් විතාරණ

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00