2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

අනන්ත වාරයක් රට දාලා යන්න හිතුනා... සිහින නෙළුම් මල් අරන් එන - ශමීර නාඔටුන්න

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 08:04 60

ශමීර විසින් අධ්‍යක්ෂණය කළ ‘සිහින නෙළුම් මල්’ තිරගත වීමට නියමිතයි. මේ සිනමා පටය ආරම්භය සිදුවුණේ කොයි කාලයේදිද?

‘සිහින නෙළුම් මල්’ චිත්‍රපටයේ රූගත කිරීම් 2023 අප්‍රේල් 20 වැනිදා අපි ආරම්භ කළා. මෙම චිත්‍රපටයේ තිර පිටපත මම බොහෝ කාලයකට උඩදී ලියපු පිටපතක්. ඒක නැවත සංස්කරණය කරමින් නව පිටපතක් විදිහට හදලා අපි මෙම චිත්‍රපටය රූගත කිරීම් කළා.

ශමීරගේ වැඩි කැමැත්ත පිටපත් රචනයට නේද?

ඔව්... මගේ ඔළුවට එන අදහස් පිටපත් විදියට මම ගොනු කරලා තියෙනවා. එවැනි ඔළුවේ සහ යම් තැනක ගොනුවෙච්ච කතන්දරයක් තමයි පසුකාලීනව ‘සිහින නෙළුම් මල්’ විදියට සිනමා පටයකින් නිර්මාණය වෙන්නේ. ඒ ‘සිහින නෙළුම් මල්’ චිත්‍රපටයේ ඔවුන් අත්විඳින දේ, සැබෑ ජීවිතයේ අත්විඳින අය ඕනෑ තරම් මම දැකලා තියෙනවා. මට මුණගැහිලා තියෙනවා. ඒ නිසාම මට ඔවුන් වෙනුවෙන් නිර්මාණයක් කරන්න ඕනෑ වුණා. මම කළ Motor bicycle  චිත්‍රපටය 2016 වසරේදී කරපු නිර්මාණයක්.

ඔබ අධ්‍යක්ෂණය කළ Motor bicycle චිත්‍රපටයෙන් කොපමණ කලකට පසුව නැවත අධ්‍යක්ෂණයට යොමු වුණාද?

මෝටර් බයිසිකල් සිනමා පටය කරලා වසර අටකට පසුව මෙම ‘සිහින නෙළුම් මල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඒ ගෙවුණු අවුරුදු අට අපරාදේ කියලා මට වෙලාවකට හිතෙනවා. ලංකාවේ තිබුණු ආර්ථික අර්බුදය, කොවිඩ් ප්‍රශ්න ඇතුළු බොහෝ ගැටලුත් එක්ක නිෂ්පාදකවරයෙක් සොයා ගැනීමත් විශාල අර්බුදයක් වුණා. ඒ විවිධ හේතූන් නිසා ඒ කාලය තුළදී අලුත් නිර්මාණයක් කරන්න බැරි වුණා. ඒ හැම අර්බුදයක්ම අපේ කර්මාන්තයට බලපෑවා. තරුණ අධ්‍යක්ෂවරයෙක් විදියට අපේ ජීවිතයේ අවුරුදු අටක් කිසිම නිර්මාණයක් නොකොට ගෙවී යාම ඇත්තටම අපරාධයක්.

තරුණ අධ්‍යක්ෂවරයෙක් විදිහට ශමීර කලකිරීමෙන්ද ඉන්නේ?

ඒක කලකිරීමක්ම නෙවෙයි. හැබැයි අපි වගේ තරුණ අධ්‍යක්ෂවරයෙක්ගෙන් මීට වඩා වැඩක් ගන්න පුළුවන් කියලයි මම නම් හිතන්නේ. අපිට වැඩ කරද්දි නිදහස් නිරවුල් පරිසරයක් නැති වෙද්දි හිතට යම් කලකිරීමක් දැනෙනවා. සිනමා නිර්මාණයක් කිරීම ලෙහෙසි වන්නේ නෑ. පිටපතක් ලියාගෙන, අමාරුවෙන් නිෂ්පාදකවරයෙක් සොයාගෙන, චිත්‍රපටයක් හදලා ඉවර කරලත් ඒ බැරෑරුම්කම ඉවර වෙන්නේ නැහැ. එතැනින් එහාට ඒක ප්‍රදර්ශනය දක්වාත් ඒ ප්‍රදර්ශනය අතරතුරේදීත් මාරම කැප කිරීමක් මහන්සියක් වෙන්න ඕනෑ. මේ කර්මාන්තයේ වෘත්තීයභාවයක් තිබුණා නම් අපිට මේ තරම් අමාරුවක් මහන්සියක් දැනෙන්නේ නෑ.

ගෙවුණු කාලය තුළදී නිර්මාණ කිරීම අතහැරලා රට දාලා යන්න හිතුණෙ නැද්ද?

අනන්තවත් හිතිලා තියෙනවා. ඒ වෙනුවෙන් යන්න උත්සාහ කරපු අවස්ථා තියෙනවා. හැබැයි මම මේ රටට ආදරෙයි. නිර්මාණ කරන්න ආසයි. නමුත් මොකද්දෝ හේතුවක් නිසා මේකේ නිකරුණේ කිසිම ප්‍රයෝජනයක් නොගෙන කාලය කා දැමීම අපරාධයක් කියලයි මට හිතෙන්නේ. අපේ වටිනාකමක් දැනෙන්නේ නැත්නම් හොඳම දේ වටිනාකමක් තියෙන තැනක් සොයාගෙන යාමයි. අදටත් සමහර වෙලාවට යන්න හිතන වෙලාවල් තියෙනවා.

‘සිහින නෙළුම් මල්’ සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ හේමාල් සහ දුශේනි. ඒ තෝරා ගැනීම සිදුවුණේ කොහොමද?

පිටපත ලියැවෙද්දී ඒ ඒ චරිතවලට හිතින් නළු නිළියන් තෝරාගෙන මම ඒ පිටපත ලිව්වේ නැහැ. පිටපත ලියලා ඉවරවෙලා පසුකාලීනව ඒ චරිතවලට ගැලපෙන අය කවුද කියලා අපි සොයා බැලුවා. මුලින්ම පිටපත ලියැවුණේ ‘අපාට්මන්ට්’ එකක ඉන්න යුවලක් ගැන නෙවෙයි. මුල් පිටපත ලියැවුණේ ‘ෆ්ලැට්’ එකක ජීවත්වෙන යුවලක් ගැනයි. ‘සිහින නෙළුම් මල්’ චිත්‍රපටයේ නිෂ්පාදක වරුණ අරඹගේ මහතා සමඟ කතා කරද්දි ඔහුගේ යෝජනාවකට අනුව මේ යුවල ‘අපාට්මන්ට්’ එකක ජීවත්වෙන යුවලක් විදියට වෙනස් කළා. ලංකාවේ ජනප්‍රියම තරුවක් වන හේමාල්ව අපි මේ වෙනුවෙන් තෝරා ගත්තා. ඔහුව ගත්තොත් චිත්‍රපටයට හොඳ ආලෝකයක් වෙයි කියලා මම හිතුවා. හේමාල්ට අපි පිටපත දුන්නා. ඔහු ඒකට කැමති වුණා. පසුව හේමාල්ට ගැලපෙන නිළියක්ව අපි සෙව්වා. දුශේනි කියන්නේ ලංකාවේ ජනප්‍රියම නිළියක්. ඒ නිසා අපි ඇයටත් ආරාධනා කළා. ඇයත් ඒ ආරාධනාව සතුටින් බාරගත්තා. හේමාල් සහ දුශේනි මේ චිත්‍රපටයේදී ලස්සනට ගැලපුණා කියලා අපි විශ්වාස කරනවා.

චිත්‍රපටය රූගත කිරීම්වලදී ලබපු අත්දැකීම් කොහොමද?

අපි දින පහළොවක් විස්සක් අතරතුර රූගත කිරීම් අවසන් කළා. මම හැමවෙලේම සැලසුම් කරලා වැඩ කරන කෙනෙක්. මම අධ්‍යක්ෂවරයෙක් වෙන්න කලින් අවුරුදු ගණනාවක් සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඒ අත්දැකීම් මට තියෙනවා. මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ අයගේ වගකීම් මම පවරලා තියෙනවා. ඔවුන් වෙලාවට වැඩ කළා. ඒ නිසා රූගත කිරීම් කරද්දි දුෂ්කරතා මතු වුණේ නම් නෑ. ඉතා හොඳින් අපි අපේ වැඩ අවසන් කළා.

‘සිහින නෙළුම් මල්’ කවදා සිට නැරඹිය හැකිද?

‘සිහින නෙළුම් මල්’ අගෝස්තු මාසේ 23 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලා හැටකට අධික ප්‍රමාණයක තිරගත වෙනවා. මේක පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයක්. මේක පවුලේ කතාවක්. මිනිස්සුන්ට දැනෙන කතාවක්. තමන්ගේ හදවතට කිට්ටු කතාවක් වේවි. මේ වගේ අත්දැකීමක් මේ රටේ බොහෝ දෙනකුට දැනේවි. ඒ නිසා අපි හැමෝගෙම ජීවිතේ එක්තරා මොහොතකදී සිදුවන සිදුවීමක් චිත්‍රපටයෙන් දකින්නට පුළුවන් වේවි. මේ රටේ බොහෝ තරුණ තරුණියන් අද කල් ගිහින් විවාහ වෙන්නේ. ඊට පස්සේ ඔවුන්ට මව් පදවිය, පිය පදවිය ලබාගන්න ගියාම විශාල ගැටලුවකට මුහුණ දෙනවා. එවැනි අවස්ථාවලදී සමාජයෙන් වැඩි ඇඟිලි ප්‍රමාණයක් දිගුවන්නේ කාන්තාවටයි. ඉතින් එවැනි කාන්තාවක් වටා ගෙතුණු කතාවක් ‘සිහින නෙළුම් මල්’ සිනමා පටයෙන් දැක බලාගන්න පුළුවන් වේවි. ඔවුන් දිහා සුබවාදීව දකින්න, ඒ තුළින් පණිවිඩයක් අවසානයේ දී ලබාගන්න පුළුවන් වේවි. ඒක හදවතට දැනෙන සංවේදී කතාවක්.

• දිශානි ජයමාලි

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00