2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

අවැසි වැසි නොවැසි පොළොවකට අවැසි වැස්සක් දූස්රා

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 69

රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා...

එදවසක ඒ රාමලාන් සඳ දකින්නට අඬගසන ආදරණීය ආමන්ත්‍රණයක් තුළ මමත් ජීවිතය සෙවුවෙමි. හුස්මක් වැටෙන බව නොව හුස්මක් ගන්න බව දැනෙන ජීවිතයක් වෙනුවෙන් තත්ත්පරයෙනුත් අංශුමාත්‍රික තත්ත්පර අල්පමාත්‍රයක් සෙවුවෙමි. එහෙත් ‘‘හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා...’’

එසේ ගයන්නට සිදුවිය අවසන! ජීවිතය එහෙමය. ජීවිතය එහෙමමය! හීන අතර යාවෙන, හීන අතර ඉගිල්ලෙන, හීන අතර සක්මන් කරන, හීන අතර ඉහිරෙන, හීන අතර ඉකිලන, හීන අතර සුසුම්ලන, හීන හීනවලින් ඇහැරවන, සිනාසෙන, ආදරය හොයන, ආදරය ඉල්ලන, ආදරය අත්හරින, ජීවිතය අත්හරිමින් ජීවිතය වැළඳගන්න, දිනන පරදින, සම්මුතික මරණයේ ද්වාරය ඇරගෙන නික්මෙන්නට පෙර ක්ෂණයක් ක්ෂණයක් පාසා ජීවිතය තුළ මැරෙන, හුස්මක් ගනිමින් මරණය අත්විඳින ගැහැනුන්ගේ ආත්මීය ළසෝ ගිනි උදෙසා මට හමුවූ පරිපූර්ණ එක් සාක්ෂියක් පමණි - රතී ඔබ...

චන්න දේශප්‍රිය... මට රතීව මුණගැස්සවූ පිරිමියාය.

මට රතීව හමුවූයේ චන්න නිමැවූ දූස්රා සිනමා රූපකාරකය ඔස්සේය. සිනමාමය අක්ෂර ඔස්සේ ගෙත්තම් කරලන සිනමා වියමනක් යනු හුදෙක් තාක්ෂණික සමුච්චිතකරණයක් තුළ හෝ කතාන්දරයක් තුළ හෝ නිහඬත්වය තුළ කේන්ද්‍රගත නොවන ප්‍රේක්ෂකයා හා අසංවාදී විසංවාදී සංවාදී සංධ්වනියක් ඔස්සේ මුමුණන කතා කරන, හුස්ම ගන්නා මහා වේදයකි.

දූස්රා යනු විශ්වීය මහ පොළොවේ සාර අසාර ගැහැනු ආත්මයන්හි ළය ලෙයෙහි ප්‍රකම්පනීය රිද්මය උදෙසා සාක්ෂිමය මුද්‍රාවක් බඳු සිනමා අක්ෂරයකි. එවන් සිනමාමය අක්ෂරයන්ගෙන් ලියැවුණු සිනමාවේදයන් ලාංකික සිනමාව තුළ හමුවීම විරල යථාර්ථයක් වන හෙයින්ම දූස්රා සිනමාව යන මාතෘකාව තුළ විචාරය උදෙසා බොහෝ වූ දිශානතින් විවර කර ඇත. දූස්රා හි කිසිදු තත්ත්පරයක් අභව්‍යයක් නොවේ. කුවේණියගේ ප්‍රාණසම ප්‍රේමයෙහි සෙල්ලක්කාර කුමරෙකුගේ හිසෙහි කිරුළක් රඳවන්නට තරම් අනුහසක් සම්මිශ්‍රණය වී තිබුණි. කුවේණියගේ ප්‍රේමයත් පරිත්‍යාගයත් නොවෙන්නට විජය රජෙක් නොවී පිටුවහල් කරන ලද සෙල්ලක්කාර රස්තියාදුකාරයෙක් පමණක්ම වෙන්නටත් ඉතිහාසයක පිටු අතර කිරුළක් දැරූ රජෙක් නොවෙන්නටත් තිබුණා නොවේදැයි සිතේ නම් ඒ සිතුවිල්ලෙහි වරද කුමක්ද? පිරිමි පපුවකට ගැහැනියක කෙරේ වන ප්‍රේමයේ වපසරිය පසිඳිය නොහැකි අනන්ත මානයක නොරැඳෙන බොහෝ තැන්හිදීත් ගැහැනු පපුවක පිරිමියකු වෙනුවෙන් ඉපදෙන ප්‍රේමයේ සංඛ්‍යාත්මක අගය අප්‍රමාණ සංසාර අනන්තයකි. ඇයට ඇගේ හුස්ම, ජීවිතය අල්ලා ගැනීම, අත්හැරීම සහ අත්හැරීම තුළ සියල්ල අල්ලා ගැනීම සැකෙවින්ම ඇගේ හුස්මේ සියලු රිද්මයන් තම මනසින් සහ සිරුරෙන් නොඑසේනම් සිරුර අත්හැර වුව මනසින් පෙම් කරන පිරිමියාගෙන් වියුක්ත නොවේ. රතී තුළ එවන් ප්‍රේමණීය ගැහැනියක අව්‍යාජ හුස්මක් ගත්තත් දරිද්‍රතාවයේ විපරීත අසමතුලිතතාවයන්ගෙන් හේබාව ගිය පීඩනයට පත් අති ධාවනකාරී පාරිභෝගිකවාදී සමාජ දේහයක් තුළ ඇයට වරෙක තමා තුළ හිඳින ප්‍රේමණීය ගැහැනිය මරා නොගෙන යටපත් කරගෙන ජීවිතය ගැටගසනු පිණිස ගැට සොයන්නට සිදුවෙයි. දුප්පත්කම ජීවිතය මත අවැසි වැසි වසින්නට ඉඩ නොහැර ජීවිතයේ අහස ගිනියම් කරද්දී රතී වැනි ගැහැනුන් ඉරි තැලුණු පොළෝ මත තම නිරාවරණ දෙපතුල් තබන්නේ අවැසි වැසි ඉල්ලන හිත් දරාගෙනය. චන්න සිනමාමය ආකෘතියක් තුළ ප්‍රතිබිම්බගත කරන්නේ මේ මොහොතේත් ජීවිතය තුළ පණ ගැහෙමින් නිදහස් හුස්මක් සොයන ගැහැනියකි. රතී යනු අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් මේ පොළොව මත යළි යළිත් උපදින ගැහැනියක මිස මේ මිහිමතට කිසිදා නොඑන හෝ නොපැමිණි ගැහැනියක නොවේ.

කන්නගී
කඩා විසිකර වම් පියයුර
විදාහල සඳ පතිනි අනුහස
පුරවරක් ඇවිලුවේ
ප්‍රේමයම මිස කවරක්ද?

දේවතාවී කියනවද මට
වම් පපුවෙ කැළලට යටින්
රිදුම් දෙනවද තාම හදවත

නැද්ද ප්‍රේමය අංශුමාත්‍රික
ශේෂයක් හෝ ඉතිරි වී තව
මරණයට පුළුවන්ද කන්නගී
හදවතින් ප්‍රේමය මරන්නට

ප්‍රේමය හා ප්‍රේමයේ තේමාව කරණ කොටගෙන සුරැකි වත්කම් වෙනුවෙන් කන්නගීට සිරුරත් ආත්මයත් දන් දී වම් පියයුර කඩා විසිකර සුරැකි ප්‍රේමයේ නිර්මලත්වය උදෙසා සාක්ෂි සනිටුහන් කර තබන්නට ද සිදුවුවත් රතීට ප්‍රේමය වෙනුවෙන් නොව ජීවිතය වෙනුවෙන් කරන අරගලය උදෙසා සිරුර නොවිකුණන නමුත් ‘‘සිරුර විකුණන’’ ගැහැනියක වන්නට සිදු වූවාය.

ගුස්ටාවි ප්ලෝබෙයාර් විසින් රචිත එමා බෝවාරි නවකතාවේ එමා පිරිමි පපු පතුලටම කැන,  ආදරය අංශුමාත්‍රයක් සොයනු වස් පිරිමින්ගේ නොසිඳෙන රාගය නිවාලනු පිණිස තම සිරුර උල්පතක් කළාය. රාගය දන් දිදී එමා සෙව්වේද ඒත් එමාට කිසි දිනෙක හමු නොවුණේද පිරිමියෙකු වෙතින් සොයාලූ ඒ ආදරයයි. එමාලා අදටත් එමටය. එහෙත් රතීට රතී විකුණමින්ම, නොවිකුණන, ඒ නමුත් ප්‍රේමණීය පිරිමි පපුවක් දරාගත් පිරිමියෙකු හමුවී ඇතත් අසිරිමත් සඳ එළියක වැතිර ප්‍රේමය විඳින්නට තරම් රුපියල් සතවලින් හිස්වූ ඒ හිස්  බව තුළ ඉඩක් නැත. බොහෝ දේ සහ ජීවන නිස්කාංසුත්වය අහිමි වූ රතීට ජීවිතය, සමාජය, ඉරණම හෝ නමක් නොදන්නා කවර හෝ බලවේගයක් හෝ නිර්ණායකයක් විසින් බොහෝ දේ නිසඟයෙන්ම අහිමි කර ඇත. අවයව විඳින්නට නොදී එහෙන්, මෙහෙන් ස්පර්ශයන්ට ඉඩ දී පිරිමි ‘මරාගෙන’ උපයන ක්‍රමවේදයකට රතීත් ඇගේ පෙනෙන්නට ප්‍රේමණීය නොවන නමුත් ප්‍රේමණීය පිරිමියාත් පිවිසෙන්නේ එහෙයිනි.

ඒ මඟ හරි රළුය. එහෙත් ඇවිද යා යුතුය. සිනමාවේදය තුළ ඒ ගැහැනිය චන්න අතිදක්ෂ ලෙස ඇවිද්දවාලයි. රතී තුළ හුස්මක් ගනිමින් තිලක්ෂිණී රත්නායක ආත්මීය බැඳීමකින් රතී වැළඳ ගන්නා ආකාරය සැබැවින්ම ප්‍රසංශනීය රංග කෞශල්‍යයක් ධ්වනිත කරන අතර දූස්රා තුළ මා විස්මිතම සිනමාමය කැටුව යාමකට රැගෙන යන්නේ ලක්ෂාන් අබේනායකය.

ලක්ෂාන් යනු රංගනය තුළ මට හමුවූ අමුතුම විස්මිතයකි. කට කොණකින් නැගෙන සිනහවෙන් හා අමුතු විනිවිද බැල්මෙන් ඔහු ප්‍රේක්ෂක හදවත් වශීකෘතභාවයට පත් කරලන හැටිද හරි සොඳුරුය. සොඳුරු තරමටම පුදුමය.  රංගනය තුළ එක් ක්ෂණයකටවත් ප්‍රේක්ෂකයාට ලක්ෂාන් මතක් වෙන්නට නොදී ලක්ෂාන් මඟහරින ලක්ෂාන් ආලවන්ත අප්‍රමාණ දිශානතින් තුළ ප්‍රේක්ෂකයා සිරගත කරන අයුරු සැබැවින්ම වින්දනාත්මකය. දූස්රා හි ලකී තුළ ගැහැනියකගේ සිත ඉල්ලන ආදරණීය පිරිමියෙක් වරෙක හුස්ම ගනී. රතී කෙරෙහි ඔහු දක්වන ඒ අනුකම්පාව සහ රතීගේ සිරුර වෙතින් රාගික ස්පර්ශයක් නොලැබීම ලකී සමරිසි ප්‍රියතාවෙන් යුත් පිරිමියෙක් ද යන කුහුල ප්‍රේක්ෂකයා තුළ වරෙක දනවයි. ඔහු තුළ ඇත්තේ පීඩනයේ උපරිම සංඛ්‍යානයක් දක්වා පීඩනයට පත් ගැහැනියක කෙරේ උපන් අනුකම්පාවක් ද නොඑසේනම් දුක වේදනාව දැනෙන මනුස්සයකු වීම තුළ තවත් මනුස්සයකු කෙරේ උපදින අනුකම්පා සහගත මානවීය ප්‍රේමයක සුහුඹුලක් ද යන්න සිතෙන්නේ ලකී වරෙක රතීට “උඹ පත්තිනි අම්මා කෙනෙක්දැයි” වැන්නක් විමසන මොහොතේය. එහෙත් ඔහුගේ අවශ්‍යතාව වන්නේ ඔහුට හැකි වපසරිය තුළ ඇයව සුවපත් කිරීමය. නොපැමිණි සුබ දවසක් ඇගේ හෙට දවස බවට පරිවර්තනය කිරීමය. එහෙත් ඇයට ආත්මීය විමුක්තියක් වෙනුවෙන් ඔහු සදන මග ද මුදලට පිරිමි ගින්දර නිවන මාවතක්මය.

රතී හමුවන්නේ දූස්රා හි පමණක් නොව මිහිමත යායෙන් යායට යොදුනෙන් යොදුනට වග යථාර්ථයක් මිස මිත්‍යාවක් නොවේ. අම්බපාලිලාගේ සිට ප්‍රශංසා ගැරහුම් මැද පිරිමින් සනහන්නට හා පිරිමි ගින්දර නිවන්නට රතීලාට සිදුවිය. ඉන්දියාවේ අම්බපාලිලාගේ සිට ප්‍රංශයේ එමාටත්, ලංකාවේ කුවේණියගේ සිට දූස්රා හි රතී දක්වා ගැහැනුන්ට විවිධ වෙසින් සිදුවූයේත් අත්වූයේත් එක්තරා ඒකමතික ඒක දිශානතික ඛේදවාචකයකි.

දූස්රාහි ප්‍රබල සංකේත රූපයක් දිගහැරෙන තැනක් වන්නේ ඉබ්බෙකු නිරුපද්‍රිතවම පාර මාරුවන තැනයි. රතීට අවැසි වී නම් දෑතින් රැගෙන ඉබ්බා එගොඩ කරන්නට තිබුණි. එහෙත් ඇය ඉබ්බාට යන්නට හැර ඉබ්බා නිරුපද්‍රිතව පාරෙන් ඔබ්බට යනතුරු බලා හිඳී. රතීට අවැසි ජීවිතයක් උදෙසා අවැසි අත්වැල් අල්ලන්නට පිරිමියකු හෝ ගැහැනියක හමුවූයේ නැත. අතරමං රතී තවත් කුරා කුහුඹුවෙකුට හෝ අත්වැල් අල්ලන්නේ කොහොමදැයි මට සිතේ. ළය ලෙය කැකෑරී ඉපදෙන මෘදු මොළොක් ළතෙත් ස්ත්‍රීත්වයක් ඇගේ ගැහැනු පපුවේ සොහොන් කොතක් තුළ වැළලෙන්නට උත්සාහ කරමින් හිඳී. ඉබ්බා දෙස නිහඬව බලා හිඳින රතීගේ දෑස් මත දිගහැරෙන රේඛාවන්හි සටහන් වන්නේ ඒ මළ නොමළ මානවීයත්වයේ ඉසියුම් ධවල වර්ණයයි.

දූස්රා සපයාලූයේ සිනමාවේදයක් පිණිස සොඳුරුතම සංනිදර්ශනයකි. එහෙයින්ම තවත් දූස්රා සිනමා තණතිල්ල වෙත එල්ල විය යුතුමය. චන්න දේශප්‍රිය සිනමාප්‍රිය ප්‍රේක්ෂකප්‍රිය මුද්‍රාව තැබූ දූස්රාවෙන් එහාට තවත් දුර යා යුතු සේම මෙතෙක් අප නොදැන සිටි ලක්ෂාන්ලා කොයි දීපංකරයේ සිට හෝ මේ බිමට කැන්දාගත යුතුමය. ඒ අන් කිසිවක් වෙනුවෙන් නොව හිතට හරියන සිනමාවේදයක් නැති රටක සිනමාවේදයකට කවුළු පියන් පත් හැරලනු පිණිසමය.

• සංජීවිකා සමරතුංග