2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ලියමු ලියමු පොතුත් ලියමු....

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

ඔන්න මචෝ සාහිත්‍යය මාසේ උදා වෙලා තියෙන්නේ. රඹට ඉහළින්ම ආතල් රඹටි හැලෙන්න ආතල් කතා අපි හැමදාමත් කතා කරන්නෙ. ඒ නිසා පොඩ්ඩක් සීරියස් වෙලා සාහිත්‍යය ලෝකෙ තියෙන නව ප්‍රවණතාවයක් නැත්නම් සුපිරිම Y Trend එකක් ගැන සුදාලත් එක්ක කතා කරන්න කල්පනා කළා.

අපේ සුදාලා දන්නවා මේ වෙද්දි නවකතාව Digital කරණය වෙලා තියෙන්නේ. සුදාලට කියන්න, මේ වෙනකොට ලංකාවේ ගොඩක්ම තරුණ කොටස් නවකතා කියවන්නේ Facebook එක ඇතුළේ. ලංකාවේ මුහුණුපොතේ නවකතා කොටස් වශයෙන් පළ කරන පට්ට සෙටාර් එකක් ඉන්නවා. Group ගණනක් තියෙනවා. ඒ නවකතාවල සමස්තයක් විදිහට ගුණාත්මක බව පිළිබඳව සමහරු ප්‍රශ්න කරනවා. හැබැයි මචෝ මේක පොඩි Culture එකක්. වෙනම ආතල් එකක්.

හැබැයි වස්තු, ලංකාවේ සීන් කෝන් එක දිහා විතරක් බලලා සමස්තය විග්‍රහ කරගන්න එක හරිම අසාධාරණයි. ඒ නිසාම අපි ඔයාලා වෙනුවෙන්ම ලෝකයේ දැන් නවකතාව සම්බන්ධව තියෙන නව ප්‍රවණතාවයන් පිළිබඳව හොයලා බැලුවා. ඒකයි පටන් ගනිද්දිම කිව්වේ මේ සීන් එක පොඩ්ඩක් සීරියස් කියලා. නවකතා රචනය සහ ඉදිරිපත් කිරීම පිළිබඳ ලෝකයේ තියෙන නව ප්‍රවණතා ඇත්තටම මචෝ ටිකක් සංකීර්ණයි.

අපි සාමාන්‍යයෙන් දන්න මුහුණුපොත වගේ ඩිජිටල් Platform ඔස්සේ නවකතා පාඨකයන් වෙත ඉදිරිපත් කරන අලුත් ක්‍රමවේද විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ලෝකය අත්හදා බලමින් ඉන්නවා. අපි ඒවායින් කිහිපයක් සුදාලා වෙනුවෙන් තේරෙන සිංහලෙන් පැහැදිලි කරන්න කල්පනා කළා.

Self-Publishing Platforms (ස්වයං ප්‍රකාශන වේදිකා)

සාමාන්‍යයෙන් නවකතා පොත්පත් ප්‍රකාශයට පත් වෙනකොට ඒක ප්‍රකාශ කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. වඩාත් ජනප්‍රියම ක්‍රමවේදය තමයි මචෝ යම් ප්‍රකාශන ආයතනයක් හරහා කර්තෘ භාගය ලබා ගනිමින් අදාළ කෘතිය මුද්‍රණය කරවා ගැනීම. ඒ වගේම ස්වයං ප්‍රකාශනත් ඕනෑ තරම් තියෙනවා. ඒ කියන්නේ මචෝ තමන්ම ලියලා තමන්ම සල්ලි වියදම් කරලා පොත මුද්‍රණය කරගන්න සීන් කෝන් එකට.

දැන් මචෝ තමන්ම ලියලා තමන්ගේ පොත පත ප්‍රකාශනය කරගන්න අන්තර්ජාලය ඇතුළේ වේදිකා නිර්මාණය වෙලා තියෙනවා. ඒවාට තමයි ස්වයං ප්‍රකාශන වේදිකා කියලා කියන්නේ. Facebook එකත් ඇත්තටම මේ වෙලාවේ ඒ වගේ වේදිකාවක්. ඊට අමතරව ගත්තම අන්තර්ජාලය හරහා Kindle Direct Publishing (Amazon) වැනි වෙබ් අඩවි වගේම Watt pad, Inkitt සහ Radish වැනි mobile applications විශාල පාඨක ප්‍රජාවක් නවකතාකරුවන්ට හොයලා දෙනවා.

Serial Publishing (අනුපිළිවෙළක් ලෙස ප්‍රකාශය)

මේ වෙලාවේ ගොඩක්ම ජනප්‍රිය Watt pad සහ Radish වැනි යෙදුම් තමා මචෝ. සුදාලා අන්තර්ජාලය පැත්තේ සැරිසරලා මේ ගැන උනන්දුවෙන් හොයලා බලනවනම් මේ සීන් එක තෝරා බේරාගන්න එක එච්චර අපහසු නැහැ. මේවා මගින් සිද්ධ වෙන්නේ නවකතා කෙටි පරිච්ඡේද මගින් සහ අනුපිළිවෙළක් ලෙස පළ කිරීම. ඒ ඔස්සේ ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක කතාවේ ඊළඟ කොටස් කියවන්න මුදල් ගෙවිය යුතු වෙනවා. මේවා ඇතුළට රිංගලා වැඩ කිඩ දාන අපේ අය කිහිප දෙනෙකුත් ඉන්න බව නම් කියන්නම ඕනෑ.

Reader Engagement (පාඨකයන්ගේ සම්බන්ධතාව)

නවතම mobile applications වල විශේෂයෙන් සජීවී දායකත්වය (live interaction) හෝ ප්‍රතිචාර ලබා ගැනීමේ ක්‍රමවේද නිර්මාණය කරලා තියෙනවා. සිරාවටම මේ සීන් එක පට්ට. මෙතැනදී පාඨකයන්ට ඍජුවම විවෘත අවකාශයක් ඔස්සේ කර්තෘවරුන් එක්ක ගනුදෙනු කරන්න, කතාබහ කරන්න, තමන්ගේ අදහස් බෙදාගන්න පුළුවන්. මේක අපි කලින් කිව්ව ජනප්‍රිය යෙදවුම්වල ලස්සනට සිද්ධ වෙනවා. Facebook ඇතුළෙත් මේ වැඩේ කරන්න අවස්ථාවක් තියෙනවා. ලංකාවේ කට්ටිය ෆේස්බුක් එක පැත්තට බර වෙන්න හේතුව තමා ඒක.

Collaborative Storytelling (සමූහ කතාවක් ලිවීම)

මේකත් නවකතාව සම්බන්ධව ඩිජිටල් ලෝකයේ දක්නට ලැබෙන ආතල්ම සීන් කෝන් එකක්. Facebook සහ mobile apps මත collaborative fiction (සමූහික නවකතා) ලිවීමේ Trend එක පට්ට. එතැනදී සිද්ධ වෙන්නේ පරස්පර ලේඛකයන් එකට එකතු වෙමින් කතාවක් ගොඩ නැගීමට හෝ පාඨකයන්ට කතාවේ දිශානතියට බලපෑමක් ඇති කිරීමට අවස්ථාවක් ලබා දීම. මේවා සාම්ප්‍රදායික නවකතා ලෝකය සහ සාහිත්‍යය ලෝකයත් එක්ක ගැලපුවම ටිකක් මඤ්ඤං වගේ තමා. ඒත් ඇත්තටම මේ වගේ දේවල් නූතන ලෝකය තුළ සිද්ධ වෙනවා.

අනිත් අතට ආදායම් මාර්ග විවෘත කරගන්න මේ කටයුත්ත ඇතුළේ ලොකු අවස්ථා රැසක් නිර්මාණය වෙලා තියෙනවා. Facebook Reels සහ Stories පරිසරය තුළ නිර්මාණශීලී ප්‍රවර්ධන ක්‍රමවේද භාවිත කරමින්, නවකතා වර්ධනය කරමින් ගොඩක් දෙනෙක් මේ වෙලාවේ මුදල් උපයනවා.

ලංකාවේ නවකතා සම්බන්ධ මුහුණුපොතේ තියෙන ආතල් Trend එක ගැන සුදාලා එක්ක මීට අවුරුදු කිහිපයකට කලින් අපි Y Trend එකෙන් කතා කළා. ඇත්තටම දැන් ඒක ගොඩක් සංවර්ධනය වෙලා නමක් තියෙන චරිත හැදිලා වෙනම ලෙවල් එකකට ඇවිල්ලා තියෙන්නේ. කට්ටිය ලද බොළඳ කියන මල් නවකතා වගේම ප්‍රශස්ත මට්ටමේ නවකතාත් දැන් දක්නට ලැබෙනවා. නම් වලින් හඳුනන චරිත සැලකිය යුතු ප්‍රමාණයකුත් ඉන්නවා. ආදායම් උපයන පිරිසුත් ඉන්නවා. තව දවසකදී ලංකාවේ සීන් එක ගැන සුදාලා එක්ක අපි දීර්ඝව කතා කරන්නම්. එහෙනම් කියවන්න, ජීවිතය දිනන්න.

• චමිඳු නිසල්