2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

අමුතු ගුරුවරු ලෝකෙට ඇවිත්

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

ඔන්න සුදෝ මේ පාර දෙන්න යන්නේ ගුරුවරු ගැන Y Trend එකක්. ඕ... කලබල වෙන්න එපා. මේ කතාව AI ගුරුවරු ගැන. කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන ගුරුවරු දැන් ලෝකය පුරා වේගයෙන් බිහි වෙන්න පටන් අරගෙන තියෙනවා. මේක මචෝ සිරාවටම ලොකු Trend එකක්. කොහොම වුණත් ලෝක ගුරු දිනෙත් ආසන්න දවස්වල යෙදෙන නිසා මේ සීන් එක ගැන කතා කරන්න අපි කල්පනා කළා.

මාස දෙක තුනකට ඉස්සෙල්ලා ඉන්දියාව පැත්තෙන් මෙහෙම කතාවක් අහන්න ලැබුණා මචෝ. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හි පිහිටි කේ.ටී.සී.ටී උසස් ද්විතියික පාසලේ සිසුන් පිරිසක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන රොබෝ ගුරුවරියක් නිර්මාණය කරලා. ටිකක් හොයලා බලද්දි වැඩේ ඇත්ත.

මේ රොබෝ ගුරුවරියට මෙයාලා නම ලබා දීලා තිබෙන්නේ අයරිස් කියලා. ඉතින් සාමාන්‍ය ගුරුවරයකුට පිළිතුරු ලබා දෙන්න පුළුවන් තමන්ගේ විෂයට අදාළව විතරයිනෙ. ඒත් මේ රොබෝ ගුරුවරියට ඕනෑම විෂයකට අදාළ ගැටලු‍වලට පිළිතුරු දෙන්න පුළුවන්. මේක ඇත්තටම මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් ලෝකය පුරා AI ගුරුවරු ඕනෑ තරම් ඉන්නවා. ඉතින් ඉන්දියාවේ පාසල් ඇතුළෙ පවා මේ දේවල් භාවිත වෙනවා කියන්නේ, හරිම සුවිශේෂී තත්ත්වයක්.

මේ Trend එක ඉතාම ඉක්මනින් ලෝකය පුරා අධ්‍යාපනයේ ලොකු කොටසක් බවට පත් වේවි. සූදාලට හොඳට බැලු‍වොත් පෙනෙයි, කෝවිඩ් වසංගතයෙන් පස්සේ ලෝකය පුරා අධ්‍යාපනයේ Online භාවිතය සිය දහස් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඉතාම ආසන්න කාලයක මේ අපි කතා කරන්න යන සීන් කෝන් එකත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීමට නියමිතයි.

කෘත්‍රිම බුද්ධිය ගැන අපි මීට කලින් Y Trend වල තුන් හතර වතාවක් කතා කරලා තියෙනවා. ඒත් මචෝ මේ සීන් එක ටිකක් වෙනස්. සරල තැනකින්ම පටන් ගත්තොත් AI ගුරුවරයෙක් කියලා කියන්නේ, ගුරුවරයෙක් විසින් සිදු කරන කාර්යභාරය සිදු කරන්න නිර්මාණය කරන ලද කෘත්‍රිම බුද්ධි වැඩසටහනකට.

ඔයා අහන හැම දෙයක් ගැනම දන්න, ඔයාට උත්තර දෙන, අවශ්‍ය නම් පැහැදිලි කරලා දෙන කවුරු හරි කෙනකුව ඔයාට මුණගැහෙනවා කියලා හිතන්න. ඇත්තටම ඔහු නියම ගුරුවරයෙක්. AI ගුරුවරයෙක් කියන්නෙත් එහෙම කෙනකුට. අන්තර්ජාලයට ගිහිල්ලා දේවල් හොයලා දැනගන්නවා වගේ නෙවෙයි, මෙයත් එක්ක කතාබහ කරලා දේවල් ඉගෙන ගන්න, දැනගන්න, වැරදි අඩුපාඩු නිවැරදි කර ගන්න, පරීක්ෂා කර ගන්න, ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබෙනවා.

මචෝ ChatGPT, Google Bard වැනි බුද්ධිමත් ආධාරක කෘත්‍රිම බුද්ධි වැඩසටහන් එක්ක මේක සම්බන්ධයි. ඇත්තටම මේ වැඩසටහන් ඔස්සේ තමයි ගොඩක් වෙලාවට AI ගුරුවරු නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අය ගුරුවරු වෙන වෙනම නිර්මාණය කරලා ඒ අයගෙන් අදාළ වැඩේ කර ගන්න පුළුවන් විදියට වෙබ් අඩවි සහ ඇප් හැදීම මේ දවස්වල ලොකු Trend එකක්.

ChatGPT වගේ භාවිත කරලා ඔයාලටත් මේ විදියට ඒ වගේ ගුරුවරයෙක් එක්ක වැඩ කරන්න බැරිකමක් නෑ. එතැනදී සිද්ධ වෙන්න ඕනෑ, මුලින්ම එයාට ගුරුවරයෙක් වෙන්න කියලා ඉල්ලීමක් කරන එක. අපිට වැඩසටහන ගුරුවරයෙක් විදියට සකස් වෙලා අපිට ඕනෑ දේ කරනවා.

මේ වෙනකොට ලංකාවෙත් නිතර නිතර දකින්න ලැබෙන දැන්වීම් වගයක් තියෙනවා. අපි දැක්කා ඒවායේ පෙන්නනවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න උදව් වෙන AI ගුරුවරු විදිහට කටයුතු කරන වැඩසටහන්. එයාලත් එක්ක කතාබහ කරන්න පුළුවන්. ඒ වගේම මේ වැඩසටහන් අපිව නිවැරදි කරනවා.

Duolingo වැනි භාෂා ඉගෙනුම් AI පදනම් කරගෙන භාෂා ඉගෙනුම් සැසියක් සිසුන්ගේ වර්තමාන දැනුම මත පදනම්ව ස්වයංක්‍රීයව සිදු කරන්න පුළුවන්. මෙතැනදි AI උපදෙස් ලබා දෙන අතරම, නව මට්ටමේ අභියෝගයක් සහ දැනුම ශිෂ්‍යයන් වෙත ලබා දෙන්න කෘත්‍රිම බුද්ධිය කටයුතු කරනවා.

හැබැයි මේ විදිහට පළ කරලා තියෙන වැඩසටහන් නම් බොහෝ විට මුදල් ගෙවා ලබාගත යුතු ඒවා. නොමිලේම මේ පහසුකම් ලබාගන්නත් උත්සාහ කළොත් හැකියාවක් තියෙනවා. හැබැයි මචෝ ඒකට ටිකක් වැඩේට උනන්දුවෙන් බැහැලා අන්තර්ජාලයේ විස්තර හොයලා බලන්න ඕනෑ.

මේක මචෝ කෘත්‍රිම බුද්ධිමය අධ්‍යාපනය ගොඩක් ක්ෂේත්‍ර හරහා ගමන් කරමින් තියෙනවා. AI පද්ධති පදනම්ව ස්වයංක්‍රීය පරීක්ෂණ ක්‍රමයක් නිර්මාණය නිර්මාණය වෙලා. Proctoring AI පද්ධති පාවිච්චි කරමින් විභාගකරණයේ සාධාරණභාවය රැක ගැනීමට සහ සිසුන්ගේ ප්‍රගතිය අධීක්ෂණය කරන එක දැන් එච්චර අමාරු වැඩක් නෙවෙයි.

මචෝ මේක ලෝකයේ වේගයෙන් සිද්ධ වෙමින් යන විශාල පරිවර්තනයක්. සුදාලට සීරියස් කතාවක් කිව්වොත් අවුල් ගන්න එපා. අපේ මානව සමාජය එතෙක් මෙතෙක් ලොකු ගමනක් ආවේ මිනිසුන් ගුරුවරුන් බවට පත්වෙන්න ඉගෙන ගත්තු නිසා. සරලවම කිව්වොත් මිනිස්සු අනික් අයට යමක් කියලා දෙන්න හැකියාවක් ඇති කරගත්ත නිසා. මේ මොහොතේ සිද්ධ වෙමින් තියෙන්නේ ඒ හැකියාව තාක්ෂණය වෙත මාරු කිරීම.

ඒ නිසා මේක බැලූ බැල්මටම යහපත් සුන්දර සහ ඉතාම ඵලදායී දෙයක් වගේ පෙනුණත්, අනාගත අවදානමක් නිර්මාණය විය හැකි තත්ත්වයක්. මචෝ එහෙම අවදානමක් නිර්මාණය වෙන්නේ අද හෙට නම් නෙවෙයි, තවත් සියවස් ගණනාවකින්. කොහොම වුණත් ඒ වගේ දේවල් කතා කරන්න හදිසි වෙන්න ඕනෑ නෑ. දැනට සුදාලා මේ අපූරු AI ගුරුවරුන්ගේ සේවය ලබාගන්න උත්සාහ කරන්න.

කොහොම වුණත් මචෝ මේක මේ වෙනකොට ලෝකයේ තියෙන පට්ට Trend එකක්. අනම් මනම් වල්පල් ගැන වගේම, මේ වගේ සීරියස් දේවල් ගැනත් අපේ සුදාලා උනන්දුවෙන් අවධානයෙන් ඉන්න ඕනෑ. ලෝකය ඉස්සරහට යනකොට අපිට ගොන් කරත්තවල යන්න බෑ. දැන් ලංකාවෙත් මේ තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව හොඳ කතාබහක් සහ යම් උනන්දුවක් ඇතිවෙමින් තියෙනවා. ඒ නිසා අපේ සෙටාර් එකත් වැඩේ ගැන පොඩ්ඩක් උනන්දුවෙන් හොයලා බලන්න. ඔයාලට ප්‍රයෝජනවත් වේවි.

• චමිඳු නිසල්