2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

කෙල්ලක්‌ගේ බැල්මකට මම අවුරුදු දොළහක් ආදරය කළා - සුරන් දසනායක

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 62

ආදරය කියන දේ සුරන්ට දැනෙන විදිහට කොහොම හැඟීමක්ද?

මට හිතෙන විදිහට ආදරය කියන දේ එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්. මට ලැබෙන ආදරය වගේ ආදරයක් සමහරවිට තව කෙනෙකුට නොලැබෙන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ආදරය කියන වචනයට හරිම නිර්වචනයක් දෙන්න හරි අමාරුයි. මගේ ජීවිතයෙත් එක එක කාලවලදී එක එක විදිහේ ආදරයන් ලැබිලා තියෙනවා.

මිනිසුන් බොහෝ අය ආදරය කියන දේ ලඝු කරනවා. ඒත් ඇත්තම ආදරය  මිනිසුන්ට විතරක් නෙවෙයි ගහකොළට සතා සිවුපාවුන්ට මුළු විශ්වයටම ලබා දෙන්න පුළුවන්. ඔයා හිතන්නේ කොහොමද?

ඔව්... ඒක ඇත්ත. අපි ආදරය කළොත් ඒ හැමදේකින්ම අපිට ආදරය ලැබෙනවා. විශේෂයෙන්ම මේ සොබාදහමට අපි ආදරය කරන්න ඕනෑ. අවංකවම ඒ දේවල්වලට අපි ආදරය කරනවනම් ජීවිතේ ගොඩක් තැන්වලදී පෙරළා ඒ ආදරය අපිට ලැබෙනවා. ඒ වගේම කාට වුණත් මොන දේට වුණත් අපි කරන ආදරය අවංකවම කරන්න ඕනෑ. පුංචි කාලේ ඉඳන් අම්මා තාත්තාගෙන් ලැබෙන ආදරය මාරම වටිනවා. ඒ ආදරයට කොටු කිරීමක්, සීමාවක් තිබුණේ නැහැ. ඒ අය මුළු ජීවිතයම කැප කරලා අපිට ආදරය කළා. අපිත් ඒ විදියටම ආදරය කරන්න ඕනෑ. අවංකවම ආදරේදී අපිට කවදා හරි සතුටු වෙන්න පුළුවන්.

ආදරය නිසා සුරන්ගේ ජීවිතයට ලැබුණු ජයග්‍රහණ සහ වටිනා දේවල් කිව්වොත්?

මගේ මවුපියන්ගෙන් මට ලැබුණු ඒ ආභාෂය, ඒ අවංකත්වය ආදරය නිසා මට ලැබිලා තියෙනවා. පාසල් කාලයේදී මම වටා බොහෝ යාළුවන් පිරිසක් හිටියා. අදටත් ඒ යාළුවන් මගේ ජීවිතේ ළඟින්ම ඉන්නවා. ඔවුන්ගේ එය ආදරය මට හරියට වටිනවා. ඒ වගේම තරුණ කාලයේදී මම කරපු සමහර ආදරයන්හිදී මම විරහව විඳලා තියෙනවා. හැබැයි මම ඒ අයට අවංකවම ආදරය කළා කියන සතුට මට ඉතිරිවෙලා තියෙනවා.

ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම් සහ අහිමිවීම් එහෙමත් ඇති?

අම්මෝ... එහෙම අහිමිවුණු, රිදුණු තැන් ගොඩක් තියෙනවා. මම අවුරුදු දොළහක් ආදරය නිසා බලාපොරොත්තු විතරක් තියාගෙන ඉඳලා තියෙනවා. ආදරය නිසා බලාපොරොත්තුවකින් විතරක් මම ජීවත් වෙලා තියෙනවා. ඒක ලෙහෙසි වැඩක් නෙවෙයි. එක බැල්මකටත් මම ආදරය කළා. එයා මට පොඩි බලාපොරොත්තුවක් දුන්නා. හැබැයි ඒ පොඩි බලාපොරොත්තුව නිසා මම වසර දොළහක් බලාගෙන හිටියා. ආදරය කළා. බැල්මක් නිසා ආකර්ෂණය වෙලා ඒකෙන් ලැබෙන සතුට ඒ කාලේ හරිම වටිනවා. හැබැයි ඒ හැමදේම අවුරුදු 12 කට පස්සේ නැතිවුණා. මම එයා එක්ක කතා කරලා තියෙනවා. ඒ හැම වචනයක්ම ඒ හැම බැල්මක්ම මට බලාපොරොත්තුවක් ඇති කළා.

සුරන් ආදරය නිසා රිදුණු තැන් දරාගන්න හොඳම විදිය මොකක්ද?

ඒ කාලෙ නම් ඒ රිදුණු තැන් එක එක විදිහට දරා ගත්තා. ඒ ගැනත් ඒ කාලෙ තේරුමක් තිබුණේ නැහැ. ඒ කාලෙ ඒ විඳවපු තැන් ගැන හිතලා අද අපි විඳිනවා. ඒ තරමටම ඒ කාලෙ තේරුමක් තිබුණේ නැහැ. මම ගොඩාක් ක්‍රීඩා කළා. ඒ නිසා ක්‍රීඩාව නිසා දරාගන්න හුරු වුණා. හැබැයි දැඩිව හිත රිදුණු තැන් තිබුණා. දරාගන්න බැරිවුණු තැන් තිබුණා. මත්පැන් නොබීපු ඒ කාලෙ මත්පැන් බීලා ඒ දුක දරාගන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි මම දන්නවා ඒ දේවල් කිසිම දෙයක් මගේ ජීවිතයට හොඳ වුණේ නැහැ කියලා.

නළුවෙක් විදියට ලබන ප්‍රේක්ෂක ආදරය හුඟක් සංවේදීව දැනුණු තැන් මොනවාද?

මම තවම සර්ව සම්පූර්ණ නළුවෙක් නෙවෙයි. තවම මට රංගනය ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න, හදාරන්න තියෙනවා. හැබැයි මේ කාලය තුළදී එවැනි ප්‍රේක්ෂක ප්‍රතිචාර දැඩිව දැනුණු තැන් තියෙනවා. මම තෝසෙ සහ ඉඳිආප්ප කන්න හරි ආසයි. මම සතියකට අඩු ගාණෙ එක දවසක්වත් තෝසෙ කඩයකට ගිහින් තෝසෙ කනවා. ඒ වගේ තැන්වලදී මිනිසුන් ඇවිත් කතා කරද්දි මට මාර සතුටුයි. ඒ වගේම පහුගිය දවසක රට ඉඳන් ආපු මගේ යාළුවෙක් එක්ක මම කොළඹ තරු පහේ හෝටලයකට කෑම කන්න ගියා. එතැනදී ‘ලිෆ්ට්’ එකේදි මගේ කටහඬ හඳුනාගෙන මාත් එක්ක වයසක ඇන්ටිලා දෙන්නෙක් කතා කළා. ඒ දෙන්නා පෙනුමින් ගොඩක් ධනවත් දෙන්නෙක් කියලා මට දැනුණා. හැබැයි ‘ලිෆ්ට්’ එකේදී මගේ කටහඬ හඳුනාගෙන ඒ දෙන්නා හරිම නිහතමානීව මාත් එක්ක කතා කළා.

ජීවිතයේ වැඩියෙන්ම ආදරය දැනුණු තැන්වලදී ඔයා ඒවාට දක්වන ප්‍රතිචාර?

මම ආදරයට හරි ආදරෙයි. ඒ නිසා මම හැමෝම එක්ක කතාබහ කරනවා. බබාලාගේ ඉස්කෝලෙ ගාවට ගියත් මට ඒ හැමෝම එක්කම කතාබහ කරනවා. බස් එකේදිත් මාත් එක්ක ගොඩක් දෙනෙක් කතා කරනවා. මට ඇමතුම් දෙන අයට මම කතා කරනවා. මම තාම මේ ක්ෂේත්‍රයට අලු‍ත්. ඉතින් මේ ආදරය නිසා ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න ආසා හිතෙනවා.

ආදරය නිසා රිදවන අයට වෛර නොකර ඉන්න හිත පුරුදු   කර ගන්න ඕනෑ හොඳම විදිය?

මම හිතන්නේ හොඳම දේ නිහඬතාවයයි. අපිට රිදවන අයට වෛර නොකර හිනාවකින් සංග්‍රහ කරන්න පුළුවන් නම් නොදැනුවත්වම ඒ අයගේ හිත රිදෙනවා. “අපරාදේ මම මේ කෙනාට රිද්දුවෙ”‍ කියලා එයාලට දැනෙන්න ගනීවි. ඒ දැනෙන දේ අපේ හිතට මාර සැහැල්ලු‍වක්. ඒ නිසා රිදවපු කිසිම කෙනෙකුට වෛර කරන්න හොඳ නැහැ.

සුරන් ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවද?

මම කතෝලික. සංසාරගත බැඳීම් කියන්නේ මම හිතන විදියට එක එක්කෙනාට ලැබෙන විදිහයි. මම කතෝලික වුණාට මම බෞද්ධ ධර්මයටත් පුදුම විදියට ළැදියාවක් සහ භක්තියක් තියෙනවා. එහෙම කියලා මම දවස් හතම පල්ලි යන කෙනෙක්වත් දවස් හතම පන්සල් යන කෙනෙක්වත් නෙවෙයි. මගේ තාත්තා බෞද්ධ. මගේ අම්මා කතෝලික. අපි හැදුණේ වැඩුණේ කතෝලික පරිසරයකයි.

ආදරය නිසා ලැබුණු වටිනාම තෑග්ග?

ආදරය නිසා මට ලැබුණු වටිනාම තෑග්ග මගේ දියණියන් දෙදෙනායි.

ඔයාට ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැන් මොනවාද?

මගේ අම්මා නැතිවුණාම මගේ සහෝදර සහෝදරයන්ගේ ආදරය මට ලැබුණා. හැබැයි අම්මාගේ ආදරය මට අහිමිවීම ලොකුවට දැනුණා. මගේ තාත්තා නැතිවෙද්දී මම කොරියාවේ හිටියේ. ඉතින් ඒ දෙන්නගේ ආදරය අදටත් මට දැනෙනවා. මම අම්මා එක්ක යාළුවෙක් වගේ හිටියේ. හැමදේම අම්මට කිව්වා. ඉතින් ඒ ආදරය අදටත් මට තදින්ම දැනෙනවා. 

ජීවිතේ ඒකපාර්ශ්වික ආදරයක් කවදා හරි විඳලා තියෙනවද?

ඔව්... අවුරුදු දොළහක් මම ඒ වගේ ආදරයක් විඳලා තියෙනවා. එයා මට වඩා ගොඩක් පොහොසත් කෙනෙක්. ඒ නිසා ඒ ආදරය කියාගන්න මම අසරණ වුණා.

• දිශානි ජයමාලි
• අන්තර්ජාලයෙන්