2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

සොඳුරු පිය කුමරුනි - සුවබර රැයක් වේවා ඔබට සැතපෙන්නට සුර කැල ගී ගයත්වා

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 83

නිල්වන් අහසේ නිලක් නොරැඳුණු දවසකි ඒ. ඒ වැස්ස දරාගෙනම සිනහවක් රැඳුණු මුවෙන් ඔහු ආයේය. මගේ හිස වසාගෙන සිටි මොණර නිල් වන් සළුවට ලස්සනයි කී තුෂාර “හුඟ දවසකින් නංගි කවරෙකට ආර්ටිස්ට් කෙනෙක් මේකප් කරන්නේ. දැන් මම ට්‍රීට්මන්ට් කරනවා. ඉක්මනින් සනීප වෙයි. ආය වැඩක් තිබුණොත් කියන්න. මම එන්නම්. මම ආසාවෙන් මෙහෙම වැඩ කරන්නෙ...” යැයි කීවේය. සපැමිණි පළමු තත්ත්පරයේ ඒ කී කතාව සමුගන්නා අවසන් තත්ත්පරයේත් තුෂාර කීවේය. තුෂාර ඉඳින් ඔබ – මා මුණගැසෙන අවසන් තත්ත්පරය එය වේ යැයි මම එක් තත්ත්පරයකටවත් නොසිතුවෙමි. මෙතරම් ඉක්මනින් ඔබ ඒ ගමන අපේක්ෂා නොකළ වගට ඒ වචන අදටත් මවෙත ඉතිරි කළ නිහඬ සාක්ෂිය මට දරාගන්නට අසීරුය. වැස්සත් අරගෙනම එදා ඔබ ආවේ ශ්‍රියානි අමරසේන රංගවේදිනිය වෙනුවෙන් අප කළ හදසර විශේෂ කලා අතිරේකය සරසන්නට ශ්‍රියානිය හැඩ කරන්නටය.

ඔබ මට හඳුන්වා දුන්නේ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු ලෙසත් සුන්දර හදවතක් හිමි මිනිසෙකු ලෙසත් හැමදාමත් මා හද අබියස සම්මානනීය වූ නිල්හාන් සෙනෙවිරත්නය.

තුෂාරගේ වැඩ ලස්සනයි... එදා නිල්හාන් ඔබ ගැන මට කීවේ එහෙමය. දහස් ගණනක් මිනිසුන් හැඩ කළ, වර්ණවත් කළ, ලස්සන කළ ආදරණීය ඔබට පිළිකාවක් හේතුවෙන් උරුමවූ මේ තරම් රුදුරු, අවලස්සන මරණයක් සොබදහමේ තීරණය වූයේ කවර හේතුවක් නිසාදැයි මම නොදනිමි. ඒ හේතුවේ මුල්  සොයා සංසාර සුවිසැරියේ අක්-මුල් පිරිසිඳ ගමනක් යා යුතුමය. ඒ කිසිදා ඔබට මට යා නොහැකි ගමනකි. එහෙයින්ම සසර සක්මන සරා ඔබට නිදුක් නිරෝගි සුව සුන්දරත්වය හිමිවේවා යන ප්‍රාර්ථනය මිස කිසිවක් මා ඔබ අස නොතබමි.

තුෂාර රූපලාවන්‍ය ශිල්පියෙක් ලෙසත්, මනාලියන් හැඩගැන්වීමේ ප්‍රවීණයකු ලෙසත් එතෙකින් නොනැවතී ඇඳුම් නිර්මාණවේදියකු ලෙසත් විදාහල ප්‍රවීණත්වය සැබැවින්ම ප්‍රශංසනීය වෙයි. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී, ගාමිණී පණ්ඩිතරත්නගේ සමුගැනීමෙන් පසු සමන්ත ගුණසේකර හා එක්වී ඔහුගේ රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය තුෂාර රූපලාවන්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තමන් සන්තක කරගෙන සිටියේය. සමන්ත සේම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත වූ රමණි ප්‍රනාන්දු සහ මයිකල් විජේසූරිය සමඟ ද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ලද තුෂාර ඉනික්බිති තිලක් ද සිල්වා සමඟ Lecoiffeur Thilaque හි කටයුතු කරමින් එයිනුත් ඉනික්බිති රාගම පේරලන්ද ප්‍රදේශයේ තමාගේ නමින්ම රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගියේය.
තුෂාර සමුගත් මොහොතේ විචිත්‍රවත් ඡායාරූප ශිල්පී ජනප්‍රිය ගායක දයාන් විතාරණ මුහුණුපොතේ තබා තිබූ සටහනේ තුෂාර කවුරුන්දැයි හඳුන්වා දී තිබුණේ මෙලෙසය.

“ඔහු බොහෝමයක් රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සඳහා අංග රචනයෙන් එක්වී ඇති අතර සොළොස් වසරකටත් වැඩි කාලයක් පුරාවට ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා හැඩගැන්වෙන්නේ ඔහු විසින් වීම සුවිශේෂත්වයකි. එමෙන්ම යශෝධා විමලධර්ම, අනර්කලී ආකර්ෂා, චූලා පද්මේන්ද්‍රන්, යුරේනි නොෂිකා, නදීෂා හේමමාලි, වාසනා දන්තනාරායන වැනි නිළියන් සහ නිරෝෂා විරාජිනී, උරේෂා රවීහාරි වැනි ගායිකාවන් ද බොහෝ විට හැඩවූයේ තුෂාරගේ සුරතිනි. එපමණකුදු නොව, භාරත දමිළ නිළි ස්වර්ණමාලි පවා හැඩගන්වන්නට සමත් වූ තුෂාර බොහෝ අන්තර්ජාතික කටයුතුවලට අංග රචනයෙන් එක්වී ඇත.”

සැබැවින්ම තුෂාර සොයිසා යනු රූපලාවන්‍ය ක්ෂේත්‍රය කලාව හා යා කරමින් කලාව හා සිනමාව වෙනුවෙන් රූපලාවන්‍ය කලාව ඔස්සේ මෙහෙවරක් කළ ස්වර්ණවත් මුද්‍රාවකි.

තුෂාර... පළමු සහ අවසන් හමුවීම තුළ ඔබ මවෙත තිළිණ කළ ළෙන්ගතුම මතකය මේ මොහොතේත් මට ප්‍රිය මිතුරු සුවඳක් දනවයි. ආදරණීය නිල්හාන්ට මේ මොහොතේත් ඒ සොඳුරු හමුවීම වෙනුවෙන් ස්තූතියි කියමි. තුෂාර... මම මරණය විශ්වාස නොකරමි. සම්මුතික මරණය තුළ භෞතිකව ශරීරය ප්‍රාණයෙන් නිරුද්ධ වන තැන මුණගැසෙන මරණය යළි භවයක ද්වාරයක් නම් ගත මිස සිත කිසිදා මරණය තුළ තනි නොවේ. එහෙත් මරණය වේදනාත්මක වන්නේ ඔබ යළි කිසිදු සංසාර නවාතැනකදී ඔබ වෙසින්ම යළි අපට මුණ නොගැසෙන නිසාමය. එහෙත් මතක සුවඳ රැගෙන යන බැඳීම් නැවත නැවතත් හමුවූ කල්හි සංසාරයම සුවඳවත් වග මම විශ්වාස කරමි. ආදරණීය තුෂාර... දැන් ඉතින් සමුගන්න... ඔබ පැතූ ජීවිතයක් වෙත්නම් ඒ ජීවිතයම ඔබට සසර සරා හමුවේවා...

ඉතින් සුව නින්දක්
සුබ ගමනක්!

• සංජීවිකා සමරතුංග
සේයාරූප - දයාන් විතාරණ සහ නිල්හාන් සෙනෙවිරත්නගේ මුහුණුපොතිනි