තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ හිතටයි
වැළපෙන්න ඉඩ දෙන්න
මටයි මගේ නෙතටයි...
ජනප්‍රිය ගීත කිහිපයකටම හිමිකම් කියූ ජනප්‍රිය ගායකයකු වූ කලාවේදී අජිත් ආරියරත්න පසුගියදා තම ජීවිත රඟ මඬලෙන් සමු ගත්තේය. අනූව දශකයේ දී ඉතා ජනප්‍රිය වූ අජිත් එකල සංගීත ප්‍රසංගවල නැතිවම බැරි ගායකයෙක් වූයේය.
1965 වසරේ පෙබරවාරි 26 වැනිදා කෝට්ටේ දී උපත ලැබූ අජිත්ගේ මව වූයේ ඒ.ඩී. ලීලාවතීය. පියා කේ.ඒ. ආරියරත්න විය. කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ අධ්‍යාපනය හැදෑරූ අජිත් කුඩා කල සිටම සංගීතයට ඇල්මක් හා හැකියාවක් දැක්වූ දරුවෙක් වූයේය. මේ නිසාම දෙමාපියන් ඔහුට හය වසරේ සිටම ආචාර්ය රෝහණ වීරසිංහයන් යටතේ සංගීතය හදාරන්නට ඉඩකඩ ලබා දුන්නේය. එතැන් සිට අජිත්ගේ සංගීතය වැඩිදියුණු වූයේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ඇසුරේය.
පාසල් අධ්‍යාපනයෙන් පසුවද වරින් වර ආචාර්ය රෝහණ වීරසිංහයන් මුණගැසුණු අජිත්, සංගීත තනු නිර්මාණ කිහිපයක් නිර්මාණය කරගත් අතර එයින් ඉතාම ජනප්‍රිය ගීතයක් වූයේ “තනිවෙන්න ඉඩ දෙන්න” ගීතයයි. එම ගීතය පද රචනා කළේ එච්.එම්. ජයවර්ධන මහතාය. ඔහුගේ මුණගැසීමට මඟ විවර කළේ ද ආචාර්ය රෝහණ වීරසිංහයන්ය.
අජිත් ආරියරත්නයන් සංගීත ක්ෂේත්රයට පිවිසියේ අනූව දශකයේදීය. “තනිවෙන්න ඉඩ දෙන්න” නම් කැසට් පටය එකල ඉතා ජනප්‍රිය වූ, විශාල අලෙවියක් ලැබූ ගැසට් පටයක් විය.
හදවතින් සෙනෙහස පූරා
ඔබ එදා මා වෙත පිදුව සේ
හදවතින් දෙනයන වසා
ඇයි මෙසේ මා හද තනි කළේ
දෙනෙතේ හසරැල් සලා
සිහිනය සේ බොඳ වෙලා
මගේ පැතුම් ලොව පහන් නිවා
ඔබ ඉගිලී යන්න ගියා
එය ද අජිත් ආරියරත්න ගැයූ තවත් අතිශය ජනප්‍රිය ගීතයකි. ඔහුගේ බොහෝ ගීත විරහව කැටිවුණු ගීතයන්ය.
දයාබර දිලූ කියා
අමතන්න නෑ වරම්
ඔබ කාගෙදෝ මනමාලි වී
වෙන්වී ගියා මගෙන්
මගෙන් ලැබූ සෙනේ
ඔහුගෙන් පැතූ දිනේ
නෑ චෝදනා ගෙන දෙන්නෙ මා
හඬවා නුවන් ඔබේ
අජිත් ආරියරත්නයන්ට එක් සහෝදරියක් සහ සහෝදරයන් හතර දෙනෙකි. අජිත් විවාහ වූයේ දිලූෂා නිලන්ති සමඟය. ඔවුන්ට පුතුන් දෙදෙනෙකි. ඔවුහු මේ වන විට රැකියාවල නිරත වෙති. කාලයක් තිස්සේ අජිත් රෝගාතුරුව වරින් වර රෝහල්ගත කර තිබුණි. දරුණු ලෙසින් දියවැඩියා රෝගයට ගොදුරු වුණු අජිත්ගේ පාදයේ එක් ඇඟිල්ලක් ශල්‍යකර්මයකින් පළමුව ඉවත් කෙරුණි. පසුව එම පාදයේම තවත් ඇඟිල්ලක්ද, ඉන්පසු රෝගය තවත් උත්සන්න වී අනෙක් පාදයේ ඇඟිල්ලක්ද ශල්‍යකර්මයකින් ඉවත් කෙරුණි. ඒ නිසාම අජිත්ට සිදු වූයේ පාද දෙකම බැන්ඩේජ් කරගෙන සිටීමටය. එවැනි රෝගී තත්ත්වයන් හමුවේ අජිත්ට වරින් වර රෝහල්ගත වීමට සිදුවිය. මේ නිසාම ප්‍රසංගවලට, උත්සවවලට, සහභාගි වෙමින් සිටි අජිත්ට ඒවායින් ඈත්වන්නට සිදුවිය. අසනීපයත් සමඟ අවසන් කාලයේදී අජිත්ට සිදුවූයේ වැඩි කාලයක් ඇඳටම වී සිටීමටය. වෛද්‍යවරුන් පවසා තිබුණේ ඔහුගේ හදවත ද යම් දුර්වල මට්ටමක පවතින බවය.
වසරක පමණ කාලයක සිට අජිත් ගීත ගායනා කර තිබුණේ නැත. ඔහුට ඇතිවූ දරුණු කැස්ස ද ගීත ගායනා කිරීමට නොහැකිවීමට එක් හේතුවක් විය. පෙනහළුවල දුර්වලතාවයත් සමඟ කැස්ස උත්සන්න වී තිබුණි. එවැනි අසනීප තත්ත්වයන් කිහිපයකින්ම අජිත් ආරියරත්න වරින් වර පීඩා විඳ තිබුණි.
ඔහු ගැයූ “කතරගම කඳ සුරිඳු” ගීතය ද අතිශය ජනප්‍රිය ගීතයකි. ඊට අමතරව ”සිතින් ඔබ ළඟ”, “පියඹා හෙමින්”, “රැයක දුටු” ආදී ගීත ද ඔහු ගායනා කළේය. ඔහු සංගීත නිර්මාණයට ද හැකියාවක් දැක්වීය. සංදර්ශන වේදිකාවෙත් විවාහ උත්සවවලත් අජිත් ආරියරත්නට එකල විශාල ඉල්ලුමක් තිබුණි. මිය යාමට පෙර දිනයේ දී සෝමසිරි මැදගෙදර කලාවේදියා අජිත්ව මුණගැසීමට, ඔහුගේ සුවදුක් බැලීමට එම නිවසට ගොස් තිබුණි. අජිත් තම ආදරණීය මිතුරා සමඟ හොඳින් කතාබස් කළේය. ඔහුගෙන් සමුගෙන ඒමට පෙර සෝමසිරි, “බය වෙන්න එපා උඹට ඉක්මනට සනීප වෙයි” යැයි පවසමින් ඔහුගේ හිස අත ගෑවේය. නමුත් “නෑ... බං සීයට පනහක ප්‍රතිශතයක් තමයි දැන් තියෙන්නේ” කියමින් හෙමිහිට අජිත්ට මුමුණා ඇත. නමුත් ඒ ඔවුන්ගේ අවසාන මුණගැසීම බව දෙදෙනාම දැන සිටියේ නැත.
වයස අවුරුදු පනස් නවයක් ආයු වැළඳූ අජිත් ආරියරත්න තමන්ගේ මිතුරාගෙන් පමණක් නොව, පසුවදා තම ජීවිතයෙන් ද සමුගෙන තිබුණි.
සොඳුරු කලාකරුවාණෙනි, ඔබට සුබ ගමන්...
• දිශානි ජයමාලි
විශේෂ ස්තූතිය - ආචාර්ය රෝහණ වීරසිංහ මහතාට සහ සෝමසිරි මැදගෙදර මහතාට