2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

බුදල්නා මේ මොහොතේත් රිටිගල කන්ද උඩ භාවනාවක

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

අසන සවනට, දකින දෙනෙතට, සිතන සිතුමට, ආස්වාදනීය සෞන්දර්යකින් හදවත ආමන්ත්‍රණය කරන නවාතැනක් වෙත්නම්, ඒ තමන් ඡන්ම ලාභය ලද පොළොවයි. ජන්ම ලාභය ලද භූමියයි. යුග යුග ගණන් ඈතට ගල් පුවරු මත අක්ෂර ලියැවූ සෙල්ලිපි සාක්ෂියේ සිට ලියවුණු නොලියවුණු අනන්ත ස්වර්ණවත් මුද්‍රාවන් තුළ සිංහල යන ජාති නාමයත්, ශ්‍රී ලංකාව යන භූමි නාමයත්, සනිටුහන් කළ සාරාභිමානනීය ඉතිහාසයක් දෙවුර දරාගත් ආනන්දයත්, සාඩම්බරයත්, සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද දැනුණු සහ දැනෙන පෞරුෂත්වයක අයිතියෙන් ශ්‍රී ලාංකික සිනමාවට තිළිණ වූ සිනමා වියමනක් ලෙස මම ශ්‍රී සිද්ධා නිර්වචනය කරමි. ඓතිහාසික මූලාශ්‍රයක් කේන්ද්‍රීයව හදවතේ ඉපදුණු සාරාර්ථපූර්ණ සිතුවිල්ලක් සාර සෞන්දර්යාත්මක සිනමා වියමනක් වියනු පිණිස ප්‍රස්තුත කරගෙන ලියූ සිනමා අක්ෂරවේදයක සිනමාමය නිමැවුම ලෙස ශ්‍රී සිද්ධා සිනමා රූපකාරකය මම අර්ථ දක්වමි.

ශ්‍රී සිද්ධා සිතුවිල්ලේත්, තිර රචනයේත්, අධ්‍යක්ෂණයේත්, නිමැවුමේත්, සිනමාවේදී අයිතිකරු ආචාර්ය සරත් වීරසේකර සමඟ හදසර කතාබහේ අකුරු වියමනයි මේ.

ශ්‍රී සිද්ධා සිනමා වියමන සමඟ ඔබ සොයා යන්නේ ජීවමාන අතීතයක එක් ස්වර්ණවත් පරිච්ඡේදයක්. ඉතිහාසය, ජාතිය, ආගම සහ තමන් ජන්ම ලාභය ලද භූමියට දක්වන ආදරය යනු පුරවැසි යුතුකමක්. ඔබ සිනමාව ඔස්සේ ඉටු කිරීමට යත්න දරන්නෙත් ඒ යුතුකමේ එක් වගකීමක්. එහෙම සිතුවිල්ලක් සිනමාව කේන්ද්‍රීයව ඉපදුණේ ඇයි?

මගේ රට, මගේ ජාතිය, මගේ ආගම සහ මගේ භූමියේ ඉතිහාසය ගැන මට හැමදාමත් තිබුණේ සහ තියෙන්නේ අනන්තවත් කොන්දේසි විරහිත ප්‍රේමණීය ප්‍රේමයක්. ඒ ආලය, ඒ ප්‍රේමය නොසිඳෙන උල්පතක් වගේ. අපේ රටේ ඉතිහාසය ලිඛිත අලිඛිත මූලාශ්‍ර ඔස්සේ හොයාගෙන යද්දී ඒ ශ්‍රී විභූතිය මම හිතන්නේ අද ලෝකයේ සංවර්ධිත යැයි කියන කිසිම රටක ඉතිහාසය හා සංසන්දනය කරන්න බැරි තරම් පෞඪත්වයක් සහ විස්මිත තාක්ෂණයක්, කලාවක්, සෞන්දර්යක් සහ ශිෂ්ටාචාරයක් කේන්ද්‍රීයව ගොඩනැගී ඇති වග සක්සුදක් සේ පැහැදිලිව මට දැනෙන තැන් ​ෙබාහෝමයි. ඉතිහාසයට ගරු නොකරන, ආදරය නොකරන ජාතියක් කවදාවත් ඉදිරියට යන්නේ නෑ. තමන්ගේ දේශයේ, තමන්ගේ ජාතියේ ආරම්භය ගැන කියවීමක්, අභිමානයක් නැති කිසිම මනුස්සයෙක් ඒ පොළොවේ අක්මුල් හා බැඳුණු ප්‍රභාෂ්වර පුරවැසියෙක් වෙන්නෙත් නෑ.

රටක ඉතිහාසය කියන්නේ රටක අභිමානයේ කැඩපතක්. අපේ මුතුන් මිත්තන් ප්‍රාණසම ආදරයකින් රැකගත්, ආරක්ෂා කළ සතුරු ආක්‍රමණවලින් මුදාගෙන ඓතිහාසික අයිතිය සාධාරණත්වයෙන් තහවුරු කළ, ඒ තහවුරු කිරීම් උදෙසා අප්‍රමාණ කැපකිරීම් කළ, මාතෘ භූමියට හානියක්, වංචාවක් අවැඩක්, අයහපතක් නොකරන පුරවැසියෙක් වීම යුතුකමක්. වගකීමක්. මම මගේ හෘද සාක්ෂියට එකඟව ඒ යුතුකම හැමදාමත් ඉටු කළා. තවදුරටත් ඉටු කරමින් ඉන්නවා. ශ්‍රී සිද්ධා කියන්නේ ඒ වගකීම් සහගත ඓතිහාසික යුතුකමේ එක් පියවරක් විතරයි. මගේ අවසන් හුස්ම තෙක් විවිධ ප්‍රවේශයන් තුළ ඒ යුතුකම ඉටු කරන්න මම හදවතින්ම බැඳී ඉන්නවා.

ඔබ ඒ තරම් ජාත්‍යාලයකින් සන්නද්ධ සිංහලයෙක් වුණේ කොහොමද?

දරුවෙක් වශයෙන් මගේ කුඩා වියේ සිටම එවන් සිතුවිලි මා තුළ උපදින පසුබිම් තුළ තමයි මම ජීවත් වුණේ. නාලන්දා විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය යන විදු භූමි තුළින් මම ලබපු පන්නරයත් මාව ඉතිහාසයට, ජාතියට, ආගමට ආදරය කරන මනුෂ්‍යයෙක් බවට පරිවර්තනය කරන්න විසල් හේතුවක් වෙන්න ඇති. ඇත්තටම කොළඹ ආනන්ද, නාලන්දා, විසාකා, නුවර ධර්මරාජ වැනි විද්‍යාල ජාතික ආලය ඇති කරන්න විශාල පෙළඹුම්කාරක ලබා දුන්න පාසල්. ජපානය දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වී ගොස් ඒ ගිනි පුපුරු මතින් අවදි වූ හැටි, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල් තමන්ගේ රට ගොඩනගන්න කළ කැපකිරීම් කියවද්දි ඉන්දියාව, ඉන්දියානු සිනමා කර්මාන්තය ඔස්සේ රටට ඇති ආදරය එක් එක් දිශානතීන් ඔස්සේ විද්‍යමාන කරද්දී, මට හැමදාමත් හිතුණා මගේ රටත් දිදුලවන්න, බබළවන්න පුළුවන් නම් කියන හැඟීම.

වසර තිස් ගණනක යුද්ධය සමාප්ත කරන්න කළ මානුෂීය මෙහෙයුමේදී දහස් ගණන් සොල්දාදුවන් මියැදුණා. ගොඩබිමින්, අහසෙන්, මුහුදෙන් සටන් කරමින් කළ යුද්ධය තුළ වීරත්වයෙන් සිංහල ලේ දිලිසෙද්දි මාතෘ භූමියේ අයිතිය වෙනුවෙන් දහස් ගාණක් සොල්දාදුවන් මියැදුණා. උන්ගෙ දරුවන්, බිරින්දෑවරුන්, ආදරණීයන් දහස් ගණනක් තනි වුණා. අදටත් ඒ පපු ඇතුළේ ඒ වේදනාවන් කකියද්දි උන් හිනාවෙන් ඒ කඳුළු දරා ගන්නවා ඇති. ඒ තමයි සිංහලේ ලේ වල හයිය. පාට. අතීතයේ ඉන්දියානු ආක්‍රමණ දාහතකින්, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි අත්පත් කර ගැනීම්වලින් හැඩි වුණු මේ රට හැඩ කළේ ශ්‍රී ලාංකික ලේ. ඉතිහාසය හරියට කියවන්න. ගිවිසුම්වලින් මිසක් යුද්ධවලින් මේ රට අත්පත් කරගන්න කවදාවත් ඔය ආක්‍රමණිකයන්ට බැරි වුණා. මුල්ලේරියා හටන කියවන්න. සිංහල ලේ වල නොපරදින හයිය මුළු විශ්වයටම කියන්න ඒ තරම් පාරිශුද්ධ සාක්ෂියක් තවත් තියෙනවද මම දන්නෙ නෑ. සිංහල පපු අස්සේ ඉපදුණු කැක්කුම් නොවෙන්න අද ලංකාව මුම්මඩි චෝල මණ්ඩලම් කියන ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය. ජාති ද්‍රෝහීන්, දේශ ද්‍රෝහීන් එදත් හිටියා. අදත් ඉන්නවා. මේ යථාර්ථය දකින්න දකින්න, කියවන්න කියවන්න අවබෝධ කරගන්න කරගන්න මම ජාත්‍යාලය හිතේ තියෙන සිංහලයෙක් වුණා.

ඉතිහාසය ඔස්සේම ශ්‍රී සිද්ධා වෙනුවෙන් ඔබ සොයා ගිය සිනමාමය ප්‍රස්තුතය ගැන දැන් අපට කියන්න?

පස්වැනි මිහිඳු කියන දුර්වල පාලකයා පරාජය කළ ආක්‍රමණිකයන් අනාගත සිංහල රාජ්‍යයේ කිරුළට හිමිකම් කියතැයි සිතූ කුමාරවරු සොය සොයා මරලා දැම්මා. කීර්ති කුමාරයා කියන්නෙත් එවන් අනාගත සිහසුනක උරුමය දෙවුර දරාගත් සිංහල කුමාරයෙක්. ප්‍රාණසම ස්නේහයකින් ඒ කුමාරයා රැකගත්තේ බුදල්නා. බුදල්නා කියන්නේ සිංහල වීරත්වයේ, සිංහල තේජසේ සදාතනික මුද්‍රාවක්. සදාතනික සලකුණක්. 1948 දී පනාකඩුව ගම්මානයේ ගොවියකුට හේන් කොටද්දි තඹ සන්නස් තුනක් හමුවෙනවා. සෙනරත් පරණවිතාන විද්වතා ඒ තඹ සන්නස් කියවනවා. මහා විජයබාහු රජු බුදල්නාට අප්‍රමාණ කෘතවේදීත්වයෙන් දුන් වරප්‍රසාද සියල්ල එහි සඳහන්. අද ඒ තඹ සන්නස් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. සෙනරත් පරණවිතාන විද්වතානන් කියනවා, මහා විජයබාහු රජු මේ දෙරණේ නොඉපදෙන්න සිංහල ජාතිය මේ විශ්වයෙන් නැත්තටම නැතිවෙලා යනවා කියලා. සම්මානනීය ඉන්දීය ඉතිහාසඥයෙක් කියනවා, මහ විජයබාහු නොසිටින්න සිංහල ජාතිය අද නෑ කියලා. මම නැවතත් කියනවා, මහ විජයබාහු නර නිරිඳුන් නොහිටින්න අද අපිට රටක් නෑ. ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය වෙලා ඉවරයි කියලා. බුදල්නා කියන්නේ ඒ මහා වීරයා බිහි කරන්න ජීවිතයම කැප කරපු වීරයා.

සුමේධ රිටිගල කියන සිංහලයා දුඹුරුවන් සමක් ඇති අතීත ශක්තිමත් හැබෑ සිංහල පිරිමියා මතකයට නගන පිරිමියා, සිංහල සිනමාව තුළට කැටුව ඒම ඔබ ගත් වටිනාම සිනමාමය තීරණයක්. මේ දුලබ දිලිසෙන සිංහල පිරිමියා, නළුවා කවුද ඇත්තටම?

ඇත්තටම රිටිගල සුමේධ කියන්නෙ බොරු මෝස්තර, බොරු ආටෝප නැති නියම සිංහල පිරිමියෙක්. නියම පිරිමි පෞරුෂත්වයක්. ඇත්තටම ශ්‍රී සිද්ධා සිනමා වියමන වෙනුවෙන් මම ඉතිහාසයේ ඇතැම් පරිච්ඡේද නැවත නැවත සොයාගෙන ගියා. මහ විජයබාහු රජු ගැන බොහෝ දේවල් කියෙව්වා. බුදල්නා වගේ දේශප්‍රේමී, දේශ හිතෛෂී රත්තරන් මිනිස්සු ඒ ඉතිහාසය සොයා ගිය ගමනේදි හමුවෙද්දි චිත්‍රපටයකින් හරි ඒ දේවත්වය දරාගත් ඒ වීරයන් ගැන කියන්න මට ඕනෑ වුණා. බුදල්නාගේ චරිතය හා හුස්ම ගන්න රිටිගල සුමේධ තරම් සුදුසු කෙනෙක් නෑ. ඒ චරිතය තුළ විතරක් නෙවෙයි, ප්‍රායෝගික යථාර්ථය තුළත් ඔහු එඩිතර, ශ්‍රේෂ්ඨ සිංහලයෙක්. අංගම්පොර සටන් කලාවේ කෙල පැමිණියෙක්. මගේ ගාමිණී චිත්‍රපටයෙත් ඔහු රඟපෑවා. රිටිගල සුමේධ රිටිගල කන්ද උඩ මේ මොහොතේ භාවනා කරනවා. මගේ චිත්‍රපටයට ඔහු රැගෙන ආවෙත් ඒ කන්දට පොලීසිය යවලා ඔහුව හොයාගෙන. ශ්‍රී සිද්ධා මංගල දර්ශනයටවත් ඔහු ආවේ නෑ. සමවැදී හිඳිනා භාවනාවෙන් මිදෙන්න ඔහු කැමති වුණේ නෑ. ඇත්තටම රිටිගල සුමේධ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහලයෙක්. පිරිමියෙක්. වීරයෙක්. රිටිගල සුමේධ ඇතුළු ශ්‍රි සිද්ධා එකමුතුවටම, නිෂ්පාදකවරුන්ට මේ මොහොතේ මම හදවතින්ම ස්තූතියි කියනවා.

අතීත ශ්‍රී ලාංකික විභූතිය... ඔබේ ළය ලෙයට දැනෙන්නෙ කොහොමද?

ජානවලින් එන පපුව පතුලටම ලෙයේ ගැඹුරටම දැනෙන ආදරයක්, බැඳීමක් මට තියෙන්නේ. යෝධ ඇළේ තාක්ෂණය ගත්තම හැතැප්මට අඟල් හයක දිය බැස්මක් තියෙනවා. එතැන තියෙන්නේ ත්‍රිකෝණමිතික ගණිත ක්‍රමයක්. රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍ය කේන්ද්‍රීයව එය දිස්වන ආකාරය පසුබිම්ව තියෙන්නේ සමමිතික ජ්‍යාමිතික තාක්ෂණයක්. පැරණි වාරි කැණීම් කරද්දි වසර දහස් ගණනක් පැරැණි බිසෝ කොටු හමුවුණා. එම කැණීම් කළ ඉංජිනේරුවන් අතීත ශ්‍රී ලාංකික වාරි තාක්ෂණිකවේදීන්ගේ ඥාන සම්භාරය ගැන අප්‍රමාණ සතුටකින් ඔවුන්ට ස්තූති කළා. සීගිරියේ උඩට වතුර රැගෙන ගිය තාක්ෂණය අදටත් විස්මයක්. ගිරිහඬු සෑයේ වටදාගෙය විස්මිත නිමැවුමක්. අපේ රටේ තිබුණු වාරි තාක්ෂණය, නිර්මාණ ශිල්පය, කෘෂිකර්මාන්තය ඇත්තටම විශ්වීයයි. දණ්ඩක් විසි කළත් නිලට නිලේ පැළවෙන පොළොවක් මේක. භූගෝලීය පිහිටීම ගත්තම ඉන්දියන් සාගරය කේන්ද්‍රීයව වටිනාම භූමියක් මේ. ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ ලෝක සිතියමේ දිලිසෙන මුතු ඇටය. අතීත වටිනාකම් සමුදායක පුදුමාකාර පොළොවක, මුහුදක, හුළඟක, වැස්සක උරුමය ලද රටක්.

ඒ අතීත ශ්‍රී ලංකාවට මොකද වුණේ?

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ විවෘත ආර්ථික සංකල්පයත් එක්ක මට හිතෙන්නේ ඒ රට ගොඩක් වෙනස් වුණා. අපනයන ආර්ථිකයක් මිස ආනයන ආර්ථිකයක් මොකටද කියලා හිතෙන තරම් සරු රටක් මේ. රට වටේට නිල්වන් මුහුද, උතුරන්න පටවන්න තරම් මාළු සම්පතක් තියාගෙන සැමන් ටින් එක රටින් ගෙන්වනවා. ලුණු ඇටය, ලූනු ගෙඩිය පිටරටින් ගෙන්වනවා. ඇත්තටම අටු කොටු සහලින් ඉතිරුණු රටක නිලට නිලේ කුඹුරු සාරෙට යායෙන් යායට අස්වැද්දුණු රටක, පෙරදිග ධාන්‍යාගාරය යැයි නම් ලද රටක, අද හාල් ඇටයත් රටින් ගෙන්වනවා. ඇත්තටම ගෙන්වන්නෙ නැත්තේ මොනවද? ලෝකයේ හොඳම මිනිරන් පතල ඇතුළු මහා නිධාන පොළොව යට හංඟගෙන මේ රට හිඟමන් යදින තැනකට පත් කළේ කවුද? රටට ආදරය නොකරන, රට පාවා දෙන වංචනිකයන් එදත් හිටියා. අදත් ඉන්නවා. රටට ආදරය කරන මිනිස්සු මේ රටේ හිටියා නම් මේ රට අද ලෝකයේ දිලිසෙනම ලස්සන රටක්.

ඔබට දැනෙනවද ශ්‍රී සිද්ධා සමඟ ඔබ ඉටු කළේ ජාතික යුතුකමක් කියලා?

ඔව්... ඒ චිත්‍රපටය බලලා එක හදවතකට රටේ ඉතිහාසය සොයා යන්න හිතුණොත්, රටට ආදරය හිතුණොත්, මම දිනුම්. ඉන්දියාවේ සියයට හැත්තෑ පහක් විතර චිත්‍රපට නිර්මාණය කරන්නේ ජාතික අභිමානය දල්වාලන ප්‍රස්තුත කේන්ද්‍රීයව. ඒත් අපේ රටේ එවැනි චිත්‍රපට නිර්මාණය වෙන්නේ කලාතුරකින්. සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනොනැගුණු අපේ රටේ සිනමාව තුළ හිස්තැන් සහ අර්බුද රැසක් තියෙනවා. ගාමිණී කියන්නෙ මගේ පළමු චිත්‍රපටය. මට මගේ පළමු චිත්‍රපටය වෙනුවෙන් සම්මාන ගණනාවක් ලැබුණා. තම පළමු චිත්‍රපටයට එතරම් සම්මාන හිමි කරගත් අධ්‍යක්ෂවරයා මම. පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ සිනමාමය ප්‍රස්තුත යා වෙන්නේ මගේ මාතෘ භූමිය සමඟයි.

සරත් වීරසේකර කියන සිනමාවේදියාගේ ඊළඟ සිනමා ප්‍රස්තුතය යා වෙන්නේ මාතෘ භූමිය කියන සංකල්පයේ කොතැනටද?

නාවික හමුදාව ගැන සංවේදී ප්‍රස්තුතයකට. යුද්ධයේදී මහ මුහුද මැද නාවික හමුදාව වීරයන් කළ සටන, කැප කිරීම, යුද්ධය, වචනවලට ලඝු කරන්න බෑ. අදටත් තනිවුණු බිරින්දෑවරු, දරුවන්, මව්පියන් හිනා වෙන්නේ ඒ වෙන්වීම්වල කඳුළු දරාගෙන. මගේ ඊළඟ සිනමා ප්‍රස්තුතය වෙන් වෙන්නේ ඔවුන්ටයි.

ශ්‍රී සිද්ධා සිනමා වියමනේ මගේ හිත වඩාත් ප්‍රකම්පනය කළ, සංවේදී කළ සංසිද්ධියක් තමයි රටට ඇති ආදරය වෙනුවෙන් ආදරයට ඇති ආදරයත් පපුව ඇතුළෙ හංඟගෙන රට වෙනුවෙන් ආදරය අත්හරින රජෙකුගේ හදවතක සංවේදනාව සහ හදගැස්ම අපට දනවන තැන. ආදරය නිසා රජකම අත්හැරපු කුමාරවරු වගේම රජකම වෙනුවෙන් නෙවෙයි, රට වෙනුවෙන් ආදරය අත්හැරපු රජවරුන් ඉතිහාසයේ හුස්ම ගත්තා. ශ්‍රී සිද්ධා එහෙම කියනවා... ඒ ආදරය දිහා ඔබ ආදරයෙන් බැලුවෙ කොහොමද?

මහා විජයබාහු රජුගේ ළමා විය ගෙවෙන්නෙත් මහ කැලෑ තුළ. ළමා වියක රසය, සෞන්දර්ය විඳින්න අහිමි පසුබිමක අනාගත රජෙකුගේ කිරුළ දරන්න සූදානම් වීම තුළ තමයි ඒ දරුවාගේ ළමා වියම ගෙවෙන්නෙ. රජෙක් විදිහට නෙවෙයි, මානුෂීය චිත්තවේග, හැඟීම් දැනෙන පපුවක් තියෙන මනුස්සයෙක් විදිහට ඒ රජු සැනසෙන එකම තැන ඔහුට හමුවන ප්‍රේමය. එහෙත් ආත්මාර්ථයෙන් තොර නොවූ පරාර්ථයක් රජෙකුට විඳින්න බෑ. රජකම හෝ කිරුළ වෙනුවෙන් නෙවෙයි, තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් තමන් සනසාලූ ප්‍රේමවන්තිය සහ ප්‍රේමය අත්හරින්න මහා විජයබාහු රජුට සිදුවෙනවා. ආධ්‍යාත්මිකව අත් නොහරින්න ඇති. එහෙත් භෞතිකව ඒ ප්‍රේමය අත්හැර විවාහයේ සම්මුතියත් තමන්ගේ මානසික විමුක්තිය පිණිස නොව, රටේ විමුක්තිය වෙනුවෙන් වලංගු කරන්න මහා විජයබාහු රජුට සිදුවෙනවා.

ආත්මීය වූ, තමන්ගේ හදගැස්මට හදගැස්මක් වූ, හුස්මට හුස්මක් වූ ප්‍රේමයක් අත්හැරීම මරණය තරමටම කළුවන් සීතල අත්දැකීමකි. එහෙත් ළය ලෙය දරාගත් දේශප්‍රේමය වෙනුවෙන් ආත්මීය ප්‍රේමය රජු අත්හැරියේය. එය අත් නොහරින්නට සිංහල ජාතියක් හෝ ශ්‍රී ලංකාවක් ශේෂ නොවන්නටත්, ශ්‍රී ලංකාව ඉන්දියානු චෝල ප්‍රාන්තයක් වීමටත් ඉඩහසර තිබුණු වග නොවේද ඉතිහාස පරිච්ඡේද සාක්ෂි දරනුයේ. අතීතය පුරා නිහඬව ගැහැනුන් දරාගත් ප්‍රේමණීය සමුගැනීම් සහ වියෝ දුක් උදෙසා මහා විජයබාහු රජුගේ ප්‍රේමවන්තිය සොඳුරුතම සාක්ෂියක් වග අවසන පසක් වෙද්දී ශ්‍රී සිද්ධා මා නෙතඟ රැඳවූ කඳුළු මේ මොහොතේත්, ඔව් මේ මොහොතේත් උණුසුම්ම සීතලකි.

• සංජීවිකා සමරතුංග