2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

‘සෙක්ස්’ නිසා ආදරය ඇතිවෙයි කියලා මට කියන්න බැහැ - Shalika Edirisingha

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

ආදරය කියන දේ ශාලිකාට දැනෙන විදිය කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න?

ආදරය කියලා කියන්නෙ සසර දිගු කරන බැඳීමක්. ආදරෙයි කියලා කෙනෙක් කියනවට වඩා මම ආදරය කියන දේ දැනෙනවටයි කැමති. විශ්වාසය, රැකවරණය, ගෞරවය, කැපවීම, මේ දේවල් එක්ක ගොඩනැගුණු බැඳීම ආදරය කියලයි මට හිතෙන්නෙ. ඉපදුණු දවසේ ඉඳලා අපේ ජීවිතවලට විවිධාකාරයෙන් ආදරය ලැබෙනවා. අම්මා තාත්තාගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, යාළුවන්ගෙන්, ඊට පස්සේ ආදරවන්තයාගෙන් ලැබෙන මේ ආදරය එකිනෙකට වෙනස්. ආදරය කියන්නෙ ඒ දේවල් හරියට තේරුම් අරගෙන, බැඳීම් හරියට තේරුම් අරගෙන, විඳවන්නෙ නැතුව විඳින්න තියෙන දෙයක්. පොදුවේ මට ආදරය දැනෙන්නෙ හරිම ගෞරවාන්විත දෙයක් විදිහටයි.

ආදරය නිසා ඔයාගේ ජීවිතයට ලැබුණු ජයග්‍රහණ හා වටිනාම දේවල් මොනවාද?

ආදරය නිසා ජීවිතයට ලැබුණු වටිනාම දේ අත්දැකීමයි. ජීවිතේ අත්දැකීම් ගොඩක් ආදරය නිසා මම එකතු කරගෙන තියෙනවා.

ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම්, අහිමිවීම් මොනවාද?

ආදරය නිසා විරහව ලැබිලා තියෙනවා. මේ විරහව තුළදීත් ආදරය කියන දේ සෑහෙන දුකක්, වේදනාවක් කියලා දැනිලා තියෙනවා. විඳලා තියෙනවා. බැඳීම් කියන්නෙම දුකක්. මම නොගැලපෙන තැනක ඉන්න කැමති නැහැ. කසාද බඳින්න කලින් අපිට සුදුසු කෙනෙක්ව තෝරාගෙන සුදුසු නැත්නම් අපිට අතහරින්න නිදහස තියෙනවා. අපි බැඳෙන තරම් කොයි තරම්ද ඒ තරමටම අපිට අහිමිවීම සහ වේදනාව තියෙනවා.

ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිය මොකක්ද?

ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිය අතහැරීමයි. අපි එතැන රිදෙන තැනක් කියලා දන්නවනම් ඒක අතහැරලා දාන්න ඕනෑ. ආදරය කියන්නෙ එකිනෙකා තේරුම් ගැනීම, පරිත්‍යාගය, කැපවීම, විශ්වාසය, ගෞරවය, එකට එකතු වුණු තැනක්.

‘සෙක්ස්’ හා ‘ලව්’ අතර වෙනස ඔයා දකින්නෙ කොහොමද?

‘සෙක්ස්’ කියලා කියන්නෙ හැඟීමක්. ඒක එවෙලේ ඉවර වෙන්නත් පුළුවන්. හැබැයි ආදරය කියලා කියන්නෙ එහෙම නෙවෙයි. ආදරය කියන දේ නැතිවෙන එකක් නෙවෙයි. ආදරය නිසා ‘සෙක්ස්’ ඇතිවෙන්න පුළුවන්. හැබැයි ‘සෙක්ස්’ නිසා ආදරය ඇතිවෙයි කියලා මට කියන්න බැහැ. රැකවරණය, ගෞරවය, විශ්වාසයත් එක්ක එන ආදරයේදී ‘සෙක්ස්’ කියන දේ ඇතිවෙන්න පුළුවන්. ආදරය හරි ගෞරවාන්විත දෙයක්. ළඟ හිටියත් දුර හිටියත් ආදරය කරන්න පුළුවන්.

නිළියක් විදියට ලැබෙන ප්‍රේක්ෂක ආදරේදී ශාලිකා හුඟාක් සංවේදී වුණු හෝ දැනුණු තැන් තියෙනවාද?

ඒ වගේ සංවේදීව දැනුණු තැන් තියෙනවා. ඒ අයගේ අසීමිත ආදරය ඉස්සරහ අපි සංවේදී වෙනවා. අපිව දැක්කාම අපි ළඟට ඇවිත් ඒ ආදරය පෙන්වන විදිහ හරි ආදරණීයයි. සමහර ආච්චිලා, අම්මලා, අපිව තුරුළු කර ගනිද්දි ඒ ආදරය අපිට සංවේදීව දැනෙනවා. ඒ අය අපි ඉන්න නිර්මාණයක් බලලා අපි ගැන ගොඩනගාගෙන ඉන්න සිතුවිල්ල හරි ආදරණීයයි. ඒ ආදරය හරියට දැනෙනවා. ඒක හරි ආදරණීය දෙයක්.

ආයෙත් බලන්න ආසා හිතුණු ආදරණීය චිත්‍රපටයක් තියෙනවද?

මම කල් හෝ නා හෝ (Kal Ho Naa Ho) චිත්‍රපටයටත් මදර් ඉන්දියා චිත්‍රපටයටත් කැමතියි.

ආයෙ ආයෙත් අහන, නිතරම අහන්න කැමති ආදරණීය ගීතය මොකක්ද?

මම ආයෙ ආයෙත් අහන්න කැමතිම මිල්ටන් පෙරේරා මහතාගේ
‘ඇස රැඳුණු රැඳුණු තැන්වල මුව මඬල හිනැහුණා.. ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා’ ගීතයයි.

අදටත් තිබුණා නම් හොඳයි කියලා හිතෙන අහිමිවුණු ආදරයක් තියෙනවද?

අහිමිවුණු කිසිම දෙයක් තිබුණා නම් හොඳයි කියලා මම හිතන්නෙ නැහැ. එහෙම හිතුණු කාලයක් තිබුණා. ඒ අපි දැඩි ලෙස කෙනකුට ආදරය කරනකොට, අපිට එයාව නැතිවෙනකොට, එයාවමයි ඕනෑ කියලා අපි හිතනවා. අපි කෙනකුට ආදරය කරද්දී ඒක හදවතින්ම කරනවා. අවංකවම කරනවා. දැඩිව බැඳිලා එයා මගේමයි කියලා හිතලා ආදරය කරනවා. එතකොට අපි දන්නෙම නැතුව ඒකට දැඩි ලෙස බැඳිලා ඉවරයි. ඒ පාර්ශ්වයෙන් අපිට එහෙම ආදරයක් ලැබිලා නැති වෙන්න පුළුවන්. එහෙම වෙලාවට වෙන්වීමකදී, අහිමිවීමකදී, අපිට ඒක දරාගන්න අමාරුයි. ඒ දරාගන්න අපහසු නිසා අපිට තව කෙනෙක් දිහා බලන්නවත්, තව කෙනෙක්ගෙ ආදරය ලබන්නවත් කැමති නැහැ. ඒ තරමටම අපි ඒ කෙනාට ආදරය කරනවා. කාලයාගේ ඇවෑමෙන් ඒක අපිට නැති එක හොඳයි කියලා අපිටම තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අතීතයේ කිසිම දෙයක් ආයෙ ළං කරගන්න මම කැමති නැහැ.

මඟ තොටකදී හෝ යම් තැනකදී ඔයා දැක්ක ආදරණීයම සිදුවීම මොකක්ද?

එහෙම ආදරණීය සිදුවීම් දකිනවා. සමහර ආදරණීයන් අත පටලවාගෙන යනවා දකිද්දී ඇත්තටම හරිම ආදරණීය හැඟීමක් හිතට එනවා. සමහර වයසක අය අත් පටලවාගෙන පාරේ යද්දී ඒ ආදරණීය බව හිතට වැඩියෙන්ම දැනෙනවා. එහෙම ආදරණීය ජෝඩු දකිද්දි ඒ දිහා බලලා සතුටු වෙනවා. ආදරණීය දෙන්නෙක් ඒ ආදරේ විඳිද්දි, මනසට හරි සුවපත් බවක් දැනෙනවා.

ආදරේදී ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?

ආදරය කරද්දී තෑගි බෝග ලැබෙනවා. හැබැයි ඒ ආදරය නැති වුණාට පස්සේ මට ඒ තෑගි වටින්නෙ නැහැ. මට ආදර සම්බන්ධතා කිහිපයක් තිබිලා තියෙනවා. ඒවා නැති වුණාට පස්සෙ මම ඒ දීපු ඒවා ආයෙමත් පාර්සල් කරලා එහෙම පිටින්ම දීලා ආපු කෙනෙක්. මට ආදරය නැති වුණාට පස්සෙ ඒ දීපු දේවල් වැඩක් නැහැ. ඒ අතරින් තාමත් මට ලැබුණු පුංචි පුංචි තෑගි කිහිපයකුත් තියෙනවා.

ජීවිතයේ ඒකපාර්ශ්වික ආදරයක් විඳලා තියෙනවද?

මම ඒකපාර්ශ්වික ආදරයක් කරලා නැහැ. මම කාගෙවත් පස්සෙ ගිහින් කිසිම කෙනෙක් එක්ක අද වෙනතුරු සම්බන්ධකම් ඇති කරගෙන නැහැ. හැබැයි සම්බන්ධයක් ඇති කරගත්තට පස්සෙ, දැඩි සේ බැඳුණට පස්සෙ, අපි අයින් වුණාට පස්සෙත් ඒ කෙනාට මම ආදරය කරලා තියෙනවා. ඒක තේරුමක් නැහැ කියලා මම ක්‍රමානුකූලව තේරුම් ගත්තා.

ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැනක් තියෙනවද?

ආදරය ඕනෑ කියලා හිතුණු තැන් තියෙනවා. තනිකඩව ඉන්න වෙලාවකදී, සමහර වෙලාවට ආදරය නිසා දුක් විඳිද්දී තනිවම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා. නමුත් තනියම දේවල් විඳ දරා ගනිද්දී ආදරණීය පිරිමියෙක් ළඟ හිටියා නම් හොඳයි කියලා හිතුණු තැන් තියෙනවා.

ආදරය නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න කෙනකුට පුරුදු කරගන්න හොඳම විදිය මොකක්ද?

ආදරය කරද්දි කෙනෙක් හිත රිදවනවනම්, අපහසුතාවයට පත් කරනවනම්, අපි එයාලා නිසා විරහ වේදනාවක් විඳිනවනම්, ඒ එයාලා අපේ ජීවිතවලට ආවේ අපි තුළ අකුසල කර්මයක් ඵල දෙන නිසයි. ඒ අකුසල කර්මය නැති කරගන්න එයා අපිට උදව් කරලා තියෙන්නෙ. ඒ විඳීම තුළින් අකුසල කර්මය නැතිවෙලා යනවා. ඒකට ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනෑ.

ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවාද?

ඔව්... මගේ අම්මයි මායි සංසාරගත බැඳීමකින් හමුවුණු දෙන්නෙක් කියලා මට හිතෙනවා. අපිට ළං වෙන බොහෝ දෙනා මේ සංසාරගත බැඳීමක මුණගැහීමක් කියලයි මට  හිතෙන්නෙ.

• දිශානි ජයමාලි