2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

දශක හතක මනමේ මතක

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 98

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය ප්‍රථම වතාවට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ රංගගත වූයේ 1956 නොවැම්බර් 3 දාය. එතැන් සිට මේ දක්වා 67 වසරක් විවිධ නළු නිළියන් විසින් මනමේ කුමරු, මනමේ කුමරිය, වැදිරජු, රාජගුරු, පොතේගුරු වැනි විවිධ චරිතවලට තම දායකත්වය ලබා දී තිබේ. එහෙත් මනමේ යැයි කී සැණින් එකවරම සිහිපත් වන්නේ 56 මුල් නාටකයේ රඟපෑ චරිත කෙරෙහිය. මුල් නාටකයේ මනමේ කුමාරයා වූයේ බෙන් සිරිමාන්නය. කුමරිය ට්‍රිලීෂියා ගුණවර්ධනය. වැදි රජු එඩ්මන්ඩ් විජේසිංහය. පොතේගුරු ෂ්‍යාමන් ජයසිංහය.

මනමේ කතාව ලෙස ප්‍රචලිතව ඇති ජන කතාවට මූලාශ්‍රය වී ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 372 වැනි ජාතක කතාව ලෙස දැක්වෙන චුල්ල ධනුද්ධර ජාතකයයි. සරච්චන්ද්‍රයන් විසින් මනමේ නිෂ්පාදනය කරන්නේ චුල්ල ධනුද්ධර ජාතකය සැකිල්ල ගෙන එයට සිය පෞද්ගලික දර්ශනය ද, මනමේ කුමරිය පිළිබඳ මානුෂීය විග්‍රහයක් ද එක් කරමිනි. මෙම ප්‍රතිනිර්මාණයේදී සරච්චන්ද්‍රයෝ මනමේ කෝලම හා කවි නාඩගමේ ද ආභාසය පමණක් නොව අකිර කුරසෝවාගේ රෂෝමොන් චිත්‍රපටය නැරඹීමෙන් ලැබූ අත්දැකීම ද භාවිත කළ බව පවසති.

“මනමේ කතාව සින්දු නාඩගමකට ආශ්‍රය කොට ගත හැකිය යන අදහස මගේ සිතෙහි පිළිසිඳ ගත්තේ ජපානයෙහිදී හෝ ඇමෙරිකාවෙහිදී අකිර කුරසොව විසින් අධ්‍යක්ෂණය කරන ලද “රෂෝමොන්”‍ නම් චිත්‍රපටය බැලීමෙන් පසුය. “රෂෝමොන්”‍ චිත්‍රපටයට ආශ්‍රය කරන ලද්දේ අකුතුගව නම් කතුවරයාගේ කතාවකි. මේ කතාව සාරාංශයෙන් ගත් විට අපේ චුල්ල ධනුග්ගහ (ධනුද්ධර) ජාතකයටත් මනමේ ගැමි නාටකයටත් සමානය.”‍

(මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර : පිං ඇති සරසවි වරමක් දෙන්නේ)

මම මේ වන විට මනමේ නාටකය දහ දොළොස් වතාවකට වඩා නරඹා ඇත්තෙමි. මුලින්ම මා එය නැරඹුවේ 70 දශකයේ අග භාගයේදීය. ඒ වන විට මුල් නාටකයේ රඟපෑ ප්‍රධාන නළු නිළියන් එහි රඟපෑවේ නැත. එහෙයින් මනමේ නාටකයේ මුල්ම සාමාජිකයන්ගේ රඟපෑම් මට දැකගන්නට ලැබුණේ නැත. ඒ වන විට වසර 14 මුළුල්ලේ මනමේ කුමරාගේ භූමිකාවට පණ දුන් බෙන් සිරිමාන්න නොහොත් බෙනඩික් සිරිමාන්න ජීවිත කරළියට සමු දී තිබිණි. ඔහු මියගියේ 1970 ජූනි 16 වැනිදාය. එහෙයින් ඔහු ජීවමාන ලෙසින් මට කිසිදා දැකගන්නට නොලැබිණි.

එහෙත් මනමේ නාටකයට වසර 25 ක් සපිරි 1981 නොවැම්බරයේ වැදි රජු වූ එඩ්මන්ඩ් විජේසිංහ, මනමේ කුමරිය වූ ට්‍රිලිෂියා ගුණවර්ධන හා පොතේ ගුරු ෂ්‍යාමන් ජයසිංහ හමුවී විසිපස් වසරක මනමේ මතක සටහන් පිළිබඳව ලිපි කිහිපයක් සකසන්නට මට අවස්ථාව උදා විය. එහෙයින් ඔවුන්ගේ රංගනයන් නොදුටුවද ඔවුන් සැබවින් හමුවන්නට අවස්ථාව ලැබීම පිළිබඳව සියුම් සතුටක් ඇත.
තමා මනමේ නාටකයට සම්බන්ධ වූ හැටි එඩ්මන්ඩ් විජේසිංහ එදා මට පැවසුවේ මේ අයුරිනි.

“ජීවිත කාලෙටම එකම නාට්‍යයක් පමණක් නරඹා තිබුණු මම නාට්‍යයක රඟපාන්නේ කොහොමද? මහාචාර්ය සරච්චන්ද්‍ර කෙරෙහි මා තුළ වූයේ ඉමහත් ගෞරවයක්. එහෙත් නාට්‍යයේ රඟපාන්නට මා කොහොමවත් කැමති වුණේ නැහැ. ඒ නිසා මම හැමවිටම මහචාර්යතුමා මගහරින්නට උත්සාහ කළා. ඒ දවස්වල මහනුවර ඇසළ පෙරහර ආරම්භ වෙලා තිබුණා. නුවර පෙරහර බලන්න මම හැමදාම නවාතැනින් පිටවෙලා යනවා. දවසක් එහෙම එළියට බහිද්දී කවුද මාව අතින් අල්ලා ගත්තා. ඒ බෙන් හා විමල් නවගමුව. ඒ දෙන්නා මාව සරච්චන්ද්‍රයන් ළඟට ඇදගෙන ගියා. පාර අයිනෙ තිබුණු වාහනේක සරච්චන්ද්‍ර මහත්තයා හිටියා. මාව දැක්ක ගමන් එතුමා ඇහුවා මොකද එඩ්මන්ඩ් මාව මගහරින්නෙ කියලා. පහුවදා විශ්වවිද්‍යාලයේදී මට කීවා ගීතයක් ගායනා කරන්න කියලා. මමත් ගායනා කළා. ඒක අහපු මහාචාර්යතුමා කිව්වා හෙට ඉඳලා රිහසල්ස් එන්න කියලා. මාව මුලින්ම ගත්තේ පොතේගුරු චරිතයට. පස්සෙ වැදිරජු වුණා.”‍

මුඵ දඹදිවටම තොප මහ රජ වුව මාගේ විජිතය මෙය මම වෙමි අගරජ
කවුද තට මෙහි පිවිසෙන්නට කීවේ අවසර නොමැතිව බල තට වන දේ
මට ඔහුගේ රංගනය මැවී පෙනේ.

මනමේ ප්‍රථම රංගනයට සූදානම්ව සිටි එඩ්මන්ඩ් නාට්‍ය ආරම්භ කිරීමට පෙර තිරය අස්සෙන් ප්‍රේක්ෂකාගාරය වෙත නෙත් යැවීය. පැමිණ සිටි පිරිස දුටු ඔහුගේ දෙපා වෙව්ලන්නට විය. කිසි දිනෙක නාට්‍යයක රඟපා නොමැති ඔහු මහත් සේ බියට පත් විය. සරච්චන්ද්‍රයන් ඔහුට බ්‍රැන්ඩි වීදුරුවක් දුන්නේය. බිය පහ විය. ඔහු රැඟු‍වේය. එක රැයින් ඔහු ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර විය. එඩ්මන්ඩ් නැත්නම් මනමේ නාටකය බිහිවේදැයි කියන්නත් අමාරුයි යනුවෙන් විමල් නවගමුව වරක් පැවසුවේ ඔහුගේ අපූරු රංගනය ප්‍රේක්ෂක හද දිනාගත් හෙයිනි. මේ වන විට එඩ්මන්ඩ් විජේසිංහ ද අප හැර ගොසිනි.

සකල බ්‍රහ්ම සුරනර මස්තකයෙහි සැදූ ශ්‍රී විභූශිත පා කමල්
අඛිල මෝහ තිමිරය දුරලමින් මුඵ ලොවේ දෙසූ සද්ධර්මය විපුල්
පතල මෛත්‍රී සිතින් සත්වයන් එතෙර කළ බව සාගරෙන් විසල්
නිමල බැති ප්‍රේමයෙන් ත්‍රෛලෝක්‍ය මුනිඳුන් වඳිමි තුමුල්

මනමේ නාටකය අරඹමින් පොතේගුරු චරිතය වේදිකාවට පිවිසෙනුයේ මෙම ගැයුමද සමඟිනි. ප්‍රථම මනමේ රංගනයේ සිට පුරා සිවු වසරක් අඛණ්ඩවද එතැන් සිට කඩින් කඩද මනමේ නාටකයේ පොතේගුරු චරිතයට පණ දුන්නේ ෂ්‍යාමන් ජයසිංහය. ඔහු මනමේ මුල් රංගනයෙන් විසිපස් වසරකට පසු තම මතකය මා සමඟ අවදි කළේ මෙසේය.

“මා එකල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ උපාධිය හදාරමිනුයි සිටියේ. සිංහල නාට්‍ය මණ්ඩලයේ සභාපති අපිට කිව්වා නාට්‍යයක් සඳහා පැවැත්වෙන පරීක්ෂණයකට එන්න කියලා. එහිදී ගීතයක් ගායනා කරන්න මට කිව්වා. ඊට පස්සෙ මාව පොතේගුරු චරිතයට තෝරා ගත්තා. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ සාන්ත ජෝසප් විදුහෙලන්. සිංහල සංස්කෘතිය පිළිබඳ පුළුල් අත්දැකීමක් ලැබුවේ මනමේ නාටකයට සම්බන්ධ වීමෙන් පසුවයි. මනමෙට සම්බන්ධ වෙනකොට මම කිසිම නාට්‍යයක් හෝ නාඩගමක් දැක තිබුණේ නැහැ. මුල් කාලයේ පොතේගුරු එක් චරිතයක් පමණයි. පසු නිෂ්පාදනවල එයට කණ්ඩායමක් එක් වුණා ගායනයට.”

1957පේරාදෙණිය සිංහල සංගමයේ සභාපති ලෙස පත් වූ ෂ්‍යාමන් ජයසිංහ පසුව මහාචාර්ය සරච්චන්ද්‍රගේ කදා වළලු‍, පේමතෝ ජායති සෝකෝ වැනි නාට්‍යවලද රඟපෑවේය. රාජ්‍ය පරිපාලන සේවයේ ‍සේවා අධ්‍යක්ෂවරයකු ලෙස කලක් සේවය කළ ඔහු ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය. මින් වසරකට පමණ ඉහත ඔහු ද සිය දිවි සැරිය හමාර කළේය.

මා පිය සැමියා මරු මුව වැටුණා කිමද කළේ ඔබ මේ අපරාදේ
යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා ඒ ඔබ දෝසා මේ ඔබ දෝසා
ඔබගෙන් මා ගලවන්නට නොවෙදෝ සටනට වැදුණේ
මනමේ රජිඳා මරු මුව වැටුණා ප්‍රේමය හින්දා - ප්‍රේමය හින්දා

මනමේ නාටකයේ ප්‍රධාන භූමිකා අතුරින් මට හමුවී ඇති අනෙක් චරිතය ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මියයි. ඉතා නිරහංකාර කාන්තාවක වූ ඇය මින් වසර කිහිපයකට ඉහත ලොව හැර ගියාය. ඇය සමඟ නාට්‍යයක එක්ව වැඩ කරන්නටද මට අවස්ථාව හිමිවිය. ඒ මහාචාර්ය රූඩි කොරෙන්ස්ගේ කලිගුලා ඉංග්‍රීසි නාටකයේය. ඇය එහි ප්‍රධාන නිළි චරිතය රඟපෑ අතර මම එහි සහය අධ්‍යක්ෂවරයා හා වේදිකා පරිපාලක වීමි. ඒම නාට්‍යයෙන් පසු ඇය සිනමාවේ සහ පුංචි තිරයේ බොහෝ චරිත රඟපෑවද වේදිකා නාට්‍යයක රඟපෑ අවසාන අවස්ථාව එය විය. වසර 14 පුරා නොකඩවා මනමේ බිසව ලෙස රඟපෑ ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මිය මනමේ නාටකයට අවුරුදු 25 ක් සපිරුණු දිනවල තම අතීත මතක මා හා මෙලෙස පැවසුවාය.

“මනමේ පළමු දර්ශනය නැරඹූ බොහෝ දෙනෙක් අපිව මහත් ආදරෙයන් පිළිගත්තා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලිව්වා මනමේ නොදුටු ඇස් මොකටද කියලා. මනමේ අභිරංගයක් කියලා කිව්වා. එතෙක් අපි දැනගෙන හිටියෙ නැහැ අපි රඟපෑවේ සිංහල නාට්‍ය කලාවේ විප්ලවයක් කරපු පළමු නාට්‍යයේ කියලා. ඒ විප්ලයේ කොටස්කාරිණියක වෙන්න ලැබීම ගැන මට ඇත්තේ මහත් සතුටක්. තවමත් මනමේ මතක් වෙනකොට ඇතිවන්නේ කිව නොහැකි සතුටක්. ඒ සතුට චිත්‍රපට ගණනාවක රඟපෑවත් ලබන්න බැහැ.”

වරක් බෝගල පතලේ මනමේ නාටකය රඟ දැක්වූ අවස්ථාවේ කුමරුට කඩුව නොදී වැද්දට කඩුව දුන්නාට කෝප වුණු කාන්තාවක් මගේ ළඟට ඇවිත් ‘තුහ් නොදකිං’ කියලා කෙළ ගහලා ගියා යනුවෙන් ඇය පැවසුවේ සිනාසෙමිනි. ඇය අවසන් වරට මනමේ නාටකයේ රඟපෑවේ 70 දශකයේ මුල් භාගයේදීය. පසුව සම්භාව්‍ය චිත්‍රපට ගණනාවක රඟපෑවද ඇයගේ ජීවිතය වූයේ වේදිකාවය. “මනමේ බිසව හැටියට වේදිකාවේ මා ලද ආශ්වාදය හැමදාම මගේ හිතේ කිලුටු නොවී තියාගන්න මට ඕනෑ.” ඇය අවසන් වශයෙන් පැවසූ වදන්ය.

ට්‍රිලීෂියා අබේකෝන් නමින් ළමා ගායිකාවක ලෙස ගුවන්විදුලියෙන් පැමිණි ඇය ගැයූ මුල්ම ගීතය අද ද බොහෝ දෙනාගේ මතකයට නැගෙනු ඇතැයි සිතමි. ඒ.ඩී.ඩී. ඩැනී සමඟ ගැයූ සුරතල් නංගියේ අපේ අම්මා නමැති ගීතයයි. ඒ මධුර හඬ මනමේ නාටකය පුරා ද රැව් දුන්නේය.

පසු කාලයේ උපාලි අත්තනායක, විජය නන්දසිරි, ධම්ම ජාගොඩ, සන්ධ්‍යා සිරිමාන්න, කුමාරි මැණිකේ, නිශ්ශංක දිද්දෙණිය, ජයලත් මනෝරත්න, විජය නන්දසිරි වැනි නඵ නිළියෝ එහි මුඛ්‍ය භූමිකා රඟපෑහ. එයට දායක වූ පිරිසෙන් බොහෝ දෙනකු අප අතර නැත.

එහි නිර්මාතෘ වූ සරච්චන්ද්‍රයන්ද, සංගීතය නිර්මාණය කළ චාර්ලිස් සිල්වා ගුරුන්නාසේද, ඇඳුම් හා වෙස් නිර්මාණය කළ සිරි ගුණසිංහද අද අප අතර නැත. එහෙත් මනමේ ඇත. මනමේ නාටකයට වසර 67 ගත වී තිබුණද තවමත් ජනතාව ආදරෙයන් වැළඳ ගනිති. එහි ඇති සුන්දරත්වය තවත් වසර ගණනකට නොමැකී පවතිනු ඇත.

මනමේ නාටකයේ මුල් හඬපටය මා සතුව තිබේ. නිස්කලංක වේලාවල මම එයට සවන් දෙමි. මතකය බොහෝ ඈත ඉසව්වක නතර වේ. බෙන් සිරිමාන්නගේ ගැඹුරු හඬින් මනමේ කුමරු සබයට පිවිසෙන අයුරු මම සිතින් මවා ගනිමි.

සේ සුරිඳූ බරණැස්පුර පසිඳූ
රාජ කරනා - ඒ රුපුනොද බින්දා තේජසා...

• සටහන සහ මහාචාර්ය සරච්චන්ද්‍ර සේයාරුව ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00