ආශිර්වාදයේ සුබපැතුම් පළමුව තබන්නම්.... ඒ සුබ පැතුම ලාංකික සිංහල සිනමාවට තවත් සිනමා පටයක් එක් කරන්නට ඒ දාරක හදවත් දැරූ ප්‍රයත්නය වෙනුවෙනි. රත්නපුර සීවලියෙන් රොකට් සිංහල සිනමාවට දායක වන්නේ එම විද්‍යාලීය ස්වර්ණ හරිත සිනමා සංගමයේ සොඳුරු වෙහෙසකර සිනමාමය ප්‍රයත්නයක ත්‍යාගය ලෙසිනි. ඉතින් ඒ සමාරම්භය සීවලියේ දරුවන් සහ ගුරුවරුන් දකින අනාගත සිනමාවේදයක් වෙනුවෙන් සටහන් කළ සමාරම්භය ලෙස මම දකිමි.
තර්කයක් නැත. සිංහල සිනමාවේ පරිච්ඡේද රිදීවන්, ස්වර්ණවත් සිනමාවේදයන්ගෙන් සරසාලන සිනමාමය හෙට දවසක් සිනමාවට පෙම්බඳින මගේත් ප්‍රාර්ථනයයි. රොකට් සිනමා පටය ආධුනිකත්ව ලක්ෂණවලින් වියුක්තව සිනමාමය සම්මිශ්‍රණයකින් වර්ණවත් විය යුතු සහ සරසාලිය යුතු තැන් බොහෝ ඇති වග දැනුනත් දරුවන් සහ ගුරුවරුන් එක්ව නිමැවූ ඒ සිනමාමය ප්‍රයත්නය නිසැකයෙන්ම අපි ප්‍රශංසනීයව අගයමු.
ඔබ දන්නා වග අපි දනිමු. මහා රූස්ස ගස් බවට දිනක පරිවර්තනය වන්නේ, මහා වනස්පතින් බවට දිනක පරිවර්තනය වන්නේ, අතු අගිසි අගිසි පුරා මල් ඵලදරන සාර සුභාවෙන් සැරසුණ මහා ගස් බවට පරිවර්තනය වන්නේ මේ මහ පොළොවේ දළුලන පුංචි පැළයයි. ඉඳින් අවැසි වන්නේ පැල වෙන හැම පුංචි පැළයක්ම ස්නේහයෙන් සුරැකීමමය.
ලාංකික සිනමාව දැවැන්ත කර්මාන්තයක් ලෙස ගොඩනොනැගුණු අද දවසේ අපේ ප්‍රාර්ථනය වන්නේත් විශ්වීය සිනමාව හා යාවෙන සිනමාත්මක නිර්මාණවේදයන් තුළ ලාංකික සිනමාව සාර සුභාවට මලක් මෙන් පෙති දිග හැර පිපෙනු දැකීමය.
ඉතින් රොකට් ලාංකික සිනමාවට තිළිණ වූ මේ මොහොතේ පාසල් දරුවන් එක්ව ශ්‍රී ලාංකික සිනමාවට තිළිණ කළ සිනමාවේදයන්හි අතීත අක්ෂර සොයා යන වදන් වියමනක් වෙනුවෙන් අපි ඉඩහසර වෙන් කරමු.
අතීතය සතු වගකීම් සහගත සාක්ෂි අනුව පාසල් දරුවන් එක්ව කළ පළමු සිනමාත්මක නිමැවුමේ ප්‍රශංසනීය ගෞරවය වනගත කොල්ලා චිත්‍රපටයට හිමි විය යුතුමය. මේ ඒ පාසල් සිනමා ඉතිහාසයේ වදන් වියමනයි.
වනගත කොල්ලා
පාසල් සිසුන් පිරිසක් එක්ව නිපදවන ලද ලංකාවේ පළමු චිත්‍රපටය වනගත කොල්ලාය. 1957 වසරේ එය ප්‍රථමයෙන් නිපදවා තිබුණේ මි.මී. 35 ප්‍රමාණයෙන් නොව මි.මී. 8 ප්‍රමාණයෙනි. පසුව එය යළි මි.මී. 16 ප්‍රමාණයෙන් නිර්මාණය කෙරිණි. මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ ශිෂ්‍යයකු වූ කරුණාපාල ප්‍රනාන්දු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර චිත්‍රපටයේ රංගනය සහ නිර්මාණ දායකත්වය සාන්ත සෙබස්තියන් විදුහලේ සිසුන්ගෙනි. මෙම චිත්‍රපටය සඳහා පාසලෙන් බාහිරව වෙනත් පාසලක ශිෂ්‍යයින් දෙදෙනකු සම්බන්ධ වූහ. එක් ශිෂ්‍යයකු වූයේ එකල කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයේ ශිෂ්‍යයකු වූ පසුව ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වූ ජී.ඩී.එල්. පෙරේරාය. අනෙක් පුද්ගලයා පියදාස විජේකෝන් බව සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ අරුණ ගුණරත්න සඳහන් කරයි. ටාසන් ගණයේ චිත්‍රපටයක් වූ මෙම චිත්‍රපටය ඔවුන් නිපදවූයේ තම මිතුරන්ගේ නිවෙස්වල ප්‍රදර්ශනය කිරීමේ අරමුණිනි. එය විදුහලේ සහ වෙනත් ස්ථානවල පෞද්ගලික මට්ටමින් තිරගත විය. වනගත කොල්ලා චිත්‍රපටයට ගීත දෙකක් ඇතුළත් විය. ත්‍රාසජනක සිංහල චිත්‍රපටයක් ලෙස හඳුන්වා තිබූ එය පළමු වරට තිරගත වූයේ 1957 ඔක්තෝබර් 12 වැනි සිකුරාදා මොරටුවේ ශාන්ත සෙබස්තියන් විදුහල් ශාලාවේය. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංස්කරණය සියල්ලම කරුණාපාල ප්‍රනාන්දුය. තිරනාටකය ස්ටැන්ලි ඒ. ප්‍රනාන්දුය. දෙවැනි වරට මි.මී. 16 ප්‍රමාණයෙන් නිපදවූ විටද මුල් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ පිරිසට අමතරව තවත් නිළියන් තිදෙනකු ද එක්වූහ. ගීත ගැයුවේ රෝහිණී සුදසිංහ සහ ඕ. ෂෙරීෆ්ය.
නිම්වළල්ල
පාසල් සිසුන් පිරිසක් එක්ව නිර්මාණය කළ ඊළඟ චිත්‍රපටය වූයේ නිම්වළල්ලය. මින් 54 වසරකට පෙර නිම්වළල්ල නිර්මාණය කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසකි. රන්ජිත් ලාල්, ආතර් නම්මුනි ද සොයිසා, චන්ද්‍ර ශ්‍රී මුදන්නායක, ආනන්ද නිලවීර හා ඒ.ඩී. රන්ජිත් කුමාර, සුනිල් මාධව ප්‍රේමතිලක, අසෝක ඩයස් වීරසිංහ. කෑගලු මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඩිල්මන් ජයරත්න සහ නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි සුනිල් ආරියරත්න සහ සාන්ත ජෝසප් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ලාල් දිසානායක ද ඒ හා එක්වූහ. ඩිල්මන් කැමරා අධ්‍යක්ෂණයෙන්ද, සුනිල් ගීත රචනයෙන්ද නිම්වළල්ලට එකතු වූහ. චිත්‍රපටයේ මුල් නම වූයේ “යළිත් වසන්තය”යි. පසුව එය “නිම්වළල්ල” ලෙසින් වෙනස් කෙරිණි. සිරිසේන විමලවීරයන්ගේ නව ජීවන චිත්‍රාගාරයේ නිර්මාණය කෙරුණු අවසන් චිත්‍රපටය වූයේ නිම්වළල්ලය. එවක ආනන්දයේ ශිෂ්‍යයන් වූ නිමල් හෙට්ටිආරච්චි, (පසුව මහාචාර්ය) රත්නසිරි රාජපක්ෂ, (පසුව කොළඹ නගරාධිපති) නාලන්දයේ ශිෂ්‍යයකු වූ තිස්ස විජේසුරේන්ද්‍ර, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී සිසු අමරසිරි කලංසුරිය සහ ස්වර්ණා මල්ලවආරච්චි වැනි පිරිසක් එයට එක්වූහ.
• සංජීවිකා සමරතුංග
(තොරතුරු ගැනීමේදී සහාය වූ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාට සහ සරසවිය හිටපු ක අරුණ ගුණරත්නට මගේ විශේෂ ස්තූතිය හිමිවේ)