සංජාන.. සෝලෝ ටවුන් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ කොහොමද? ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
සෝලෝ ටවුන් කියන්නෙ පිරිමි ළමුන්ගේ සංගීත කණ්ඩායමක් කියන සංකල්පයට (boy band concept) හැදුණු සංගීත කණ්ඩායමක්. මීට අවුරුදු දෙකකට පමණ පෙර මට ඒ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. චතුරංග ද සිල්වා අයියා සහ උදිත අයියගෙයි මේ අදහස. ඉතින් ඒ අය මුලින්ම මේ සෝලෝ ටවුන් සංගීත කණ්ඩායම නිර්මාණය කළා.
සංගීත කණ්ඩායමෙන් පසුව ඒ ඔස්සේ ඔවුන් සිනමා පටයක් නිර්මාණය කරන්න අදහස් කළා. එහෙම නේද?
ඔව්... සංගීත කණ්ඩායම පටන් ගත්තට පස්සේ සෝලෝ ටවුන් නමින් සිනමා පටයක් නිර්මාණය කරන්න ඔවුන් අදහස් කළා. සිනමා පටය ඔස්සේ මේ සංගීත කණ්ඩායම එළි දක්වන්න හිතුවා. සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හතර දෙනයි. අපි එකතුවෙලා පුහුණු වුණා. අපේ පළමු ගීතය “සුර ලාලිනි” කියලයි නම් කළේ. අපි ගොඩක් පුහුණුවීම් කරලා සිනමා පටය එළි දක්වන්න පෙර ඒ ගීතය එළි දැක්වුවා. ඒ ගීතය සිනමා පටයට අදාළ ගීතයක්. ඊට පස්සේ අපි නැවතත් සිනමා පටය එළි දක්වන්න පෙර තවත් ගීත දෙකක් සෝලෝ ටවුන් සංගීත කණ්ඩායම ඔස්සේ එළි දැක්වුවා. ඔය අතරතුරේදීම සිනමා පටයේ රූගත කිරීම් ආරම්භ වුණා.
සිනමා පටයේ ඔය හතර දෙනාගේ නම් වුණත් සැබෑ ජීවිතයේ නම්. එහෙම නේද?
ඔව්... සිනමා පටයෙත් මගේ නම සංජාන. අපි අපේම නම් වලින් නිර්මාණයට සම්බන්ධ වෙද්දී ඒක අපිට ගොඩක් පහසු වුණා. අපි හතර දෙනාම රංගනයට අලුත්. චිත්‍රපටයේ අපි හතර දෙනාට අමතරව සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් විදියට රවීන් කණිෂ්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඔහුගෙන් අපිට රංගනයේදී ලොකු සහයෝගයක් ලැබුණා. සෝලෝ ටවුන් සිනමා පටයේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වගේම අමා කියන ගැහැනු ළමයාගේ පෙම්වතා විදියටත් මම රඟපානවා. අමාගේ චරිතයට රඟපෑවේ මිෂෙල් දිල්හාරයි. ඇයගෙන්ද මට ලොකු සහයෝගයක් ලැබුණා.
රූගත කිරීම් පටන් ගත්තෙ කොයි කාලයේදිද?
සෝලෝ ටවුන් සංගීත කණ්ඩායම පටන් අරගෙන මාස දෙක තුනකින් මේ සිනමා පටයේ රූගත කිරීම් පටන් ගත්තා. කොහොමටත් රූගත කිරීම්වලට වසරක පමණ කාලයක් ගත වුණා. සිනමා පටයේ අවසන් අදියර කරන්නත් තවත් වසරක් ගත වුණා.
සෝලෝ ටවුන් සිනමා පටය පුරාවට සාමාජිකයන්ගේ නර්තනය හරි විශේෂයි. ඒ පුහුණුවීම් කටයුතු සිදුවුණේ කොහොමද?
මීට පෙර මම නර්තනය කරපු කෙනෙක් නෙවෙයි. මම විතරක් නෙවෙයි, අපේ සංගීත කණ්ඩායමේ තුන්දෙනෙක්ටම ඒ හැකියාව තිබුණේ නැහැ. හැබැයි යුලාන්ට හොඳට ඒ හැකියාව තිබුණා. ඒ නිසා නර්තන පුහුණුවීම් කටයුතුවලදී යුලාන් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම සුපුන් අබේසිංහවත් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. නර්තන පුහුණුවීම් කටයුතුවලදී ඔහුගෙන්ද ලොකු සහයෝගයක් අපිට ලැබුණා.
සංජානට කුඩා කාලේ ඉඳන්ම සංගීතයට නර්තනයට ළැදියාවක් තිබුණද?
ඔව්... පුංචි කාලේ ඉඳන්ම මම සංගීතයට මාර ළැදි කෙනෙක්. මගේ ගෙදර සංගීත පසුබිමක් තිබුණා. මගේ අම්මයි තාත්තයි දෙන්නම සංගීතය කරලා තියෙනවා. මට අයියා කෙනෙක් ඉන්නවා. එයත් සංගීතය කරලා තියෙනවා. ඒ නිසා මම කුඩා කාලයේ ඉඳන්ම සංගීතය ඇහුණා. මගේ තාත්තා මේ වෙද්දිත් සංගීතය උගන්වනවා. ඔහු සංගීතවේදියෙක්. සුරේන් දිසානායක කියන්නෙ මගේ තාත්තා. මගේ අම්මා ඉනෝකා ප්‍රනාන්දු. අයියාගේ නම සිතාර දිසානායක. ඒ නිසා පුංචි කාලේ ඉඳන් මගේ සිහිනය වුණේ “කවදා හරි තරුවක් වෙනවා” කියන කැමැත්තයි. ඒ සිහිනයත් එක්ක මම voice sri lanka තරගයට සහභාගි වුණා. එතැනින් පස්සේ මට මේ අවස්ථාව හිමි වුණා. හරිම කාලයේදී හොඳම දේ ලැබෙන බව මම විශ්වාස කළා. ඒ නිසා මට ලැබුණේ ලොකු අවස්ථාවක්. ඒ වෙනුවෙන් චතුරංගන අයියාට සහ උදිත අයියාට ස්තූති කරනවා.
පුංචි කාලයේදී ඔයා රංගනයට සම්බන්ධ වෙලා තිබුණද?
පාසල් වේදිකාවේ රංගනයට සම්බන්ධ වෙලා තිබුණා. මම ඉගෙන ගත්තේ නුවර ශාන්ත ඇන්තනී විදුහලේ. පාසලේ තිබුණු විවිධ ප්‍රසංග, තරගවලදී, මම නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් හදාරලා තිබුණේ නැහැ. ඒ නිසා සෝලෝ ටවුන් චිත්‍රපටයේ රංගනයෙන් දායක වීම මගේ පළමු අත්දැකීමයි. ඒකෙදි ප්‍රවීණ අයගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමදෙනාටම ස්තූති කරනවා. මම සෝලෝ ටවුන් චිත්‍රපටයේ හරි ආසාවෙන් රඟපෑවා. චිත්‍රපටය පුරාවට රූගත කිරීම් කරද්දී හොඳ අත්දැකීම් ගොඩක් ලැබුවා. අපි පාන්දර තුනට හතරට විතර නැගිටලා දර්ශන තලයට ගියාට පස්සේ පහුවැනිදා පාන්දර එක දෙක වනතුරු රූගත කිරීම්වලට සම්බන්ධ වුණු දවස් තිබුණා. රස්සාවක් කරද්දි උදේ ගෙදරින් ගිහින් හවසට ගෙදර ආපු අපිට ඒක හරි අපූරු අත්දැකීමක් වුණා. ඇත්තටම චිත්‍රපටය රූගත කිරීම් කරපු කාලය පුරාවට ලැබුණු අත්දැකීම් ජීවිතයට හරියට වටිනවා.
සෝලෝ ටවුන් ළඟදීම තිරගත වෙනවා?
ඔව්... දැන් චිත්‍රපටය තිරගත වෙන්න සියල්ල සූදානම්. ඒ සම්බන්ධයෙන් අපි හතරදෙනාම ඉන්නෙ නොඉවසිල්ලෙන්. මේක සංගීතය පැත්තට වැඩි නැඹුරුවක් දක්වන චිත්‍රපටයක්. පවුලේ හැමෝටම එකට ඉඳගෙන සෝලෝ ටවුන් නරඹන්න පුළුවන්. මේක ආදරය පිරුණු ලස්සන කතාවක්. සෝලෝ ටවුන් නරඹන්න කියලා මම ආදරයෙන් ආරාධනා කරනවා. චිත්‍රපටය වගේම සෝලෝ ටවුන් සංගීත කණ්ඩායමත් දැන් සූදානම්. අපි දැන් සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙන්නත් සූදානම්. මේ වන විට අපිට උත්සව ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා සෝලෝ ටවුන් සංගීත කණ්ඩායමත් දැන් සියල්ලට සූදානමින් ඉන්නවා.
රැකියාවක් කරන අතරතුරේදී සංගීතයේ නියැලීම ටිකක් වෙහෙසකරයි නේද?
ඔව්... මම බැංකු ක්ෂේත්රයේ වසර දහයක ඉඳන් රැකියාව කරනවා. රැකියාවත් එක්ක සංගීතය කිරීම ලොකු අභියෝගයක් තමයි. හැබැයි ආයතනයත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම මගේ අම්මාගෙන් තාත්තාගෙන් අයියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. සමහර දවස් හරි වෙහෙසකරයි. හැබැයි ආසා දෙයක් කරන නිසා ඒ මහන්සිය වැඩිය දැනෙන්නෙ නැහැ.
මේ හැමදේටම බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම විවාහකයි. ඇයගේ නම අයන්ති. එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ සහය නැත්නම් මේ හැමදේම කරන්න බැහැ. අපි විවාහ වෙලා වසර දෙකයි. එයාගේ සහයෝගය නිසා කිසි ගැටලුවක් නැතුව හරිම සතුටින් මේ හැමදේම කරගෙන යනවා.
• දිශානි ජයමාලි
• ජයමාල් චන්ද්‍රසිරි