2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ඉන්දියාවේ කවිතා - සුබ්‍රමනියම්ට ලංකාවෙන් රෝස - වයලීන් කේක්

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:02 34

ගන්න හුස්මක් ගාණේ ආදරෙයි මගෙ මැණික..... කවිතා... ආදරණීය ගී රැජිණියේ ඔබ ගයාලූ ස්නේහ ගී සරණියේ නැවතී වෙළී හිඳිනා තත්ත්පරයක මට මගේ ආදරවන්තයාට කියන්නට සිතෙන්නේ ගන්න හුස්මක් ගාණෙ ආදරෙයි මගෙ මැණික කියලා. ඒ තරමට ඒ ගී ඕවිල්ල ස්නේහවන්තයි. ඔයාගේ හඬ මා නිවාලන භාවනාවක්. මගේ ආදරණීය කවිතා ක්‍රිෂ්ණමූර්ති ඒ ගී හඬ අස ඔබ මට දේවතාවියක්...

Shiv baba ko yaad kar, Dujone dekha holo, Bhalobasi, Together tagore, Asmita, Mahiya hum dono, Hasratein athens, Shagufthagi Dil ki awaaz, Premer nesha, Mohe raam dhun loagi, Bhajan stut, Aadi Ganesh, Venkatesha suprabhatam, Shiva shlokas, Koi akela, kahan, Meera ka ram, Mahalakshmi stotram, pop time, Sai ka vardaan, ඔයා ගැයූ ගී සාගරයෙන් ගී දෝතක් විතරයි මේ... මා උන්මාදනීය කළ...

හින්දී, බෙංගාලි, කණ්ණඩ, රාජස්ථානි, තෙළිඟු‍, ඔඩියා, මරාති, ඉංග්‍රීසි, උර්දු, දමිළ, මලයාලම්, ගුජරාටි, නේපාලි, අසෑම්, කොංකනි, පන්ජාබ්, හෝජ්පූර් මේ ආදී භාෂා ගණනාවකින් ඔයා ගයාලූ ගී පනස් දහසකටත් වැඩියි කියලා මම දන්නවා. කවීතා ආදරණීය ගී මංජරියේ 1995 - 97 දී ඔයා ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම පසුබිම් ගායිකාව ලෙස සම්මාන ලබන්නේත් 2005 දී පද්ම ශ්‍රී සම්මානයෙන් සම්මානනීය වෙන්නේත්, බැංගලෝරය පදනම් කර ගත් Jain විශ්වවිද්‍යාලයෙන් (Honoris causa) ආචාර්ය උපාධියකින් පිදුම් ලබන්නේත්, සංගීතයට කළ විසල් මෙහෙවර නිසාමයි... ඉතින් ඉන්දියාවේ Melody queen යන විරුදාවලිය ලත් ආදරණීය කවිතා ක්‍රිෂ්ණමූර්ති මගේ ආදරණීය ගී රාජිණියේ...

ඔයාගේ ජීවිතයේ ස්නේහ මන්දිරය සෑදූ ඒ ආදරවන්ත ප්‍රේම රජු ගැන නොකියා කොහොමද?

ඔය ගී හඬට ඒ වයලීනයේ සත්සර මුහුව වැක්කෙරෙද්දී ඒ තත්ත්පර මොන තරම් රසාලිප්ත මාධුර්යයක් මවන්න ඇද්ද... ඉතින් ගී හඬත් වයලීනයේ සත්සර සම්මිශ්‍රණයත් අතරේ ඒ ආදරය මොන තරම් නම් සොඳුරු රොමාන්තික දිගහැරුමක් වෙන්න ඇද්ද?

කවිතාගේ ජීවිතය ප්‍රේමයෙන් වර්ණවත් කළ එයා එල්. සුබ්‍රමනියම්... පද්ම භූෂණ සම්මානයෙන් සම්මානනීය වූ සුබ්‍රමනියම් විරුදාවලි ලබන්නේ ඉන්දියානු වයලීනයේ පියා යන අභිෂේකයෙන්... ග්ලෝබල් ෆියුෂන් නිර්මාතෘ සුබ්‍රමනියම් මදුරාසි වෛද්‍ය විද්‍යාලයෙන් MBBS සහ California institute for the arts වෙතින් MFA සම්පූර්ණ කළ ආචාර්ය උපාධිධාරියෙක්... ඉගෙනුමෙන් ලද ආචාර්ය උපාධියෙන් එහා වයලීන් වාදනය වෙනුවෙන් කළ අනන්ත මෙහෙවර වෙනුවෙන් ආචාර්ය උපාධි ගණනාවකින් පිදුම් ලද ආචාර්ය සුබ්‍රමනියම්ගේ පියා සහ ගුරුවරයා වෙන්නෙ කර්නාටික් වයලීනයේ පියා ලෙස සම්භාවනාවට පත්  මහාචාර්ය වී ලක්ෂ්මී නාරායන්. 1991 දී ආසියාවේ විශාලතම ගෝලීය සංගීත උළෙලක් වන ලක්ෂ්මී නාරායන ගෝලීය සංගීත උළෙලේ (LGMF) සමාරම්භය සනිටුහන් කළ සුබ්‍රමනියම් 2007 දී ඉන්දියානු දරුවන් දස දහස් සංඛ්‍යාවකින් වර්ණවත් වූ සුබ්‍රමනියම් ප්‍රසංග කලා ඇකඩමිය (SaPa) ඇරඹුවේය. තම ආදරණීය පාද පරිචාරිකාව වූ කවීතා හා එක්ව ලක්ෂ්මි නාරායන ගෝලීය විශිෂ්ටතා මධ්‍යස්ථානය (LGCE) ඇරඹූ සුබ්‍රමනියම් විසින් රචිත ඇතැම් කෘති ජර්මනියේ ශොට් මියුසික් සහ ලන්ඩනයේ ත්‍රිත්ව විද්‍යාලය මඟින් ප්‍රකාශයට පත් කරතිබේ. Mastering varnams ඉන්දියානු සහ බටහිර ශාස්ත්‍රීය සංගීතය හදාරන දරුවන් වෙනුවෙන් ඔහු තිළිණ කළ ශාස්ත්‍රීය ඉගෙනුම් අත්පොතයි...

අහන්න... ඇයි මම කවීතා - සුබ්‍රමනියම් ගැන මෙච්චර හොයාගෙන ගියේ
හේතුව...

අවුරුදු 25 ක ආදර කතන්දරයේ සැමරුම් කේක් ගෙඩිය එයාලා කැපුවෙ ලංකාවෙදී...

ඔහ්... ගීයක් තරම්ම වින්දනීයයි රතු රෝස ගවසාලූ ඒ කේක් නිමැවුම... රතු සුදු රත්තරන් පාට එකතුවක්... රතු රෝස ආදරණීය කවීතාට... වයලීනය ආදරණීය සුබ්‍රමනියම්ට...
සුරංගනා ලෝකයෙන් ගෙනාවද හිතුණට මේ ආදරවන්ත කේක් ගෙඩිය ගෙනාවේ Taste of Heaven...

Taste of Heaven අයිතිකාරයා විජිත කුමාර. විජිගේ කේක්වල අමුතු පුදුම රස දන්න මගේ හිතුවිල්ලට අනුව කේක් ලෝකයේ රජු හදපු ඒ රෝස මල් වයලීන කේක් එක දැකපු මොහොතේ ඇත්තටම කවීතා සහ සුබ්‍රමනියම් ආහ්... පුදුම වුණා කීවොත් ඒ තමයි ඇත්ත...

විජිත කුමාරගෙන් ඒ දවස ඒ මොහොත ගැන ඉතින් නොඅසා කොහොමද?

මුලින්ම සිද්ධි විනායක් සිනේ ආර්ට්ස් සභාපතිනිය කෞෂල්‍යා වික්‍රමසිංහ මෙනෙවියටයි අනූෂාටයි ස්තූතියි මට මේ කේක් එක හදන්න ආරාධනා කළාට...

කවිතා ක්‍රිෂ්ණමූර්ති ආසයි රතු සහ සුදු පාටට කියලා කීවේ කෞෂල්‍යා... අපි ඒ නිසා සුදු රතු සහ රත්තරන් පාට ගමු කීවා... මම කීවා ළාවට කළුත් ඕනෑ කියලා... කවිතා වෙනුවෙන් මම රතු රෝස හැදුවා... සංගීත ස්වර මුද්‍රා හැදුවා... සුබ්‍රමනියම් වෙනුවෙන් වයලීනයක් හැදුවා... ඔක්කොම අයිසින්... ඒ දෙන්නා හරි නිහතමානීයි... කවිතා කතා කරද්දීත් සින්දුවක් කියනවා වගේ... ඒ තරම් මිහිරියි... හරිම නිහතමානීයි ඒ දෙන්නා... කවිතා සහ සුබ්‍රමනියම් දෙන්නාම කේක් එක හරිම ලස්සනයි...

දැකපු ලස්සනම කේක් එක කියලා කියද්දි මට දැනුණු සතුට කියන්න වචන දන්නෙ නෑ. ඉතින් ඇය රෝස මල් අතගාලා බැලු‍වා... ඔහු මගෙන් ඇහුවා... වයලීනය හැදුවෙ ලී වලින් ද කියලා... මම අයිසින්වලින් කීවම පුදුම වුණා. අතගාලා වයලීනයේ හැඩ බැලු‍වා... එයාලා නිර්මාංශ නිසා මම එයාලා කපන කේක් කෑල්ල හැදුවෙ බිත්තර නැතුව... ආයුබෝවන් කියලා මට කතා කරපු ඒ දෙන්නා යද්දී මගේ ළඟට ඇවිත් ආයෙත් ස්තූති කරලා යන්නම් කියලා ගියේ... මගේ උරහිසට තට්ටුවක් දාලා යන්නම් කියලා යන්න තරම් ඒ සුන්දර මිනිසුන් නිහතමානීයි... තවත් ඉන්දියානු තරුවලට කේක් එකක් හදන්න තියෙනවා නම් ඒක මගේ ජීවිතයේ හීන අතර ආදරණීයම හීනයක්...

ආදරණීය විජී... රෝස මල් වයලීන අතරේ කේක් රස දවටාලූ... අඩි විසි ගණනක කේක් ගෙඩියක් සාදා දවසක සියල්ලන් පුදුම කෙරූ ඔබ තරම්... කේක් ලොවේ මා දන්නා රජෙක් හෝ කුමාරයෙක් තවත් නැත...

• සංජීවිකා සමරතුංග